|

කැබිනට් රැස්කරන ක්‍රම ගැන අගමැති සමග ඇමතිවරු කතාබහක

පසුගිය සතිය පුරාම අගමැතිවරයා පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගී වීමට අමතරව විවිධ උත්සව රැසකටද එක්විය. අලුතින් සමෘද්ධි පවුල් ලක්ෂ 6 කට බෙදීමේ උත්සව ගණනාවකටද ඔහු එක්වූයේ ඇමති දයා ගමගේගේ ඇරයුමිණි. තවද විවිධ සංවිධාන රැසක නියෝජිතයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයකටද අගමැතිවරයා එක්විය. ඒ අතර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස රට පුරාම පවත්වා ආරක්ෂාවට අදාල සහතිකය මෙරට ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද ලබාදීම එහි අරමුණ විය. ඒ අතරේ බදාදා දහවල් අගමැතිවරයා සිංගප්පූරුව බලා පිටත්වීමට තීන්දු කොට තිබුණේ සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහාය. එම ගමනේදී දැනට සිංගප්පූරු රෝහලකදී සිදුකළ හෘද  සැත්කමක් හේතුවෙන් රෝහල්ගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සුවදුක් විමසීමද අගමැතිවරයාගේ සංචාරයේ කාලසටහනට අයත් විය. වෙනදා බ්‍රහස්පතින්දා අගමැති හමුවන එජාප මැති ඇමති පිරිස බදාද අරලියගහ මැදුරට පැමිණ සිටියේ අගමැතිගේ විදේශ සංචාරයට පෙර සුබපැතුම් එක් කිරීමටය.

“මෝදිගේ ලංකා සංචාරය රටේ ආරක්ෂාව සහතික බවට ලෝකයට දුන් හොඳ පණිවිඩයක්.” ඇමති ගයන්ත කරුණාතිලක සාකච්ඡාවට මුලපිරුවේය.

“මෝදි විතරක් නෙවෙයි, ඇමරිකානු රාජ්‍ය ලේකම්, මාලදිවයින් ජනාධිපති ඇතුළු මුළු කැබිනට් එකයි ඒ වගේම ජපාන අගමැතිගේ ප්‍රධාන උපදේශකයාත් ලඟදීම ලංකාවට ඒමෙන් ආරක්ෂාව තවත් සහතික වෙනවා. ඒක සංචාරක ව්‍යාපාරය ඇතුළු සියළු ක්ෂේත්‍ර වලට ලොකු ශක්තියක් වේවි.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“පාස්කු ප්‍රහාරයේ වගකීම නිලධාරින් පිට පටවලා සමහරු ඇඟ බේරගන්න හැදුවා. මේ ගැන කරුණු හොයන්න විපක්ෂය කරපු ඉල්ලීමට එකඟ වෙලා සියලු  පක්ෂ වල අනුමැතියෙන් කතානායකතුමා හා පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත් කළාම ඒකෙදී එළි වූ කරුණු අනුව ප්‍රහාරයේ ප්‍රධානතම වගකීම පැහැරහැරියේ කවුද කියල දැන් රටටම ඔප්පුවෙලා ඉවරයි” චමින්ද විජේසිරි දැඩි ප්‍රකාශයක් කළේය.

“තේරීම් කාරක සභාව නවත්වන්න කියල සමහරු දඟලන එකෙන්ම පේන්නෙ පුහුල් හොරා කරෙන් දැනේ කියන පරණ කතාවයි. රාජ්‍ය නිළධාරීන්ට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යන්න එපා කියලා තහංචි දාන තරමට සමහරු දැන් හිරවෙලා වගෙයි පේන්නෙ.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“පාර්ලිමේන්තුව තේරීම්කාරක සභාවක් පත්කිරීම හෝ අහෝසි කිරීමේ බලය කතානායක ඇතුලු පාර්ලිමේන්තුවට විනා වෙන කාටවත් ඒක අහෝසි කරන්න තියා බලපෑම් කරන්නවත් කිසිදු නීතිමය හෝ සදාචාරත්මක අයිතියක් නෑ.” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

“පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් එන්න කිව්වාම කිසිම නිලධාරියෙකුට ඒක මගඅරින්න බෑ. ඒ වගේම කිසිම බලවතෙකුට ඒ නිලධාරින් පැමිණීම වලක්වන්නත් බෑ. කැඳවන නිලධාරින් කාරක සභාව හමුවට නොපැමිණියහොත් විදින්නට සිදුවන පළවිපාක ගැන ඒ නිලධාරින්ට අවබෝධයක් ඇතැයි තමා සිතන බව කතානායකතුමා නිවැරදි ලෙස රටට කියා තිබෙනවා.” වජිර අබේවර්ධන කීවේය.

“ඇමති රවී හරහා පණිවිඩ එවමින් මේ තේරීම් කාරක සභාව නවත්වන්න සමහර බලවතුන් උත්සාහ කරන එක ඉතා නරකයි. ජවිපෙයි, චම්පික, රාජිත ඇතුළු මුළු කැබිනට් එකයි ආණ්ඩුවයි වගේම විපක්ෂයේ බොහෝ දෙනෙකුත් ඉන්නෙ ඒ ස්ථාවරයේ. රිෂාඩ් බදුර්දීන්ගෙ සාක්ෂිය ලබාගැනීම අත්‍යවශ්‍යයි. එය ඉක්මනින්ම කරන්න ඕන කියන එකයි කාගේත් අදහස වෙන්නෙ” එජාප නීති නිළධාරියෙකු කීවේ එවැන්නකි.

“දැන් තේරීම් කාරක සභාවෙ කට්ටියට ජනාධිපති හමුවෙන්න කියල එන්න කියලලු. එහෙම යන්නත් කාරක සභාවෙ බහුතර පිරිසක් කැමති නෑ. එන්න කියන්නෙ බලහත්කාරකමක් කරන්න කියලයි ඔවුන් කියන්නෙ. ප්‍රහාරයට අදාල තොරතු ලැබිලත් ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකල වගකිවයුත්තන් කවුදැයි කියල දැනගන්න මුළු රටටම අවශ්‍ය වෙලා තියන එකේ ඒ ඒක එළිකරගන්න උත්සාහ කරන තේරීම් කාරක සභාවට සමහරු බයවෙලා ඇයිද කියලයි මිනිස්සු අහන්නෙ. ජාතික ආරක්ෂාවට අදාල කිසිම රහසක් හෝ සංවේදී තොරතුරක් මේ කාරක සභාවෙදි එළිවෙනවා කියන එක අමූලික බොරුවක්.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“රාජපක්ෂලගෙ පාලන කාලෙ බුද්ධි අංශ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවල් පවා පවත්වලා තියනවා. සමහරු මැරිලා ඉපදිලා වගෙයි අද කතාකරන්නෙ. ශ්‍රීලනිපයේ අයයි පොහොට්ටුවේ අයයි ඒගොල්ලන්ට කඩේ යන ජනමාධ්‍ය හා සමහර හාමුදුරුවරු මේ තේරීම්කාරක සභාවට විරුද්ධ වීමෙන් එයාලගෙ පටු දේශපාලන අරමුණු හා බොරු දේශප්‍රේමය එළිවෙනවා” මුජිබර් රහුමාන් කීවේ එවැන්නකි.

“ගෙදර මනුස්සය එක්ක තරහ වෙලා හට්ටි වලං පොලොවෙ ගහනවා වගේ” මම කැබිනට් එක රැස් කරන්නෑ , රාජ්‍ය උත්සව වලට සහභාගී වෙන්නේ නෑ” කියල රටක නායකයෙක් කියනවනම් ඒක මහ පුදුමයක් වගේම ලෝකයට විහිළුවක් වේවි” චමින්ද විජේසිරි දැවැන්ත බෝම්බයක් පත්තු කළේය.

“ජනාධිපතිතුමා අපේ උත්සව වලට ඔක්තෝබර් 26 හොර ආණ්ඩුව හදපුදා පටන් කොහොමත් ආවෙ නෑනෙ. හොර ආණ්ඩුව හදපු වෙලාවෙ ඉදල තමයි මේ රට අනාත කළේ.” හේෂා විතානගේද එල්ල කළේ ප්‍රබල ප්‍රහාරයකි.

“කැබිනට් එක රැස් නොකර ඉන්න ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට කිසිසේත්ම බෑ. අපිත් දරදඩු වෙන්න නරකයි. ලබන සතියේත් බලමු. කැබිනට් එක රැස් කරන්න කියලා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරලා අපි එතුමාට යවමු. ඒත් හරියන්නේ නැත්තම් විකල්ප ක්‍රම තියනවා. එවැනිම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඊටපස්සෙ දිගටම අගමැතිතුමාගෙ මූලිකත්වයෙන් කැබිනට් එක රැස්වෙන්න කියල අපිට පාර්ලිමේන්තු අවසරයෙන් ක්‍රියාකරන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒ තරමටම හෑල්ලු කරන්න අපි උත්සාහ කරන්නෙ නෑ. එතුමාට රටේ නායකයා හැටියට තමන්ගෙ මූලික වගකීම් දිගටම පැහැර හරින්න ක්‍රියා නොකරන බව මට විශ්වාවසයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

“දැනට අගමැතිතුමාගෙ මුලිකත්වයෙන් පැවැත්වෙන ෆ්රී කැබිනට් එකේදි ගන්න තීන්දුයි කැබිනට් එකේදි සම්මත කරන්නෙ. එහෙම දිගටම අවුල ඇති වුණොත් ෆ්රී කැබිනට් එක නොතියා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කැබිනට් රැස්වීම පවත්වන්න පුළුවන්” වජිර අබේවර්ධන කීවේය.

“කැබිනට් එක ජනාධිපති ලේකම් කාර්යාලයේ තියන්නෙ එතුමා එන නිසයි. ඉස්සර විදේශ අමාත්‍යාංශයට අයිති ජනරජ ගොඩනැගිල්ලේ තමයි කැබිනට් රැස්වීම් තියල තියෙන්නෙ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.

අගමැති මෝදි ලංකාවට පැමිණියේ මාලදිවයින් සංචාරයකින් පසුවය. ඔහු මෙරට් රැදී සිටියේ පැය 4 ක කාලයක් නිසා දෙරට අතර කාලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් යම් එකඟත්වයක් ඇති වී තිබිණ. ඒ අනුව ගුවන්තොටුපලේදී මෝදි පිලිගත් අගමැතිවරයා ඔහු සමග කටුවාපිටිය දේවස්ථානය දක්වාත් එතැන්සිට ශ්‍රීලංකා ජනාධිපතිගේ නිල පිලිගැනීම් උත්සවය පැවැති ලේකම් කාර්යාලය දක්වාත් එකම වාහනයේ පැමිණීමට අගමැතිවරයා ක්‍රියා කළේය. අනතුරුව ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජනයෙන් පසුව අගමැති මෝදි ගියේ ඉන්දියානු මන්දිරයටය. එහිදී දෙමළ සංධානයට විනාඩි 8ක් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට විනාඩි 6ක සාකච්ඡා ලබා දීමටද ඉන්දියානු අගමැතිවරයා ක්‍රියා කළේ අගමැති රනිල් ඔහු සමහ වාහනයෙන් පැමිණ ඉතිරි කරගත් කාලයෙනි. අනතුරුව එහි සිට කටුනායක ගුවන්තොටුපල දක්වා යලිත් මෝදි සහ රනිල් අගමැතිවරු ගමන් කළේ එකම වාහනයෙනි. එදින සිදු වූ පැයකට ආසන්න වාහන චාරිකා වලදී අගමැතිවරු දෙදෙනා අතර ද්විපාර්ශවීය, දේශපාලන, ආර්ථික හා ආරක්ෂක කටයුතු මෙන්ම කලාපීය සහයෝගීතාවය පිළිබඳවද අදහස් රැසක් හුවමාරු වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *