ගාමිණී සෙනරත්ගේ හා සජින් වාස්ගේ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේදී අතුරුදන් වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාල ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාමිණි සෙනරත් සහ සජින් වාස්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ අතර ඉන්පසු එම විමර්ශන පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. ඒ අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඉදිරි කටයුතු සඳහායි.

නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ ලිපිගොනු පිළිබඳව ඉදිරි කටයුතු සිදුවීම හෝ නඩු පැවරීම වෙනුවට සිදුව ඇත්තේ අදාල ලිපිගොනු අතුරුදන් වීමයි.

පසුගිය ආණ්ඩුව තුළ සිදු වූ දූෂණ-වංචා සහ බරපතල අපරාධ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා බොහෝවිට සිදු වූයේ ආණ්ඩුවේ ඉහළම පුටුවලින් අදාල විමර්ශන කටයුතු සිදු කරන නිළධාරීන්ට බලපෑම් එල්ල වීමයි. එසේ නැතහොත් විමර්ශන අවසන් කර නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් පසුව එක්‍කෝ ඒවා යට ගැසීමයි, එසේ නැතහොත් ලිපිගොනු අතුරුදන් වීමයි.

2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ පැවති පාලන සමයේදී සිදු වූ දූෂණ-වංචා, අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමයි. අද වනවිට වසර 04 ක් ඉක්ම ගොස් ඇතත් අවසන් වූ විමර්ශනයක් නොමැත. අවසන් වූ නඩුවක් හෝ දඬුවම් ලැබූ වැරදිකාරයෙකුද නොමැත. සිදුව ඇත්‍‍තේ එදා චෝදනා කළ පුද්ගලයන් විසින්ම චූදිතයන් ආරක්ෂා කිරීමයි.

UN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *