ජාතිවාදී ගැටුම් ඇතිකරන බොරු ප්‍රවෘත්ති දුන්නැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ?

ජාතිවාදී ගැටුම් ඇතිකරන බොරු ප්‍රවෘත්තියක් පුවත්පතකට ලබා  දුන්නැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි සිංහල මවුවරුන්ට වඳ සැත්කම් කළයි පළවූ පුවත්පත් වාර්තා සහ ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් , විශේෂ විමර්ශන ඒකකයත් කළ පරීක්ෂණ වල ප්‍රතිපල ලෙස මෙම පියවර ගැනීමට තීරණය වී ඇති බව කියති . ඊට අමතරව  නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් විනය පරීක්ෂණයක්ද  සිදුකොට ඇත .

සිදුවීම පිලිබඳ පරීක්ෂණ මේ වනවිට බොහෝ දුරට අවසන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි . එම තොරතුරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ලබන සතියේ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද ඒ සමග ආරම්භ වනු ඇත .

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද , හෙද නිලධාරීන් 68කගෙන් ද , රෝහල් කාර්ය මණ්ඩලයේ 15ක ට වැඩි පිරිසකගෙන්ද , මවුවරුන් 700ක ට  වැඩි පිරිසකගෙන්ද රහස් පොලිසිය මේ වනවිට කට උත්තර සටහන් කරගෙන ඇත . එම සියල්ලෙන් පැහැදිලි වී ඇත්තේ සාෆි වෛද්‍යවරයාට එල්ල කළ චෝදනා වලට කිසිදු පදනමක් නැති බවයි .

කුරුණෑගල රෝහලට පැමිණිලි කළ ඇතැම් මවුවරුන්ගේ ශල්‍යකර්ම සිදුකොට ඇත්තේ සාෆි විසි නොව වෙනත් වෛද්‍යවරුන් විසින් බව හෙළිදරවු වී ඇත . ඇතැම් ශල්‍යකර්ම කළේ කවුදැයි වාර්තා නැත . තමන්ට ඇතැයි මවුවරුන් කියන ඇතැම් සංකුලතා ශල්‍යකර්මයට හෝ ප්‍රජනන ක්‍රියාවලියට සම්බන්ධ නැති බව වෛද්‍යවරුන්ගේ නිගමන වී ඇති බවද කියති .

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ වීමත් සමග කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඒ එම් එස් වීරබණ්ඩාර මහතාට මෙන්ම  අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරයට සම්බන්ධ අනෙක් අයටද එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ වනු ඇත . විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන වීර බණ්ඩාර මහතා මෙම සිදුවීම පිටුපස සිටි ප්‍රධාන චරිතයකි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *