ජාතිය ආගම අනුව සලකලා අපි එකිනෙකා දිහා ද්වේශ සහගතව බලන තරමට දේශපාලකයන්ට වාසියි. – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

ප්‍රශ්නය – පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය ඔබවහන්සේගේ විග්‍රහය අනුව අපිව ගෙනියන්නේ කොහාටද? අතීතය, වර්ථමානය, අනාගතය යන තුන්කල් බලලා ඔබ වහන්සේ ඒ ගැන යමක් කියවව නම්, අප යායුත්තේ කුමන දිසාවකටද?

මේ වෙලාවේ අපි වරද්ද ගත්තොත් මොකක්ද වෙන්නේ කියලා, අසූ තුනේ අපි වරද්ද ගත්ත එක අනුව බලන්න පුළුවන්. අසූතුන වෙනකොට ලංකාවට අයෝජකයන් විශාල පිරිසක් ඇවිල්ල හිටියා. ඒ සම්බන්ධ කතාව ඒ කාලේ අයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ලියපු ලියවිල්ලක් තියනවා, එතුමා කියන කතාව අනුව මෝටරෝලා කියන සමාගම ලංකාවට ඇවිල්ලා ලොකු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සූදානම් වෙලා හිටියා. ඒ ඉදිකිරීම් සම්බන්ද ඉංජිනේරුවරයා දෙමළ කෙනෙක්. අසූතුනේ කළු ජූලියෙදි මේ ඉංජිනේරු මහත්තයාව ඝාතනය වෙනවා. මෝටරෝලා සමාගම තම ආයෝජනය සම්පූර්ණයෙන්ම අරගෙන යනවා මැලේසියාවට. මේ ආයෝජන මණ්ඩල සභාපතිවරයා ඊට අවුරුදු ගාණකට පස්සේ මැලේසියාවට ගිහිල්ලා ඇවිල්ලා කියනවා, ‘මම මැලේසියාවට ගිය වෙලාවේ ගියා මෝටරෝලා කම්පැණි එක දකින්න, 25000කට වැඩිය මැලේසියානුවො එතන රැකියව කරනව, මෝටරෝලා සමාගම මැලේසියාවේ ආර්ථිකය සංවර්ධණය කරන්න විශාල වැඩකොටසක් කරනව කියල. ඒක කියලා ඒ මහත්තයා කියනවා මෝටරෝලා සදමාගම අසූ තුනේ දී මේ රටින් ඉවත්වෙලා ගියාය කියන කාරණය, ඒ කාලේ ආපසු ගිය ආයෝජකයින් අතර ඒක එකක් පමණයි කියල.

අසුතුනේ අපි කරගත්ත විනාශයේ පරිමාණය කොච්චරක්ද කියලා අපි දන්නෙ නෑ ඒක ගැන අපිට අවබෝධයක් නැති නිසා. මට මෑතකදි ලැබුණා කොරියාවේ යන්න. අපේ වැඩසටහනකදි, ඒක හැඳින්නුවෙත්, මයිගන් වර්කර්ස්ලත් එක්ක කරන වැඩසටහනක් විදිහට. ඒකට ලංකාවේ ඉඳලා එහෙ ගිහිල්ලා රැකියාව කරන අය එකතුකරලා ඒ අය අමතන්න මට අවස්ථාව ලැබුණා. ඒ අය ලංකාවේ මේ සිද්ධවෙන දේවල්වලින් හැඟීම් බර තත්ත්වයක හිටියේ. ඔවුන් තුළින් පෙනුනේ ආයෙත් සැරයක් අසූතුන වගේ ඒ වගේ තත්ත්වයක්. මම ඒ ගොල්ලන්නට කතා කරනකොට කිව්වා, අසූතුනේ වරද්දගත්තෙ නැත්නම් ඔයාලා මෙතන මයිගන් වර්කර්ස්ලා වගේ රස්සාව කරන තත්ත්වයක නෑ. කියලා.

ඒ කාලේයේ ආසියාවේ දියුණුවීමේ ආදර්ශය හැටියට සැලකුණේ ලංකාව. සිංගප්පූර් නායකයා ඡන්දෙ ඉල්ලුවේ, මම සිංගප්පුරුව ලංකාවක් කරනවා මට ඡන්දය දෙන්න කියලා. මේ රටේ කොරියාව සැලකුවෙ මුඩුක්කු නිවාස තමයි කොරියාව කියලා. ඒ මුඩුක්කු මට්ටමෙන් ඔයාලා සලකපු රටට දැන් ඔයලා ඇවිල්ලා ඉන්නවා රස්සා හොයාගෙන. අසූතුන වරද්දගත්තෙ නැත්නම් ලංකාවටයි එන්නේ මිනිස්සු රස්සාව හොයාගෙන. ඒ වගේම මම කියපු දෙයක් තමයි, මේ වෙලාවේ වරද්දගත්තොත් ඔයගොල්ලන්ගෙ දරුවන්ගෙ අනාගතේ ඉතියෝපියාව, සිරියාව වගේ වෙන්න පුළුවන්. අද ඒක ඔයගොල්ලන්ට පේන්නෙ නෑ, අවුරුදු දහයක් විතර ගියාට පස්සෙ දැනෙයි කොහාටද අපි ගිහිල්ලා තියෙන්නෙ කියලා. මේ මොහොත වරද්ද ගන්නවා කියලා කියන්නේ, එක තරම් තවත් විනාශයක් නැහැ.

සමහර දෙනා බුදු දහම රැකගන්න, සිංහල ජාතිය රැකගන්නයි මේක කරන්නේ කියලා කිව්වට ඒ රැකගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයමයි විනාශයේ හේතුව. මීට වඩා බුද්ධිමත් වෙන්න. මීට වඩා පුළුල්ව ලෝකය දකින්න. සංකීර්ණව ලෝකය දකින්න. බුදු දහමින් උගන්වන්නේ ඇත්තටම ඔයවගේ, ඒක හේතුක විදිහට ප්‍රශ්න දකින්න නෙමයි. හේතුඵල වාදයෙන් ගෙන එන්නේ සංකීර්ණව දකින්න. සංකීර්ණව දැකලා උත්තර හොයන්න. ඒ නිසා මේ වැඩසටහන බලන තරුණ පරම්පරාවට කියන්නෙ නැවත වරද්දගන්න එපා. අපේ කාලේ අවසාන වේගෙන එන්නේ, මට දරුවො නෑ. ඔයාලයටයි දරුවෝ ඉන්නේ. ඔයාලගේ ඇත්ත ප්‍රශ්න වෙන්නේ ඔයාලා ගේ දරුවට යන්න ඉස්ලෝලයක් නැති එක. ඔයාලගේ දරුවා ඉස්කෝලෙ ගියාම උගන්වන්න ගුරුවරු නැති එක. ඒ ගුරුවරුන්ට පුහුණු කරන ආහතන නැති එක. ඔයාලගේ විශ්‍රාම යන දෙමාපියන්ව රැකබලාගන්න වැඩපිළිවෙලක් නැති එක. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මේවා සිංහල මනුෂ්‍යගෙත් ප්‍රශ්ණ, දෙමළ මනුෂ්‍යගෙත් පුශ්ණ, මුස්ලිම් මනුෂ්‍යගෙත් ප්‍රශ්න. ක්‍රිස්තියානි මනුෂ්‍යගෙත් ප්‍රශ්න. අපේ ප්‍රශ්න නම් අපි කතාකරනේ, අපේ ජාතිය ගොඩනගන්න පුළුවන්වෙයි. ශ්‍රී ලාංකික ජාතිය හැටියට අපි අර කලින් බෙදාගත්ත විදිහට නම් යන්නෙ, අපි ඔක්කොම වලපල්ලට යද්දි දේශපාලකයො එයි උඩට.

අර ඉස්සරවෙලා කියපු විදිහට ප්‍රශ්නය දකිනකොට දේශපාලකයට අමාරුයි. එයා කැමති වෙන්නෙ නැහැ අපි ඔය විදිහට ප්‍රශ්න දකිනවට. අපි ජාතිය ආගම අනුව සලකලා අපි එකිනෙකා දිහා ද්වේශ සහගතව බලන තරමට දේශපාලකයන්ට වාසියි. තව එක කාරණයක් මම කියන්න කැමතියි. මම ඔය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ජනතාව අතරින් ලොකු විරෝධයක් දේශපාලකයන්ට රාජ්‍ය පාලකයන්ට එරෙහිව. ඔය අතරේ වහාම බුර්කාව තහනම් කළා. බුර්කාව තහනම් කළාට පස්සේ, මිනිස්සු අර පාලකයන්ට එකතුවුණු තරහ අමතක කරලා මිනිස්සු මිනිස්සු රංඩුවෙන්න ගත්තා, බුර්කා ගලවන්න ගත්තා, බස්වල යනකොට බුර්කාව ඇඳපු කෙනාට හිරිහැර කරන්න ගත්තා, ඒකපාරටම වෙනස් අතකට ගියා මිනිස්සුගෙ අවධානය.

බුර්කාව සම්බන්ධ වෙනම සාකච්ඡාවක් අවශයයි. ඒක කළ යුතු සාකච්ඡාවක්. පාස්කු ඉරිදා සිද්ධියක් එක්ක බුර්කාවෙ කිසි සම්බන්ධයක් නැහැ. එහෙම තියෙද්දි ඇයි එකපාරටම බුර්කාව තහනම් කළේ. අපේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන, එකිනෙකාර වෛරකරන, එකිනෙකා රංඩුවෙන තත්ත්වයක් හැදුවා. අර ගොල්ල ආරක්ෂා සහිතයි. දැන් කවුරුවත් කතාකරන්නේ නෑ, ඇයි ඔයගොල්ල දැනගෙන අපිව ආරක්ෂා නොකළේ කියලා. ඒක මතය වෙනස් කළේ එතනින්. මම කියන්නේ අවදිවෙන්න. අවදිවෙලා අපි බුද්ධිමත්ව අපි කටයුතු කරමු. අපි එකතුවෙලා යනගමනක් මිසක් අපි වෙන්වෙලා යන ගමනක් නෑ.

සාමාන්‍ය විදිහ තමයි, උත්තර හොයනකොට ඵලයට ප්‍රතිචාර දක්වන එක. අපි ගොඩ එන්න ඕන නම්, ඵලයට නෙමෙයි හේතුවටයි ප්‍රතිචාර දැක්විය යුත්තේ. හේතු හඳුනා ගනිමින්, ඒකට දක්වන ප්‍රතිචාරය වෙනස් කරගනිමින්, අනාගතයත් දකින එක. වෙනත් විදිහකට ගත්තොත්, මේ වෙලාවේ සිදුවන නරක නපුරු දේ ඵලය නම්, අපි ඒ ඵලය හැදුණු හේතු වෙනස් කරලා ඵලය වෙනස් කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි අංගුලිමාල කතාව. අංගුලිමාල කියන්නේ ඝාතකයෙක්වුණාට පස්සේ, අංගුලිමාල කියන්නේ ඵලය මිස හේතුව නෙමෙයි. රජ්ජුරුවො මැදිහත්වෙන්නෙ ඵලය නසන්න. බුදුහාමුදුරුවො මැදිහත් වෙන්නෙ හේතුව නසන්න. හේතුව වෙනස් කරපුවාම අංගුලිමාල වඩා ශාන්තුවරෙයක්, උසස් පුද්ගලයෙක් දක්වා වෙනස් වුණා. මම දකින දේ තමයි අපි ඵලය වෙනස් කිරීම නෙමෙයි කළ යුත්තේ හේතුව වෙනස් කරන එක කියලා. හේතු හඳුනගන්න ඕනෙ.

අපි මෙහෙම ගම්මු. මේ වෙලාවේ ප්‍රතික්‍රියා කරන හැමදෙනා දිහාම බලපුවාම පේනවා. කවුරුවත් වඩා දුරගිද හිතලා අත්හරින ගමනක නෙමෙයි ඉන්නේ, තව තව අල්ලගන්න ගමනක. අපි හිතමු සිංහල ජනසමාජය කියලා, අනිත් පැත්තෙන් ලොකු බියක් ප්‍රකාශ වෙනවා. ඒකට නායකත්වය දෙන යම් යම් පිරිස්. සමහරවිට භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. බියක් ප්‍රකාශ කරනවා. වඳ වෙයිද? විනාශ වෙයිද? මේ රට අපිට නැතිවෙයිද වගේ තැනක ඉන්නවා. එතකොට මේ අය තුළ තියෙන බිය සම්බන්ධව මම හිතනවා අපිට අවබෝධයක් ඇති කරගන්න අවශ්‍යයි. මේ කටයුත්ත කරන කෙනා එයාගෙ හැසිරීම් දිහා බලලා එයා ප්‍රතික්ෂේප කරලා දානවට වඩා ඒ තැනැත්තත් තුවාල ලත් කෙනෙක් කියලා හඳුනගන්න ඕනැ. අපි හිතමු මේ වෙලාවේ බිහිසුණු විදිහට හැසිරෙන හාමුදුරු කෙනෙක් කියලා, ඒ මුහුණ දිහා බලපුවාම පේනවා එයා නිරෝගි නැහැ කියලා. එයා නිරෝගි නැහැ.

එයා එහෙම වුණේ ඇයි? එයාගෙ ගමනේ ලොකු තුවාල තියෙන්න පුළුවන්. ළමාවියේ දී ළමාවිය අහිමිවීම, තරුණවියේදී තරුණයෙකු හැටියට ඒ අවස්ථා නැතිවීම, අනිත් එක පිළිගැනීමක් නැතිකම, අනිත් එක වීරයෙක් වෙන්න ආශයි, එකට තැනක් නැතිකම මේ ඔක්කෝම එකතු කරලා ගත්තට පස්සේ එයාගෙ හැසිරීම වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ. එවන් තුවාළ ඇති කෙනා භාවිතා වෙන්න පුළුවන් දේශපාලන උවමනාවන් ඇති කෙනෙකුගේ මෙවලමක් හැටියට.

අපිට එක එක කෙනාව හඳුනගන්න පුළුවන් නම් ඔය විදිහට අපි එයා ප්‍රතික්ෂේප කරලා අහකට දාන්නේ නැතුව එයාටත් වෙනස් වෙන්න දෙන්න ඕනැ. ඔයාට තුවාළ තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඔයාට අවස්ථාව තියෙනවා වෙනස් වෙලා එන්න. මේ හැසිරීමෙන් හදන්න බෑ ඔයාටවත්, අනිත් අයටවත් සන්තෝෂයෙන් ඉන්න තැනක්. අපි ඔක්කෝටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තැන හදන්නස පුළුවන් වෙන විදිහකටයි. ඔයාවත් ඇතුළත් කරපු උත්තරයක් මිස ඔයාව ප්‍රතික්ෂේප කරපු උත්තරයක් නොවෙයි කියන එක. එතකොට මෙන්න මෙවැනි ප්‍රවේශයක ඒ කියන්නේ කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරන හැමෝම ඇතුළත් කරපු උත්තරයක් දිහාට යන්න පුළුවන් නම්, ඒක තමයි වැදගත්. අන්න ඒ ප්‍රවේශයට ඇතුළත් වෙන්නේ හේතු සලකලා බලලා.

එතකොට අපේ සමාජය ගත්තොත් නිදහසින් පස්සේ, අපි අවුරුදු හතෙන් හතට ලේ වැගිරීම්වලට යනවා කියලා. හතලිස් අටෙන් පස්සෙ, පණස් හය, පණස් අට, හැත්තෑ එක, අසූ තුන, අසූ එකේ සිට දෙදාස් නමය, මේ කාල ඔක්කොම ගත්තොත්, විශාල වශයෙන් ලේ වැගිරීම් වෙච්ච රටක්. ලෝකේ කොහෙවත් රටවල් තියෙනවද මේ විදිහට අවුරුදු හතෙන් හතට මරාගන්න රටක්. ඇයි මෙහෙම වෙන්නේ? මේකට අපිට අවශ්‍යයි හේතු හොයන්න. එතකොට අපි එකිනෙකාට බැනගන්නෙ නැතිව. අපි ඔක්කොම එකතුවෙලා මෙතනින් අයින්වෙමු, මෙතනින් ගොඩවෙමු කියලා කිව්වොත්, මොකද වෙන්නෙ.

මේකෙදි එකක් තමයි යටත් විජිත සමයෙදි ඉඳලා තමන් නැති වෙලා යයි, වඳවෙලා යයි කියන භීතිය. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෙ දැන්. අනික තමයි අපේ අධ්‍යාපනය ක්‍රමය ඔස්සේ මේ බිය බෙදා හරිනවා. අපේ අධ්‍යාපනය නිරෝගි කරලා නෑ. එක ඇතුළෙ ඇති කරන්නේ බිය නැති වෙන්න පුළුවන්. එතකොට මේ කාරණා දෙක. තුවාළ සහිත මිනිසුන් සනීප කරන්න මැදිහත් වෙනවා වගේම, අධ්‍යාපනය තුළත් අලුත් තුවාල ඇති නොකරන අලුත් කියවීමක් ඇතුළත් කරමු.

එහෙම කළොතින් මම හිතනවා අපි මුහුණ දෙන ප්‍රශ්නයේ සෑහෙන ප්‍රමාණයක් සුවපත් කරගන්න පුළුවන්. මම මේ උත්තරේ දෙන්නේ පාස්කු ඉරිදා වුණු සිද්ධිය ගැන නෙවෙයි. එක එක සිද්ධියක්. ඊට කලින් ඉඳලම මේක ගිනි ගනිගන්න තත්ත්වයක් වර්ධණය වෙමින් ආවානේ. අළුත්ගම හත් අට දෙනෙක් මියගියා. නුවර තෙල්දෙනිය දිගන ප්‍රහාරයක් එල්ල කරලා එතන එක්කෙනෙක් මියගියා. ඔහොම ගත්තට පස්සේ අපි ඊළඟ මුවවිටට ඇවිල්ලා තියෙද්දි මෙහෙම දෙයක් වුණා. මේ සිද්ධිය විතරක් නෙමෙයි මුළු කතාව ගන්න ඕනේ. මේ ඔක්කොම කැටිකරලා ගත්තම මම දකින්නේ දෙදාස් නමයේ යුද ගැටුම අවසන් වුණ තැන ඉඳලා අපි මේ හේතුවලට ප්‍රතිකර්ම කරන වැඩේ සම්පූර්ණයෙන් අත්ඇරලා දාලා හිටපු එකේ ඵලය තමයි අපි ඊළඟ ලේ වැගිරීමට සූදානම් වෙනවා කියන්නේ.

ප්‍රශ්නය – තවත් ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවනේ, ඔබවහන්සේ තමයි ඒ ප්‍රශ්නය මතු කරලා දුන්නේ. රටක් හැටියට ජන සමාජයක් හැටියට බරපතල තුවාලයකින් අපි පෙළෙනවා. මේ තුවාලය සුවපත් කරන්න, ඒකට අවශ්‍ය බෙහෙත් හේත් ටික කරන්න ඔබ වහන්සේ නියෝජනය කරන සංඝ සාමාජයෙන් ඒකට අවශ්‍ය කරන අනුපාන ටික ලැබෙනවද?

මම දකින්නේ සංඝ සමාජය තමයි ගොඩක් තුවාළ. සංඝ සමාජය විශාල තුවාළ සහිතයි. ඒක අපි පිළිඅරන් ඉස්සරහට සාකච්ඡා කළොත් මිසක්, සංඝ සමාජය චූදිතයා කරලා යන්න බෑ. සංඝ සමාජය තුවාළ සහිතයි. තුවාළ සහිත වීමට බලපාන සාධක ගොඩක් තියෙනවා. ළමා වියේදී පැවිදි වීම, එකෙන් මම කියන්නෙ ළමා වියේදී පැවිදි කරන්න එපා කියන එක නෙමෙයි. ඒක වෙනම සාකච්ඡාවකට යන්න ඕන දෙයක්. නමුත් ළමා වියේදී අම්මාගේ ආදරේ, තාත්තාගේ ආදරේ, අනෙක් සහොදර සහොදරියන් එක්ක එක තුවායට රංඩු වෙලා, එක සබන් කෑල්ලට පොරකන එක වගේ පවුලේ අන්න ඒක නැතිවීම. අම්මා තාත්තාගෙන් ලැබුණ ආදරේ ඒ තරම්ම හොඳට, ඊට පස්සෙ ලැබුණද කියන එක, රැකවරණය ලැබුණද කියන එක.

ඊට පස්සේ දරුවා පිං ලබාදෙන කෙනෙක් වෙනවා. එයාට ආහාර ටික දුන්නාම පිං ලැබෙනවා. ඊට පස්සේ එයා තවදුරටත් මනුෂ්‍යයෙක් ද වගේ තත්ත්වයක්. ඊට පස්සේ එයා ස්වාභාවික තරුණ වියට පත්වෙනවා. තරුණවියට පත්වෙන විට ඒක කළමණාකරනය කරගන්න ඕනෙ දැනුම ලැබෙනවද? මේ ඔක්කෝම ගත්තට පස්සේ මම හිතනවා භික්ෂු සංඝයා තුවාල සහිතයි කියලා. මම ඒක නිකම් කියනවා නෙමෙයි. ඒ තුවාල සහිත අවස්ථා පෙනුණු අවස්ථා තියෙනවා. හැත්තැ එකේ කැරැල්ලේ අවිගත් තරුණයන් අතර භික්ෂූන් හිටියා. අසූ හත අසූ අට කාලේ අවි ගත්ත අයට සහය දුන් භික්ෂූන් හිටියා. හිටියා විතරක් නෙමෙයි හත්සිය ගාණක් භික්ෂූන් ඝාතනය වුණා. ඒ අයට සහය දීම නිසා. ඊට පස්සේ ඇති වූ යුදමය තත්ත්වය තුළත් සුවපත් කිරීමට අවශ්‍ය මෙවලම් තිබුණු බවක් ප්‍රදර්ශනය වුනේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ හැම තැනකදීම යටත් විජිත කාලේ ඉඳලම භික්ෂූන් ඉලක්කගත ඉලක්කයක් වුණා ඝාතනයට ලක්වෙන.

යටත් විජිත කාලේ වෙනම සිද්ධ වුණා. අසූ හත අනූව කාලේ හත්සිය ගාණක් නැතිවුණා. අතුරුදහන් වුණා, භික්ෂූන් වහන්සේලා වද බන්ධනයට ලක් වුණා. උතුරේ යුද්ධයේ දී එල්.ටී.ටී.ඊ. එක හිතාමතා භික්ෂූන් ඉලක්ක කරලා පහර දුන්නා. මරා දැම්මා. මේ සියල්ල විසින් තුවාල සහිතයි භික්ෂූන් වහන්සේලා. මම කියන්නේ මේ සුවපත් වීම දිහාට යනකොට කාටද තුවාළ කවුද සුව කරන්නේ කියලා ගත්තොත්, අපි ඔක්කොටම තුවාලයි, මේකෙ සුවපත් කෙනෙක් කියලා කෙනෙක් ඉතිරිවෙලා ඉන්න බෑ. මේක පිළිගත්තොත් විතරයි අපිට, අපි යමු ඉස්සරහට කොහොමද යන්නෙ කියලා හිතන්න පුළුවන්. එහෙම ගත්තාම භික්ෂූන් වහන්සේලා සුවපත් කරගනිමින් යන ගමනක් ගැන උනන්දු වෙන්න ඕනෙ. සුවපත් කරන්නා වෙදකමේ තියලා, පටන් ගත්තොත් මම හිතන්නේ එතන වරදක් වෙනවා.

ප්‍රශ්නය – හාමුදුරුවන් වහන්ස, මේ වෙනකොට කතාවට ලක් වෙනවා, බඳුන් වෙනවා ආගමික අන්තවාදය ගැන. සිංහල බෞද්ධ සමාජයේත්, සිංහල කතෝලික සමාජයේත්, ඒ වගේම මුස්ලිම් ඉස්ලාම් සමාජයේත්, ඒ වගේම හින්දු සමාජයේත් බෙදෙන්න පටන් අරගෙන තියෙනවා බොහොම තදට. මේ බෙදිලා බෙදිලා බෙදිලා අවසානයේ අපි මේ කොහෙටද යන්නේ?
මේ බෙදීම හරිම භයානකයි. මේකෙන් ප්‍රතිඵල ගන්න කණ්ඩායමක් ඉන්නවා නම්, ඒ එකම එක කණ්ඩායමයි. ඒ තමයි දේශපාලඥයෝ. මේ වෙලාවේ බෙදීම්, මුස්ලිම් ඉස්ලාමීය දේශපාලකයන්ටත් ඉතාම හොඳයි, ඒ වගේම බෞද්ධ බෙදීම ඔස්සේ සිංහල බෞද්ධ ඡන්ද ලබාගන්න උත්සහා ගන්න හදන අයටත් හොඳයි. ඒ හැර කාටවත් මේකෙන් සුගතියක් නෑ.
ඒ වගේම මේ ඉතිහාසය දිහා බැලුවත්, පණස් හයේ තරමේ ඒවා මම දන්නේ නෑ. මේ අර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා ඒක අතුළෙත් ආගම විශාල විදිහට හුවා දක්වනවා. මම අහනවා මොකක්ද වෙලා තියෙන සෙතේ බෞද්ධ කෙනෙකුට කියලා. ඊළඟට ධර්මිෂ්ඨ සමාජය කියලා ආවා හැත්තෑ හතේ දී. එතැන් සිට මේ දක්වා ආපු හැමෝම බුද්ධාගම ඔසවා තබන්නනේ එන්නෙ. ඈත ගමක ගොවිතැන් කරපු බෞද්ධයාට ඇතිවෙලා තියෙන සෙතේ මොකක්ද‍? දරුවෙක් යවන්න ඉස්කෝලයක් තියෙනවද? දරුවෙක් යවන්න ඉස්කෝලයක් හොඳ පරිසයක් තියෙනවද? වෛද්‍යවරයත් එක්ක සුහදව මගේ දුක කතා කරන්න පුළුවන්ද? මුළු ජීවිත කාලයක් වද විඳලා ගොවිතැන් වැඩ කරලා වයසට ගියාට පස්සේ ජේෂ්ඨ පුරවැසියා කියලා ගෞරවණීය තත්ත්වයක් තියෙනවද? එයාව බලාගන්න වැඩපිළිවෙලක් තියෙනවද? එයාට රක්ෂණයක් තියෙනවද? මොනවද ලැබෙන්නෙ? මේවා තේරුම් ගන්න පුළුවන්. ගම්වලට වල්අලි වැදිලා කුඹුරු විනාශ කරනවා. මොනවද තියෙන්නේ වැඩපිළිවෙලවල්?

මතුපිටින් ජාතිය ආගම හුවා දක්වලා, අපි අතර බෙදීම් ඇතිකරලා වාසි ලබන එකම පිරිස වෙන්නේ දේශපාලකයා පමණයි, මේ බෙදීම් රේඛාව ඔස්සේ බෙදන මහජනයා සාමාන්‍ය ජනයාට සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ, ක්‍රිස්තියානි ඉස්ලාම් ඒ හැමකෙනාම පරාජිතයි. ඒ හැමකෙනෙක්ම පිරිහීමට නියමිතයි, මේ වෙනවිටත් කොරියාවේ අතන මෙතන රස්සා සොයාගෙන යනවා තරුණයෝ රස්සා නැති නිසා, නිසි කලට විවාහයක් කරගන්නේ නෑ ඒකට අවශ්‍ය ශක්තිමත් පදනමක් නැති නිසා, මේක ඉස්සරහට ගියහම සිරියාව වගේ, ඉතියෝපියාව වගේ, අන්ත දුඛිත තත්ත්වයකට යන පාරක අපි ඉන්නේ. ඒ හින්දා මේ බෙදීම් තීවෘර කරන තරමට අපි විනාශය කරායි යන්නෙ. ඒ නිසයි මම කියන්නේ, අපි එකතු වෙන්න ඕනෙ. ඒ එකතුවීම ඇතුළෙයි අපට මේ පිරිහීමේ ගමන, විනාශයේ ගමන නවත්වන්න පුළුවන්. ඒකයි මම මලදිත් කිව්වේ, මේ මොහොත අන්තීම තීරණාත්මකයි සහ භිහිසුණුයි. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි. මේ තමතමන්ගේ ප්‍රතිරූප නංවගන්න සෙල්ලම් කරන වෙලාවක් නෙමේ. මේ වෙලාවේ සෙල්ලම් කරන්නේ දරුවන්ගෙ අනාගතයත් එක්ක. ඒ අගමන වෙනස් කදරන්න ආගමික අන්තවාදය වෙන්න පුළුවන්, ජාති වෙන්න පුළුවන්, එකෙන් ආපහු හැරෙන්න ඕන.

ආගම මිනිස්න්ගෙ හදවතට හරි ළඟයි. මොළේට වඩා හදවතට ළඟයි. ඒ හැඟීම් වලට ළඟ දේ තමයි හරිම ලේසියෙන් මිනිස්සු බෙදන්න පාවිච්චි කරන්නෙ. මම අනික් ආගම් ගැන එච්චර ගැඹුරින් කියන්න දන්නෙ නෑ. බුදු දහමේ ගත්තොත්, එකෙදි මොනම විදිහේවත් දෙයක් නෑ. මොනම තත්ත්වයකදීවත් හිංසාව හරියි කියලා. ඒක කොච්චර දුර යනවද කියනව නම්, ජීවිත ආරක්ෂාව සඳහාවත්, ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කිරීම බොහෝ සම්ප්‍රදායන් පිළිගන්නවා බුදු දහම ඒකවත් පිළිගන්නෙ නෑ.

එක සූත්‍රයක් තියනවා කචතෝත්තම සූත්‍රය කියලා, ඒකෙ බොහොම පැහැදිලිව තියෙනවා, තමන්ගෙ අත පය කෑලි වලට කියතකින් කපද්දිවත් මෛත්‍රියෙන් බැහැර වෙන්න එපා. මෛත්‍රියෙන් බැහැර වෙලා ඔබ එක වචනයක්වත් කිව්වොත් ඔබ මගෙ පණිවිඩය දරන්නෙක් නෙවෙයි කියන එක. එහෙම ගත්තට පස්සෙ, බෞද්ධ සම්ප්‍රදායෙන් එන්න බෑ අන්තවාදයට. හැබැයි මම අර කිව්වා වගේ මෙකෙ තියෙන්නේ බොහොම සියුම් රේඛාවක්. අන්තීම අවිහිංසාවාදි ආගම රැකගැනීම සඳහා අපි ආයුධ ගන්නවා. එහෙමනෙ එක වෙන්නෙ.
ඒ හින්දා මම හිතනවා මේ මොහොතෙ ආගමික අන්තවාදය කියන එක ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙමේ. මේක ලෝක මට්ටමේ වැඩක්. ඒ වගේම ඒ අන්තවාදය බරපතළ විදිහට පෝෂණය කරනවා මාධ්‍යය. ඇත්ත වශයෙන් මාධ්‍ය වලින් මේ කරන අපරාධය, එක තැනක මම දැක්කා ඩ්‍රැකියුලා මාධ්‍යවේදීන් කියන වචනය. මම කියන්නේ ඒ වචනය හරි. ඩ්‍රැකියුලා කියන්නේ ලේ උරාබොන්නනොනේ. මේ වෙලාවේ මම දකින ඒ ඩ්‍රැකියුලා මාධ්‍යකරණය. කිසිම වගකීමක් නැතිව කටයුතු කරනව. මේ මාධ්‍ය කරන මිනිස්සුන්ට තමන්ගෙ දරුවො ඇතිනෙ. ඇයි මේ සහාසික අපරාධය කරන්නෙ.

මේ බොම්බ පුපුරවා ගත්තේ අන්තවාදී විදිහට ඒ මට්ටමට මානසිකත්වය වෙනස් වුණු මිනිස්සුනෙ. ඒක ජාත්‍යන්තර ත්‍රස්ත වැඩක්. නමුත් මේ රටේ අනෙක් මිනිස්සු කියන්නේ ඒ මට්ටමට පත්වුණු අය නොවෙයිනෙ. මේ වෙලාවේ අපේ කාර්ය වෙන්න ඕන එතෙන්ඩ තව අය තල්ලු කරන එක නෙවෙයි. එතෙන්ඩ තව අය යන නැඹුරුවක් තියෙන කෙනා ආපහු හරවන්න ඕනෙ. මම එක උදාහරණයක් කියන්නම්, බොරැල්ලේ හිටපු වෛද්‍ය පවුලක වෙච්ච දෙයක්, දරුවො දෙන්නෙක් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්නවා. අහිංසක දරුවෝ. අනූතුනේ ජූලි සිද්ධියෙදි ඒ දේපළ විනාශ වෙනවා. ගේ ගිනිතියනවා. දරුවන් දෙන්නට අම්මා තාත්තට කඳවුරු ගත වෙන්න වෙනවා. කෝච්චිවල හා බඩු නැව්වල දාලා මේ මිනිස්සු උතුරට යවනවා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අනික් ළමයි අතරේ බොහොම අහිංසකව ඉගෙන ගත්තු දරුවො දෙන්නා මිය යන්නේ මුහුදු කොටි දෙන්නෙක් හැටියට. මම අහන්නේ කවුද ඒ දෙන්නා මුහුදු කොටි කෙරුවේ.

ප්‍රශ්නය – එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ සමාජයේ කථිකාවක් ආරම්භ වෙලා තියෙනවා. නමුත් මේ මොහොත සුවිශේෂිභාවයක් උසුලනවා පසුගිය සිදුවීම් පෙළත් එක්ක ගත්තාම. ඒ අර්ථයෙන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන්න කරුණා කරලා අපේ හාමුදුරුවනේ, මේ සමාජ මාධ්‍ය ජාල අපේ තරුණ කොල්ලන්ට, අපේ තරුණ කෙල්ලන්ට, වැඩිහිටියන්ට, බාල මහලු සියලු දෙනාට, ඔබ වහන්සේ කියන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී මොන මොඩලයේ කෙනෙක් විය යුතුද රටේ නායකත්වයට පත්වෙන කෙනා?
ඊළඟට එන කෙනා කොයිවගේ කෙනෙක් වෙන්න ඕනද කියන එකට මට හරි අමාරුයි උත්තරයක් දෙන්න. තව අවුරුද්දකින් එන දේකට මනුෂ්‍ය හැදිලා තියෙනවා ද කියලා මට කිසිම වි‍්ශ්වාසයක් නැහැ. මොනවගේ පුද්ගලයක්ද කියලා මට අදහස් නෑ.

මම එකෙදි දකිනවා, ජාතිය ආගම ඉක්මවා ගියපු පුළුල් ලෙස මනුෂ්‍ය වර්ගයා දෙස දකින් පුළුවන්, ලොකු ඉදිරි දැක්මක් ඇති මනුෂ්‍යයෙක් හැටියට. මම කියන්නේ මැන්ඩලා කෙනෙක් වගේ. නමුත් මැන්ඩලා කෙනෙක් බිහිවෙන්න බෑ. ඒක නැවත නැවතත් ඔප්පු කරලා තියෙනවා. එහෙම කෙනා හැදෙන්න ලොකු ප්‍රයත්න දරන්න වෙයි.

ආගමික සංස්කෘතිය තුළ නැත්නම්, අනිකාට ගරුකිරීම, බෙදා හදා ගැනීම කොහොමද විශිෂ්ඨයෙක් බිහිවෙන්නේ ඒ අභියෝගය කොහොම වෙන්න පුළුවන්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මට එහෙම ලොකු විශ්වාසයක් නැහැ. ඒකයි මම කියන්නේ, මම වැඩිපුර වැඩ කරන්නේ පොඩි ළමයින් එක්ක. තරුණයන් එක්ක. අපි අයිති වෙන්නෙ අසාර්ථක පරම්පරාවකට. දේශපාලනය වශයෙන් වෙන්න පුළුවන්. පරිසරය වශයෙන් වෙන්න පුළුවන්. වටිනාකම් පැත්තෙන් ගත්තාමත් අපි අසාර්ථක පරම්පරාවක්. ඊළඟ පරම්පරාවෙන් ඔය නායකත්වය වර්ධනය වෙලා එන්න පුළුවන්. දැන් හැබැයි ඒක මේ 2020 වැඩක් හැටියට මම දකින්නේ නෑ.

එතකොට ඒ නායකයා කොයිවගේ ලක්ෂණ තියෙන කෙනෙක් ද කියලා ගත්තොත්, මේ සිද්ධිය වුණාට පස්සේ මට අවස්ථාවක් ලැබුණා එක්තරා නාලිකාවක ගීත තොරණ වැඩසටහනකට සහභාගි වෙන්න. මම එකේ දෙවෙනි ගීතය හැටියට තේරුවේ පනාමුරේ ඇත් රාජා සම්බන්ධ ගීතය. මම ඒක තෝරන්න හේතුව නායකත්වය සම්බන්ධයෙන් ඒ සතා ආශ්‍රයෙන් එනවා කිසියම් ආදර්ශයක්. ඒ සාර්ථකත්වයෙදි නෙමෙයි, තමන්ගේ කණ්ඩායම අභියෝගයට ලක්වෙලා තියෙද්දි. තම ජීවිතය අත්හැර කණ්ඩායමේ නායකත්වය ගන්නවා. අපේ රටේ ඔය බෝම්බ සිද්ධියත් එක්ක ගත්තොත් ඇත්තටම මෙවැනි දෙයක් සිද්ධ වෙන්න යනවා කියා දැන දැන සියලු නායකයින් තමන්ගේ ආරක්ෂාව සලසගෙන ජනතාව අතහැරලා හිටියා. ඒකටයි මම ඔය කතාව ගෙනාවේ.

නායකත්වය කියලා කියන්නේ, තමන්ට සැප විඳීම බැබලීම ඉලක්ක කරගත්ත පුද්ගලයෙක් නෙමෙයි, එයා කැපවෙන්න, අත්හරින්න, දුක්විඳින්න ලෑස්ති කෙනෙක් වෙන්න ඕන. මම හිතන්නේ එවැනි නායකයින් සිංගප්පූරුවෙන් බිහිවුණා. එවැනි නායකයින් අතර නෙල්සන් මැන්ඩෙලා ඉන්නවා. ලෝකයේ එවැනි නායකයින් සැප විඳින්න නෙමෙයි නායකත්වයට එන්නේ. ව්‍යවසනකාරී තත්ත්වයෙන් ජාතිය ඔසවා ඉදිරියට ගෙනියන්න. එහෙම කෙනෙක් ලොකු පපුවක් තියෙන, ලොකු දැක්මක් තියෙන , තීරණ ගන්න පුළුවන් නායකත්වයක් කියලා. එවැනි කෙනෙක් පේන්න ඉන්නවාද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ මට නම් පේන්න නෑ කියලා. ඒක ඔප්පු කර පෙන්වා සිටිමේ අභියෝගය මම ඒ අයට බාරදෙනවා.
සකස් කළේ – මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *