ගෝඨා තව ටික කලක් සිංගප්පූරුවේ විවේක ගනීවි – විමල්. නඩුව 19

සිය වෛද්‍ය ප්‍රතිකාර සාර්ථකව අවසන් කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තව ටික කලක් සිංගප්පූරුවට වී විවේක සුවයෙන් පසුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා ඉන් පසුව යළිත් සක්‍රීය දේශපාලනයට එක්වනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (14) හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් තුන් කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩුව ජුනි 19 වනදා සිට විභාගයට ගැනීමට නියමිතව ඇත.

නඩු ළඟ එන විට ලෙඩ වැඩි වීමේ ඉතිහාසය

සාමාන්‍යයෙන් නඩුවක් විභාගයට ගැනෙන විට හෝ නඩු විභාගයකින් දඬුවම් නියම වූ විට රටේ නැති ලෙඩ රෝග වැළදීම අපේ දේශපාලකයින්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ ස්වභාවයයි. ඔවුන් බන්ධනාගාරගත වුවත් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලටය. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, ඥානසාර හිමි මෑත කාලීන උදාහරණය.

කෝටි 04ක මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිත මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගිය සතියේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යාමට අධිකරණයෙන් අවසර ලබාගෙන තිබිණි.

මෙවැනි අය නඩුවටත් පෙරම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරු ගිය අවස්ථා ද නැතිවා නොවේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාව එම ඝාතනය සිදු කෙරුණු 2011 ඔක්තෝබර් 08 වනදා ම රාත්‍රියේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල කරා යැවුණේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ම මැදිහත් වීමෙනි. ඔහු යළි පැමිණියේ වසර එක හමාරකට අධික කාලයකට පසුව 2013 මාර්තු 05 වනදා වන අතර දින කිහිපයකට පසුව ඔහුට ඇප ද ලැබිණි. මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකරුවීත් ඔහු එක් දිනක් හෝ රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ නැත.

RN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *