අයි. සී. සී. පී. ආර්. පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි.  සී. සී. පී. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන අනුව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීම දැඩිලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදාගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි.

දීර්ඝ කාලයක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා ද්විත්යෙන්ම ජනමාධ්‍ය කටයුතුවල නිරතවන කුසල් පෙරේරා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන මාධ්‍යවේදීයෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක්වූවෙකි. ඔහු විසින් සතිපතා ඩේලිමිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින “From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence”

හෙවත් “ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කරගෙන පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ පියවර ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වන සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ ඩේලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත ඩේලිමිරර් පුවත්පතේ

ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම එහිදී පොලිසිය කුසල් පෙරේරාගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකද ලබාගෙන තිබේ.

පොලිසියේ මෙම ක‍්‍රියාකාරීත්වය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බවත් විශේෂයෙන්ම කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීමත් භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විරංජන හේරත්

කැඳවුම්කරු

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *