අවකල් ක්‍රියාවේ යෙදෙන ජනාධිපති සමාව – අනුර සුරියබණ්ඩාර

කෙටිකලක් තුල ජනාධිපති සමාව යටතේ දෙදෙනෙකුම නිදහස ලැබුහ.ඉන් එක අයෙකු වන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා සිටි ගලබොඩැඅත්තේ ඥානසාර  හිමිය .ගලබොඩ ඇත්තේ හිමිට අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත 19 වසරක සිර දඬුවමක් නියමවී එම දඬුවම වසර හයක කාලයක් තුල ගෙවී යන පරිදි දඬුවම් නියමවී තිබුණි.එවැනි තත්වයක ඔහුට නිදහස ලැබීම බරපතල කාරණාවකි. විශේෂයෙන්ම ගලබොඩඅත්තේ හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා නිතීඥ‌ෙයෝ සංවිධානයද විරෝධය පළකර තිබුණි. එසේම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් ගලබොඩඅත්තේ හිමියන්ට සමාව ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා තිබුණි. ගලබොඩඅත්තේ හිමිට නියම කෙරුණු උසාවියට අපහාස කිරීමේ සිද්ධිය ඇතිවුයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව විභාග වෙමින් පැවති අවස්ථාවේදීය. නඩු විභාගය අතරතුර සහපිරිවරින් උසාවියට කඩාපැන ගලගොඩඅත්තේ හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ  මහත්මියට පමණක් නොව විනිශ්චතුමාටත් අපහාස මුඛයෙන් බැන වදින්නට යෙදුනි.

 සිර  දඬුවම් නියම වීමෙන් පසුව පවා ගලගොඩඅත්තේ හිමි යහපත් කල් ක්‍රියාවෙන් යුතුව කටයුතු කර නැත. විශේෂයෙන්ම බන්ධනාගාරය තුළ ජම්පර  ඇඳීම ප්‍රතික්ෂේප කිරීම, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට බලපෑම් කිරීම ආදී චෝදනා එම හිමියන්ට තිබුණි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ගෙවීමට උසාවිය මගින් නියම කර තිබුණු වන්දි මුදල ගෙවීම සඳහා ඥානසාර පාර්ශවය රැගෙනවිත් තිබුණේ අඩු වටිනාකම්වලින් යුතු ගුලි  කරන ලද මුදල් නෝට්ටුය. මුදල් නෝට්ටු ගුලි කර තිබීම සම්බන්ධව උසාවියේදී ප්‍රශ්නයක් මතු වූ විට ගලගොඩඅත්තේ පාර්ශවයෙන් කරුණු දක්වන්නට යෙදුනේ එම මුදල් පින්කැට වලට එකතු වූ ඒවා බැවින් ගුලි වී  තිබෙන බව කියමිනි. පින් කැට වලට  මුදල් නවා දමන නමුත් ගුලි කර දැමීමක් සිදු නොවන බව කවුරුත් දන්නා කරුණකි. ගුලි  කර මුදල් පින්කැට වලට දමා තිබුණා යැයි මදකට පිළිගත්තා වුවද, අදාළ මුදල  ගැනීම සඳහා අනිවාර්යයෙන්ම එම නෝට්ටු දිගහැරීමට සිදුවේ. ඒ අනුව පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ සන්ධ්‍යා  එක්නැලිගොඩ මහත්මිය උසාවියෙදි අපහසුතාවට පත් කිරීමේ අරමුණින් එසේ මුදල් නොට්ටු ගුලිකර ගෙනැවිත් තිබුණ බවයි .එම ක්‍රියාව ද එක් අතකින් උසාවියේ කාලය නාස්ති  කිරීමක් මෙන්ම උසාවිය අපහසුතාවයට පත් කිරීමක්  ද වේ .රටේ නීතිය  සම්බන්ධව සහ උසාවිය සම්බන්ධව ගලබඩඅත්තේ තවමත්  අගෞරවයෙන් යුතුව තවමත් කටයුතු කරන බව එම හැසිරීම් අනුව  පැහැදිලිය.  ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී ඇත්තේ එවැනි තැනැත්තෙකු  ය.

තවත් අතෙකින් ගත් කල  බැතිමතුන්  පින්කැට වලට මුදල් දමනු ලබන්නේ පින් සිත් පෙරදැරිවය. බැතිමතුන් එහිදී බලාපොරොත්තු වන්නේ විහාරස්ථානයේ දියුණුවට ශාසනික කටයුතුවලට එම පුද පඬුරු යොදා ගැනෙනු ඇති කියාය. පිරිසුදු චේතනාවකින් විහාරස්ථාන පින් කැටයට ලබාදෙන මුදල් උසාවියෙන් දඬුවම් ලැබූවකුගේ  වන්දි මුදලක් ගෙවීමට යොදාගැනීම පාපී ක්‍රියාවකි.

ගලබොඩඅත්තේ හිමිට  ජනාධිපති සමාව ලබාදීම දීම කෙරෙහි ද බලපෑ ආසන්නතම හේතුව පසුගිය පාස්කු  ප්‍රහාරයයි. මුස්ලිම් අන්තවාදයේ ක්‍රියාකාරකම් සම්බන්ධව  ගලගොඩාත්තේ සහ බොදු බල සේනා කල්තියා හෙළිදරව් කර තිබුණේය යන කාරණාව එහිදී ප්‍රබලව මතුවිය. අපරාධයක් පිළිබඳ කල්තියා දැනුම්දීම තවත් අපරාධයක් සම්බන්ධව නියමවූ  දඬුවමක් නිශේධනය කිරීමට හේතුවක්  වශයෙන් යොදා යොදාගැනීම පොදු ජනතාව අනුමත කරන්නේ නැත.  කොයි ආකාරයකින්වත් එය  සාධාරණීකරණය කළ  නොහැකිය. නීතියට පටහැනි ගලබොඩඅත්තේ හිමිට සමාව ලබාදීම  සම්බන්ධව ඩේලි මිරර් පුවත්පත මගින් කළ සමාජ මාධ්‍ය ජනමත විමසුමේදී 59% ක පිරිසක් පවසා තිබුණේ එය වැරදි තීරණයක් බවයි. ඊට පක්ෂව මත පළ කර තිබුණ පිරිස සියයට 41% පමණි. ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ  මෙම ක්‍රියාමාර්ගයට රටේ බහුතර පිරිස් විරෝධය දක්වන බවය

ජනාධිපති සමාව යටතේ සිර දඬුවමින් නිදහස් වූ අනෙක් තැනැත්තා වන්නේ අල්ලස් චෝදනාවකට වසර දහඅටක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්  නියම වී සිටි වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයාය.  වරකාපොල  ප්‍රාදේශීය මාර්ග තුනක් ඉදිකිරීීමට අදාළ කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ඔහු වරදකරු වී සිටියේය. ඔහු වරදකරු වෙමින් මහාධිකරණය නියම කළ දඬුවම්  අභියාචනාධිකරණය විසින් ද තහවුරු කර තිබියදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ  ජනාධිපතිවරයාට ලැබී  ඇති බලතල යටතේ ඔහු නිදහස් කර තිබේ.

අධිරාජ්‍යවාදී  පාලන සමයේ මෙරට පැවැතියේ රැජිනගේ සමාවය. පසුව ඩොනමෝර් සහ  සෝල්බරි ව්‍යවස්ථා යටතේ  ආණ්ඩුකාරවරයාගේ සමාව  බවට පත්විය. රැජිනගේ සමාව යටතේ වුව ආණ්ඩුකාරවරයාගේ සමාව යටතේ වුව දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ නිසි ලෙස නඩු විභාග කොට සිරගත කළ කිසිවෙක් නිදහස් නොකිරීමය. නිදසුනක් වශයෙන් බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම නිදහස් කරන ලෙස ඉල්ලීමක් කෙරුණ ද එම ඉල්ලීම ඉටු කළේ නැත.

 ජනාධිපති සමාව යටතේ වුව ‍ප්‍රදානය  කරනු ලබන්නේ  සහ එය ප්‍රදානය කිරීමට  සුදුසු වන්නේ ද සුළු වැරදි  සම්බන්ධයෙන්, දඩ මුදල් ගෙවා ගත  නොහැකිව සිර දඬුවම් විඳින්නන් වැනි අහිංසකයන් සඳහාය. වෙසක් පොහොය දින, නත්තල් දිනය  පදනම් කරගෙන එවැනි  තැනැත්තන් නිදහස් කිරීමට කිසිවෙකු විරෝධය  දක්වන්නේ ද  නැත. සමහර නීතිඥයන් පවා වෙසක් පොහොය නත්තල් දිනය ආසන්නයේ සුළු දඩ  නියම කරන  වැරදිකරුවන්ට එකී  දිනවලට නිදහස් විය හැකි බැවින් සිරගත වන ලෙස උපදෙස්  ලබාදෙන බව ප්‍රසිද්ධ රහසකි.

1978  ව්‍යවස්ථාව යටතේ මෙතෙක් පැවැති  ආණ්ඩුකාරධූරය අහෝසි කර විධායක ජනාධිපති ධූරය හඳුන්වා දීමත් සමග ආණ්ඩුකාර සමාවද ජනාධිපති සමාව වශයෙන් ජනාධිපතිවරයා යටතට භින්න කර ගනු ලැබිණ. එම  ඇතැම් නීති විශාරදයින් පෙන්වාදෙන්නේ ජනාධිපති සමාව මගින් අධිකරණයට බලපෑමක් සිදුවන බවය

ගෝනවල  සුනිල් ඇතුළු අපරාධ කරුවන් පිරිසකට ජේ.ආර් ජයවර්ධන යුගයේ ජනාධිපති සමාව දීම ජනාධිපති සමාව අවකල් ක්‍රියාවේ යෙදුණු අවස්ථාවක් වශයෙන් ඉතිහාසගත වී තිබිණි. මිනීමැරුම්  චෝදනාවකට වරදකරු වී සිටි හිටපු ඇමති බිරියට සමාවදීම තවත් එවැනි අවස්ථාවකි.

මරණ දඬුවමට ලක් වූවකු නිදහස්  කිරීමේ දී අදාළ නඩු විභාග කළ විනිසුරුවරයා ගෙන් වාර්තාවක් කැඳවා, එය  නීතිපතිට යොමුකර නිර්දේශ ලබාගෙන අධිකරණ ඇමති වාර්තාවක් ලබාගත යුතුය. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය අනුව ඕනෑම උසාවියකින් ඕනෑම වරදට සිරගත කළ අයෙකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු ව තිබෙනවා. ව්‍යවස්ථාව කවර බලයක් පවරා  තිබුණද ජනාධිපතිවරයෙකු විසින් එම බලය උපයෝගී කරගනිමින් සිරකරුවකු නිදහස් කරන්නේ නම් එය සාධාරණ ආකාරයෙන් සහ විනිවිද පෙනෙන ආකාරයෙන් සිදු වීමය ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිදුවිය  යුතුවන්නේ. ඉතිහාසය බලන විට පෙනෙන්නේ ජනාධිපති සමාව බොහෝ විට ක්‍රියාත්මක කර ඇත්තේ දේශපාලන අතකොලුවක් වශයෙන් බවයි.

බරපතලම ගැටලුව වන්නේ ඒ ආකාරයෙන් ජනාධිපති සමාව ක්‍රියාත්මක වෙද්දී විරුද්ධ පක්ෂ වෙතින් හෝ ජනතාව අතරින් එයට  කිසිවිටෙකත් එයට බරපතළ විරෝධයක් පැන නොනගිමය. මේ අවස්ථාවේ  ඥානසාර හිමිට සමාව ලබාදීම සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය සහ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගෙන් විරෝධයක් මතු වුවද ඒ බල ගන්වා ගත  හැකි ආකාරයේ සහයෝගයක් හෝ බලපෑමක් කිසිඳු පාර්ශවයකින් සිදුවූයේ නැත. ගලගොඩඅත්තේ හිමි නිදහස් කිරීම සිදුවූ වකවානුව බොහෝ සෙයින් විවාදාත්මක වී තිබිය දී අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව හෝ ඒ ගැන වචනයක් හෝ කථා නොකිරීම පුදුම සහගතය.

වරකාපොල හිටපු ප්‍රාදේශීය සභා  සභාපතිවරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ හිමි කාරණයේදී තරමටවත් හඬක්  නැගුනේ නැත.

මෙහිදී මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ මේ වනවිට  විට ව්‍යවස්ථා සභාව විසින් සිරකරුවන් නිදහස් කිරීමේ ජනාධිපති බලය සංශෝධනය විය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ය. ජනාධිපති සමාව ලබා දීම කමිටුවක් හරහා  සිදු කරන්නටත් පාර්ලිමේන්තු ක්‍රමයකට යන විට එම බලය අගමැතිවරයා ක්‍රියා කරන ආකාරයටත් එහිදී යෝජනා කර තිබේ.

එහෙත් මේ මොහොත වන විටත් ඒ  පිළිබඳ විවාදයක් සිදුවී නැත. 1978 ව්‍යවස්ථාව  මගින් ජනාධිපති සමාව ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා පටන්ම එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධව බරපතල විවේචන චෝදනා තිබුණද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒවා ඒ ගැන අවධානය යොමු නොවීම  වරදකි. වරද නිවැරදි නොවන්නේ නම් භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධව දඬුවම් විඳිමින් සිටින දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබෙන්නේය  යනුවෙන් නිතර පලවන  කටකතාද ඇත්ත  විය හැකි වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *