මහනාහිමිවරු මුස්ලිම් මන්ත්‍රී හමුව – සිදුවුයේ කුමක්ද ?

මාධ්‍ය රටට නොකී ඇත්ත කතාව

බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරු දෙදෙනාත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාත් තනතුරුවලින් ඉවත් විය යුතු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහ මළුවේදී උපවාසයක් ආරම්භ කළේ පසුගිය මස 31 දිනය. එම උපවාසයට දින හතරක් එලඹෙද්දී මහනුවර සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමා කළු කොඩි ඔසවා රතන හිමිට සහය දැක්වීමට පිරිසක් කටයුතු කළහ. ඒ අතර ජනපති සමාව මත සිර දඬුවමින් මිදී පිටතට පැමිණ සිටි බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමිද ඊට සහයට පැමිණියහ. මේ ඔස්සේ මහනුවර පමණක් නොව ඒ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථානද වසා දැමුණු අතර දිවයිනේ නන් දෙසින් සිංහල බෞද්ධ යැයි හඳුන්වාගත් පිරිස් සංවිධානාත්මකව මහනුවර නගරයට එක් රොක් වූයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේද ආශිර්වාදය ඇතිවය.

රතන හිමිගේ උපවාසයට දින තුනක් ගතව තිබියදී ඥානසාර හිමි ප්‍රකාශයක් කරමින් පැවසුවේ අදාළ මුස්ලිම් මහජන නියෝජිතයින් තනතුරුවලින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් පසුදින රට පුරා සැණකෙළි දැකගත හැකි බවයි. ඥානසාර හිමි අදාළ ප්‍රකාශය කළ දිනට පසුදින මහනුවර නගරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය රට පුරා ව්‍යාප්ත වන ස්වභාවයක් ඇති වීමත් සමඟ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ජනපති හා අගමැති වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ රතන හිමිගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉක්මන් අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවයි. ඒ වන විටත් බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබිණි.

ආණ්ඩුවේ ඇමැති ධුර හෙබ වූ සෙසු මුස්ලිම් ඇමැතිවරු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ නිවෙසේදී සාකච්ඡාවක් ආරම්භ කළේ පවතින තත්ත්වය තුළ රටේ ඇති වීමට යන නොසන්සුන්තාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමටය. එහිදී කිසිවකුත් අපේක්ෂා නොකළ තීරණයකට එළඹි එම පිරිස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දැනුම් දුන්නේ, සියලු මුස්ලිම් ඇමැතිවරු අමාත්‍ය ධුරවලින් ඉවත් වී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව කෙරෙන පරීක්ෂණවලට සහය දෙන බවයි. ඒ වන විටත් උපවාසය අවසන් කර රතන හිමි රෝහල්ගතව සිටියේය. රතන හිමිගේ ප්‍රශ්නය මේ ආකාරයෙන් නිරාකරණය වෙත්දී මුස්ලිම් ඇමැතිවරු තනතුරු අත්හැරීම ඔස්සේ තවත් ප්‍රශ්නයක් මතු විය. ජාත්‍යන්තර වශයෙන් මෙය රටට අහිතකර ලෙස බලපාන්නා වූ පසුබිමක් ඒ වන විටත් මතු වෙමින් තිබිණි.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහ සංඝරත්නය අස්ගිරි මහ විහාරයට රැස්ව මෙම ගැටලුව සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවේ මෙම පසුබිම තුළය. අන්තවාදී කණ්ඩායම්වලට සහය දුන් බවට චෝදනා එල්ලවූ මහජන නියෝජිතයින් හැර සෙසු මුස්ලිම් මන්ත්‍රීවරු මෙම අවස්ථාවේ ඇමැති ධුර අත්හැරීම අනුමත කළ නොහැකි බවත් ඔවුන් යළි තනතුරු බාරගෙන රට වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කළ යුතු බවත් ත්‍රෛනිකායික මහ සංඝරත්නයේ අදහස විය.කිසිදු චෝදනාවක් නොමැති ඇමැතිවරු අන්තවාදීන්ට සහය දුන් බව කියන පිරිස හා එක්ව තීන්දු ගැනීමෙන් පැහැදිලි ලෙස සිංහල හා මුස්ලිම් ජන සමාජ අතර බෙදීම් රේඛාවක් නිර්මාණය වන බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පැවසූහ.

ඇමැතිධූර අත්හැරීම

ත්‍රෛනිකායික මහ සංඝරත්නය අස්ගිරි මහ විහාරයට රැස්ව ගනු ලැබූ තීන්දු තීරණ අතර ප්‍රධාන කාරණයක් වූ මුස්ලිම් ආමත්‍ය වරු තනතුරු අත්හැරීම සම්බන්ධව මල්වතු අනුනාහිමි කළ ප්‍රකාශයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණියේ අනුනාහිමි කළ ප්‍රකාශය අගය කර උන්වහන්සේට ඒ පිළිබඳ ස්තූතිය පළකරන්නටය.

මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා ඇමැති ධුර අත්හැරීම සම්බන්ධව ආගමික නායකයින් මෙන්ම ප්‍රධාන පක්ෂවල මහජන නියෝජිතයින්ද විවේචනාත්මකව අදහස් පළ කළත් ඔවුන් එම තීරණය ගනු ලැබීමට හේතු වූ කරුණු සම්බන්ධව කිසිවකුත් අවධානය යොමු නොකරන තත්ත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරු පසුගියදා මහනුවරට පැමිණියේ මහනාහිමිවරු ප්‍රමුඛ මහ සංඝරත්නය හමුවී එම කරුණු කියන්නටය. අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහනායක නිල ආරාමය වෙත වැඩම කළ මහා සංඝරත්නය එහිදී මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම හමු වූහ. මෙම හමුව සම්බන්ධව මෙරට සියලු මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුව තිබිණි. වෙනදා මාධ්‍යයට විවිධ කොන්දේසි පනවන මහා සංඝරත්නය මෙම හමුව සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව උන්වහන්සේලාට ගෞරවය හිමිවිය යුතුය. එසේ වුවත් මෙම හමුව මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කළේ මුස්ලිම් ඇමැතිවරු බිත්තියට තබා හේත්තු කරන න්‍යායකට අනුගත වෙමිනි.

අදාළ හමුව මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාළිකා කිහිපයක් වාර්තා කළ ආකාරයෙන් එය පැහැදිලි වනු ඇත. මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මහා සංඝරත්නය සමඟ කළ සාකච්ඡාව මුළුමනින්ම ආවරණය කිරීමට අස්ගිරි මහනාහිමි ප්‍රමුඛ මහ සඟරුවන අවසර ලබා දීම හේතුවෙන් සාකච්ඡාවෙන් අනතුරුව මයික්වලට ප්‍රකාශ ලබා දීමට පියවර නොගන්නා ලෙස මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දෙනු ලැබුවේ අස්ගිරි පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියන් විසිනි. එය පිළිගෙන පිටතට පැමිණි මුස්ලිම් මනත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට විද්‍යුත් මාධ්‍යවේදීන් උත්සාහ කළේ නාලිකා ප්‍රධානීන් විසින් ලබාදෙන ලද ප්‍රශ්නාවලියක්ද සමඟිනි.

මහ නාහිමි උපදෙස

මහ නාහිමිවරු කළ ඉල්ලීමට ගරු කරමින් මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මාධ්‍යට ප්‍රකාශයක් නොදී පිටව ගිය අතර ප්‍රවෘත්ති විකාශනය තුළ දෛනිකව විනාඩි 20 කටත් වැඩි කාලයක් සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් ලවා මුස්ලිම් දේශපාලනඥයින් හා නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නාළිකා කිහිපයක්ම මෙම සිද්ධිය වාර්තා කළේ මුස්ලිම් මන්ත්‍රීවරු සංඝයා වහන්සේ සමඟ කළ සාකච්ඡාවෙන් පසු කෝපවී මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකර පිටව යන ආකාරයෙනි.

අභ්‍යන්තර සිදුවීම් කිසිවක් නොදන්නා ජනතාව අදාළ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් වෛරයක් ගොඩනගා ගන්නා අතර මෙරට ඇතැම් මාධ්‍යවලට අවශ්‍යව තිබෙන්නේද එයම බව සිතන්නට කරුණු ඕනෑවටත් වඩා තිබේ. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා මෙරට තුළ සුළු තරයක් වුවත් ගෝලීය වශයෙන් සැලකීමේදී මුස්ලිම් ප්‍රජාව සුළු තරයක් නොවන බැවින් කාගේවත් බලපෑම්වලට මුස්ලිම් ප්‍රජාව යටත් නොවිය යුතු බවට කළ ප්‍රකාශය හෙළා දකිමින් මෙම මුස්ලිම් මහජන නියෝජිතයින් සියලු දෙනා කතා කළහ.

එම ප්‍රකාශය තමන් කිසිවකුත් අනුමත නොකරන බව හකීම්, ෆවුසි, හලීම්, ෆයසර්, රිෂාඩ් යන හිටපු ඇමැතිවරු ඇතුළු සියලු දෙනා මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රකාශ කළත් බොහෝ මාධ්‍ය එයට ප්‍රචාරයක් දීමට මැළිකමක් දැක්වීය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉලක්ක කර දේශපාලනඥයින් පිරිසක් හා ඔවුන් බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින මාධ්‍ය අායතන අන්තවාදී ප්‍රහාර එල්ල කරනු ලබන්නේ පසුගිය ඔක්තෝම්බර් මස හදිසියේ අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරය සකස් කර ගැනීමට ඔහු සහය නොදීම නිසා බවද මෙහිදී මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම පැවසූහ.

මහා සංඝරත්නයේ අනුශාසන කිසි විටෙකත් පිටුදැක කටයුතු කිරීමට මුස්ලිම් දේශපාලනඥයින් කටයුතු නොකරන බවත් මහනාහිමිවරුන්ගේ ඉල්ලීම්වලට අවනත වන බවත් මෙහිදී පැවසුවේ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ය.

රට තුළ සදාකාලික සාමයක් ඇති කරනු පිණිස මුස්ලිම් ඇමැතිවරු තනතුරු අත්හැර කැපවීමක් කළත් ඒ පිළිබඳ වැරදි මත සමාජගත වෙමින් තිබෙන බවත් ඇතැම් මාධ්‍ය මෙයට මුල් වී ක්‍රියා කරන බවත් ඔහු පැවසුවේය. අදාළ තීරණය කිසිදු ආකාරයක සැලසුමකින් තොරව සිදුකළ එකක් බව ප්‍රකාශ කළ හකීම් මහතා රතන හිමිගේ උපවාසයත් ඥානසාර හිමිගේ පාගනමත් නිසා රටේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් සියලු මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළේ ඒ ඔස්සේ රටේ සාමය යළි ස්ථාපිත වනු ඇති බවට ඇති වූ විශ්වාසය නිසා බවද අවධාරණය කළේය.

දේශපාලන චෝදනා

මෙරට මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන බවත් මේවායින් 1650 ක් පසුගිය කාලය තුළ යුද හමුදාව හා පොලීසිය එක්ව පරීක්ෂාවට ලක්කර තිබෙන බවත් ඉන් කඩු හා පිහි හමුවූයේ පල්ලි හතරක පමණක් බවත් එම්.එච්.එම්. හලීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ අතරින් පල්ලි තුළ කඩු හා පිහි තිබුණේ දෙකක පමණක් බවත් කඩු හා කිනිසි සොයා ගත්තේ අනෙක් පල්ලි දෙකට අයත් භූමියේ තිබී බවත් කී ඒ මහතා මහ සංඝරත්නය හමුවේ පෙන්වා දුන්නේ මාධ්‍ය මගින් සිදුකළ වාර්තා කිරීම් ඔස්සේ රටේ සියලුම පල්ලි වල කඩු,කිනිසි,පොරෝ තිබෙන බවට සිංහල ජන සමාජය තුළ වැරදි මතයක් ගොඩ නැඟී තිබෙන බවයි.

පොලිස්පති හෝ ත්‍රිවිධ හමුදාපතිවරු තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නොකරද්දී පොහොට්ටු දේශපාලනඥයින් හා ඔවුන්ට හිතවත් මාධ්‍ය අායතන තමන්ට පදනමක් නොමැතිව චෝදනා එල්ල කරන බවත් තමන්ද ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මකවූ සමයේ මන්නාරම හා මුලතිව් ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවාසය කළ භික්ෂූන් වහන්සේලාට දානය පවා ලබා දීමට මුල්වූයේ තමන් බව පවසමිනි. සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කියා මුස්ලිම් ජනතාවට විරුද්ධව අද කටයුතු කරන බොහෝ දෙනෙකු එදා දකින්නට හෝ නොසිටි බවද ඔහු කීවේය.

මිනුවන්ගොඩ ආදි ප්‍රදේශවල සිදුවූ පහර දීම් හේතුවෙන් අද වනවිට මුස්ලිම් පල්ලි 28ක් වසා දමා තිබෙන බවද සිහිපත් කළ බදියුදීන් මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එම ප්‍රදේශවල ජීවත්වූ ලක්ෂයක් මුස්ලිම් ජනතාව පන්නා දමන්නට හේතු වූයේ මුස්ලිම් ප්‍රජාව එල්.ටී.ටී.ඊ. ක්‍රියා අනුමත නොකළ නිසා බවද පැවසුවේය. දෙමළ භාෂාව කතා කරමින් සිටි මුස්ලිම් ජනතාවට අවශ්‍ය නම් කොටි ත්‍රස්තවාදීන් හා එක් වීමේ හැකියාව තිබුණද එසේ නොකළේ රට දෙකට කිරීමට මුස්ලිම් ප්‍රජාව අකමැති නිසා බවද මහ සඟරුවන ඉදිරියේ පැවසූ හෙතෙම අද ඇතැම් මාධ්‍ය ආණ්ඩුව බිඳ වැට්ටවීම පිණිස ජාති වාදය අවුස්සා එහි බිල්ලක් බවට තමන් පත් කරගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය.

මුස්ලිම් දේශපාලනඥයින් කිහිපදෙනකුට චෝදනා එල්ල වෙද්දී සියලු දෙනා තනතුරු අත්හැරීම ඔස්සේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු අන්තවාදයට උදව් දෙන බවට මතයක් සමාජ ගත කරන්නට පිරිසක් උත්සාහ කරන බවත් මුලින් රිෂාඩ් ඉලක්ක කළ ඔවුන් පසුව තවත් ඇමැතිවරුන්ට චෝදනා කරන්නට සැලසුම් කර තිබූ බවත් කී ෆවුසි හිටපු ඇමැතිවරයා රනිල්ගේ පාලනය බිඳ දමා මහින්ද පාලනයක් ඇති කිරීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරු සහය දුන්නේ නම් අද මෙවැනි ප්‍රහාර මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එල්ල නොවන බවද පැවසුවේය.

සමස්තයක් ලෙස ගත් කල මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මල්වතු අස්ගිරි මහ සංඝරත්නය බැහැ දැකීමට පැමිණ උන්වහන්සේලාගේ අවවාද හා අනුශාසනා පිළිගන්නා බවට ප්‍රකාශ කිරීම යහපත් ප්‍රවණතාවකි. මෙම හමුවේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාමියෝ අවධාරණය කර සිටියේ සියලු මුස්ලිම් ඇමැතිවරු තනතුරු අත්හැරීම මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව වැරදි මතයක් ජත්‍යන්තරයට යා හැකි බවයි.

ඒ ඔස්සේ ඉදිරියේදී ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් රටට ඇති වීමේ අවදානමක් පිළිබඳවද උන්වහන්සේ කරුණු මතු කරනු ලැබූහ. අද පැහැදිලි ලෙසම විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් නිර්මාණය වී ඇතැයි ද මේ ඔස්සේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ව්‍යාකූලත්වය රට තුළ ව්‍යසන ඇති කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන බව ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ කළ ප්‍රකාශය පිළිබඳ මුස්ලිම් ඇමැතිවරු පමණක් නොව ප්‍රධාන පක්ෂවල නායකයින්ගේ ද අවධානය යොමු විය යුතුව තිබේ.

සටහන
අසේල කුරුළුවංශ
ඡායාරූපය-රුවන් මීගම්මන

දිනමිණ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *