පින් කලාට උපහාරයක් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019.06.16 රාවය පුවත්පතේ අපූරු ප්‍රවෘත්තියක් පලවී තිබුණා. අපුරුව කියන්නට සමාන වචනයක් අපූර්වත්වය කියා සාහිත්‍ය විචාරයේදී යොදන පූර්වයේ හෙවත් ඉන්පෙර නොතිබුණු යන්නට සමාන අර්ථයෙනුයි.

අප කියන අපුර්ව එනම් ඉන්පෙර නොතිබූ ප්‍රවෘත්තිය උපහාර උළෙලකට සම්බන්ධ වුවක්. උළෙල සංවිධානය කර ඇත්තේ නාරාහේන්පිට ගෞතම විහාරයේ විහාරාධිපතින් විසින්.පුවත්පතේ ඒගැන සදහන් වන්නේ මෙසේයි.

” නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති (ප්‍රවෘත්තියෙ හිමියන්ගේ නම සදහන් වුවත් මෙහි සදහන් කරන්නේ නැත.) හිමියන් විසින් පසුගිය දින සිය විහාරස්ථානයේ දායක පිරිස ඇගයීම  සදහා සුවිශේෂී උපහාර උළෙලක් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී . මෙම උපහාර  උළලේදී ඇගයීමට ලක්කරන ලද්දේ නිතිපතා  ශ්‍රී ගෞතම විහාරයට උදැසන සහ දවල් දානය පිළිගන්වන දායක පිරිස වීම විශේෂයයි.”

ප්‍රවෘත්තියේ තවත් තැනක මෙසේ සදහන් වෙනවා. ” විහාරස්ථානය සදහා උදෑසන සහ දවල් දානය පිරිනමන පවුල් 62 ක් සදහා මෙම උපහාර උළෙල පැවැත්විය. මේ දායක පවුල් 62හිම කාන්තා පුරුෂ පාර්ශවයන් සදහා නිල ඇදුම් පිරිනමා ඔවුන්ව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිට ශ්‍රී ගෞතම  විහාරස්ථානයට  ආකර්ශනිය  පෙරහැරක්  පවත්වමින් කැදවාගෙන ගොස් සම්භාවනීය සභාවක් මධ්‍යයේ උපහාර පිරිනමන ලදී . එහිදී සෑම පවුලකටම අලංකාර කුඩා චෛත්‍යයක්  සහ රුපියල් 27500 ක් වටිනා ධර්මචක්‍ර හැඩයේ රන්  පෙන්ඩනයක්   ලබාදුනි ”

දැන් කාලයේ තෑගී නොදෙන්නේ මොනවටද සතියේ දවස් හතට ලොතරැයිපත් කියක් දිනුම් අදිනවද. ජංගම දුරකථන වලට රිලෝඩ් දැම්මත් තෑගි .ජංගම දුරකථන බිලක් ගෙවුවත් තෑගි . ඉඩම් කට්ටි කර විකුණන වෙළෙන්දන් ගෙනුත්  තෑගි. රුපවාහිනී බැලුවත් තෑගි . රේඩ්යෝ ඇහුවත් තෑගි . ඒ අතරට එකතු වූ අලුත්ම අංගය විහාරස්ථානයකට හිල් දානය දවල් දානය දුන්නාම ලැබෙන තෑගී.

කියන ආකාරයට පන්සලේ හතරපේරුවේ දායක සභාවේ පිරිස පවුල් 62 ක් ඔවුන් හැමෝටම ධර්මචක්‍ර හැඩයේ රන්  පෙන්ඩනයක් සමග කුඩා චෛත්‍යයක් තෑගි ලැබී තිබෙනවා. ඊට අමතරව නිල ඇදුමකුත් ලැබිලා.නිල ඇදුමෙත් කුඩා චෛත්‍යයෙත් වටිනාකම ගැන සදහනක් නැහැ. එහෙත් ධර්මචක්‍ර හැඩයේ රන් පෙන්ඩන එකක වටිනාකම රුපියල් 27500  ක් . ඒ අනුව රන් පෙන්ඩන් 62 සදහා වැයකර ඇති මුදල පමණක් රුපියල් 1705000 ක්.

මෙතෙක් කලක් බෞද්ධයන් පන්සල් ගියේ දන් පින් කරන්න. පන්සලට දානෙ පුජා කලේ කුසල් මිස  වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. කුසල් රස්කරගන්නේ දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසීම ලබන්න. කෙටියෙන් කියතොත් මෙතෙක් විහාරස්ථානවලින් කෙරුණේ පරලොව පෙන්නලා එහෙමත් නැත්නම් ඊලග උපත් මතු ආත්මය පෙන්වා දහම් පඩුරු,පුද  පඩුරු ලබා ගැනීමක් එසේ පුද සත්කාර ලැබීම වෙනුවෙන් පන්සලෙන් කෙරුණේ  බණට පිරිතට පාංශුකුලයට සහභාගිවීම වැනි කාරණා ටිකක්. ඊට අමතරව අතීතයේ පිරිවෙන හරහා ගිහි පිරිමින්ට අධ්‍යාපනය ලබා දීම වැනිදේ කෙරුණත් ඒ බහුල වශයෙන් නෙවෙයි . රජදවස ගතහොත් පන්සලේ අධ්‍යාපනය බොහෝවිට ලැබුණේ රජ මැතිදුන්ට. ඊට අමතරව වෙදකම නැකත් ශාස්ත්‍ර වගේ ලෞකික ජිවිතයට වැදගත් වන සමහර දේවල් පන්සලෙන් කෙරුණා වුනත් ඒවා කෙරුණේ පන්සලට  දානමාන දීම වෙනුවෙන් සතර පේරුවේ දායකයන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් නම් නෙමෙයි. ශාසනික සේවාව වශයෙන් පමණයි. එවැනි තත්වයක් තුල නාරාහේන්පිට ගෞතම විහාරයේ සිදුව ඇති දෙය ගෞතම බුදුන්ගේ කාලයේවත් සිදු නොවූ දෙයක් බව කිසිම ගැටලුවකින් , දෙගිඩියාවකින් , සැකයකින් තොරව කියන්නට පුළුවනි. අම්ම මුත්තා කාලේවත් අහපු නැති දේවල් කියලා පැරැන්නෝ කිවේ මෙන්න මේ වගේ වැඩ වලට තමයි.

දානමාන දීම වෙනුවෙන් පන්සලෙන් ගමට උපහාර කිරීම තෑගි දීම බුද්ධාගමේ  හරයන්ට කොච්චර  ගැලපෙනවද කියලා සාම්ප්‍රදායික බෞද්ධයෝ හිතන්න පුළුවනි. ගෞතම විහාරයේ සිද්ධිය ගත්තහම පොඩි ඔෆීෂියල් ගතියකුත් පෙනෙන්න තියෙනවා. නිදසුනක් වශයෙන් නිල ඇදුමක් ලබාදීම. දැන් ගෞතම විහාරේ දායක සභාව පැහැදිලියි පන්සල් යනකොට ඉස්කෝලේ යනවිට වගේ නිල ඇදුම ඇදගෙන යන්න පුළුවනි.   කුඩා චෛත්‍ය රාජයාට වඩා ධර්ම චක්‍රය සහිත පෙන්ඩන් එක උපාසක උපාසිකාවන්ට වටින බවට සැකය නැහැ. හැඩයට ධර්ම චක්‍රය නිසා කරේ එල්ලගෙන ගියොත් බොදුබල සේනා , රාවණ බලකාය මහසොහොන් බලකාය වගේ ආගම් මාමක පිරිසකගේත් පොලිසියේත් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන් වුනත් ගෞතම විහාරයට දැනුම්දීලා ප්‍රශ්නය ගොඩින් විසදන්න පුළුවන් වෙයි.

වැදගත්ම දේ දායක සභාවට ධර්ම චක්‍රය හැඩය සහිත පෙන්ඩනය  හදිස්සියකට බැංකුවක වුනත් උගස් තියන්න පුළුවන් වීම. මුස්ලිම්  උගස් කඩවල නම් ධර්ම චක්‍ර හැඩය සහිත පෙන්ඩනය උගස් තියන්න එපා කියලා පොඩි උපදෙසකුත් දායක සභාවට විහාරස්ථානයෙන්ම  දුන්නොත් හොදයි. එහෙම නැති වුනොත් මුස්ලිම් උගස් කඩේට බෞද්ධහිතවාදී ජනතාවගෙන් ,ධර්ම චක්‍ර වෙලදාම් කළා කියලා ප්‍රහාර එල්ල වෙන්න පුළුවනි.

සෝවාන් වුනු රහත් වුනු භික්ෂුන් මැතකදී දක්නට ලැබුනත් මත ඉතිහාසයේ ත්‍යාගශිලිම භික්ෂුව  දැකගන්නට ලැබෙන්නේ නාරාහේන්පිට ගෞතම විහාරයෙන් බව බයක්  සැකක් නැතුව කියන්නට පුළුවනි.

ඉදිරිදියේදී සමහරවිට ගෞතම විහාරයට දායකයෝ වැඩි වෙන්නත් පුළුවනි. අවට පන්සල් වල  දායකයෝ ගෞතම විහාරයට එකතු වුනොත් ඒ පන්සල්වලට හතරපේරුවේ දානමාන හිග වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වුනොත් ඒ පන්සල්වලට ගන්න වෙන පියවර තමයි ගෞතම විහාරයට වඩා හොද තෑගි පැකේජයක් තමන්ගේ   පන්සල් වල දායකයන්ටත් ලබාදීම . ඒ කියන්නේ පෙන්ඩන් එක රුපියල් 27500 ට වැඩි වෙන්න ඕන නැත්නම් දායකයෝ ගෙන්වාගන්න අමාරුයි

පෞද්ගලිකවම මම නම් ගෞතම විහාරෙන් ඇරබුණු ඒ උපහාර දැක්වීමට ඉහලින්ම කැමතියි. මොකද ඒවගේ වැඩ කියන්නේ මෙලොවදීම කල පින් පටිසන් දීමක්. පිනට දුන්නොත් ලැබෙන දේ පැහැදිලියි ලබන ආත්මේ ලැබුනත් නැතත් මේ ආත්මේ ලැබෙනවා.එක අතකින් ගත්තම ගෞතම විහාරේ පින්වතුන්ට මේ ආත්මේ කල දානවල පින නොලැබෙන්නත්  පුළුවන් .  මොකද කල පින මේ ආත්මේම රත්තරනින්ම ගෙවලානේ තියෙන්නේ. මේ සිරිත රටේ හැම පන්සලටම ගියොත් මුදල් හදල් වැඩිපුර නැති පන්සල් වල දායකයෝ නැත්තටම නැතිවෙන්නත් පුළුවනි . එහෙම වුනොත් දුප්පත් පන්සල්වල හාමුදුරුවරු ආණ්ඩුවෙන් පෙන්ඩන් ඉල්ලන්නත් බැරි නැහැ . රතන, ඥානසාර වගේ භික්ෂුන් ඒ සටන් වල මුලිකත්වය ගන්නත් පුළුවනි.

සාධු සාධු සාධු .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *