ඉන්දියාවේ එහෙම වෙතේ අපේ රටේ එහෙම නැතේ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

රට දිනෙන් දිනම අතිශය භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙකී තත්ත්වය ඇතිවීමට හේතුව ගංවතුර නියඟය නායයෑම සුනාමි වැනි ස්වභාවික හේතු නොවේ. විදේශ ආක්‍රමණයක් විදෙස් මැදිහත්වීමක් ආදී යමක්ද නොවේ. එය බැලූ බැල්මට රටේ අභ්‍යන්තර බල අරගලය නිසා ඇති වූ තත්වයකි. මෙම තත්වයේ අලුත්ම පුපුරායාම කැබිනට් රැස්වීම් නතර කරන්නට ජනාධිපතිවරයා ගත් තීරණයයි. කැබිනට් රැස්වීම් නතර කිරීමේ තීරණයට ජනාධිපතිවරයා එළඹ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නතර නොකිරීම හේතුවෙනි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කමිටුවට ජනාධිපතිවරයාගේ විරෝධය එල්ල වී ඇත්තේ එතනදී ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හෙළිදරව් වන්නේ යන පදනම මතය. එසේ වුව පාර්ලිමේන්තු කමිටුව තරයේ කියා සිටින්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්යෙන් බලපාන කරුණු කිසිවක් අදාළ කමිටුවේ දී හෙළිදරව් නොවන බව ය. සාධාරණ සහ සත්‍ය බව පෙනෙන්නේ කමිටුව හමුවේ සාක්ෂි දුන් ඇතැමුන් ඇතැම් කරුණු හෙළිදරව් කළ නොහැකි බව කමිටුවට පවසා තිබීම හේතුවෙනි. එසේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන කරුණු හෙළිදරව් කිරීමෙන් වැලකී සිටිය හැකි බව කමිටුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සාක්ෂිකරුවන්ට පැහැදිලි කර දෙන ආකාරය ජනමාධ්‍ය ඔස්සේ ද දක්නට ලැබේ.

උදාහරණයක් වශයෙන් ජයම්පති වික්‍රමරත්න මහතා විසින් කමිටුව හමුවේ සාක්ෂි දුන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට පැහැදිලි කරන අයුරු රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය කෙරිණ.

2019 ජුනි 4 කමිටුවේ කටයුතු ආරම්භ කරන්නට පෙර ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ මෙවැන්නකි.

“ජාතික ආරක්ෂාවට අගතියක් වන ලෙස තේරීම් කාරක සභාව කරගෙන යෑමේ අනතුරක් ඇති බවට චෝදනා කරනවා. දහනවවැනි සංශෝධනයෙන් තොරතුරු වලට ප්‍රවේශවීමේ අයිතිය ලබාදී තිබෙනවා. මෙය මූලික අයිතියක් තොරතුරු වලට පිවිසීමේ අයිතිය නිරපේක්ෂ අයිතියක් නොවෙයි. තොරතුරු හෙළිකිරීම ජාතික ආරක්ෂාවට අගතියක් නම් ඒ තොරතුරු හෙළිදරව් නොකිරිමට අයිතිය තිබෙනවා.
රාජ්‍ය ආරක්ෂාවට බරපතළ ලෙස අගතිදායක තොරතුරු තමයි හෙළි කළ නොහැක්කේ කියා ව්‍යවස්ථාවේ සඳහන්. ඒත් අප රාජ්‍ය ආරක්ෂාවට අගතිදායක තොරතුරු මාධ්‍යයට හෙළි නොකරන තරමට ප්‍රවේශම් වුණා. ඉන් සාක්ෂිකරුවන්ට සීමාවක් නැහැ. පසුගියදා සාාක්ෂිකරුවන් දෙදෙනාම කියා සිටියා ඔවුන්ගේ සාක්ෂි ජාතික ආරක්ෂාවට අගතියක් වෙනවද කියන්න. එවිට මාධ්‍යට විවෘත කරනවා ද නැද්ද කියා අප තීරණය කළා.
සිසිර මෙන්ඩිස් මහතාට එදාම තුන් හතර වතාවක් මේ බව පැවසුවා. අපි කතා කරන්නේ සිද්ධ වූ දෙයක්, පශ්චාත් මරණ පරීක්ෂණයක්. මේ පර්යේෂණයේ දී යම් බලධාරියෙකුගේ හෝ නිලධාරියෙකුගේ හෝ ප්‍රමාදයක් හෙළි වෙනවා නම් එමගින් ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිවක් සිදුවෙන්නට ඉඩ තබන්නේ නැ. සාක්ෂි ඇත්නම් මාධ්‍ය නැතිව ඒවා ගන්නවා”

අදාළ දිනයේ කමිටුව හමුවේ සාක්ෂි දුන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසා තිබුණේ තමා යම් චෝදනාවකට ඇප මත ඉන්නා බැවින් ඒ නඩුවට හෝ ඇප කොන්දේසි වලට අගතියක් නොවන ලෙස සාක්ෂි දීමට අවසර ඉල්ලූ අතර, ඒ සඳහා කමිටුවේ අවසර ලැබීමෙන් ඉහත කරුණු සත්‍යයක් බව පෙනේ.
එ පමණක් නොව එදිනම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් සරත් ෆොන්සේකා මහතා සහ ආශු මාරසිංහ මහතා විසින් එක්තරා පුද්ගලයකු සම්බන්ධයෙන්යෙන් විමර්ශන නතර කරන ලෙස පොලිස් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම් ලේකම්වරයාට ලියන ලදැයි කියන ලිපියක් සම්බන්ධයෙන් වීිමසූ විට නාලක සිල්වා මහතා පිළිතුරු දුන්නේ “මාධ්‍යවේදීන් නොමැතිනම් ඒ ගැන කිව හැකියිි” යනුවෙනි. එසේම නාලක සිල්වා මහතා තම සාක්ෂිදීම අවසානයේ දී මාධ්‍ය නොමැතිව සාක්ෂි දිය යුතු බව ප්‍රකාශ කළ බැවින් මාධ්‍යවේදීන් කමිටු ශාලාවෙන් පිටතට යවනු ලැබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් එයට සාක්ෂි දීමට පැමිණිෙන්නන්ගෙන් හෙළිවන ජාතික ආරක්ෂාවට අගතියක් වන කරුණු ජනගත නොකරන බවටත්, ජාතික ආරක්ෂාවට අගතියක් වනු ඇතැයි නිලධාරීහු සිතන කරුණු හෙළිදරව් නොකර සිටීමේ අයිතිය ඔවුනට ඇති බවටත් සාධක වශයෙන් නාලක සිල්වා මහතාගේ සාක්ෂි විමසුම පමනක් ම වුවත් ප්‍රමාණවත්ය.
ඉන් අදහස් වන්නේ ජාතික ආරක්ෂාවට අගතියක් විය හැකි කරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළි නොවන බව නොවේ. නිලධාරීන්ගේ බලධාරීන්ගේ සාක්ෂි වල දී එවැනි කරුණු තේරීම් කාරක සභාවට දැකගන්නට ලැබුණා වුවද ජනමාධ්‍ය වලට ඒවා නිරාවරණය නොවන බැවින් එම කරුණු ප්‍රකාශයට පත් වන්නේ නැත. එවැනි කරුණු මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ජනමාධ්‍ය ඔස්සේ ඒවා සමාජගත වුවහොත් පමණි. තේරීම් කාරක සභාව ඉදිරියේ එම කරුණු හෙළි වීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් වේ යැයි පිළිගැනීමට නොහැකිය

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ය කියා තේරීම් කාරක සභාව නතර කරන්නටය කීම තර්කයෙන් තොර බවයි. ඒ අනුවම තේරීම් කාරක සභාව නතර නොකිරීම හේතුකොට ගෙන කැබිනට් මණ්ඩලය රැස් නොවීම සාධාරණ යැයි කෙසේවත් පිළිගන්නට නොහැකිය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජීවිත සිය ගානක් රටට අහිමි විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාව ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ද ජීවිත දේපළ ද විනාශයට පත් විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වූ ප්‍රහාරයෙන් සිදුවූ දරුණුම අලාභය දේපළ හෝ ජීවිත හානිවීම පමණක් නොවේ මේ වන විට එකී ප්‍රහාර හේතුවෙන් රටේ ජාතික සංහිඳියාවට බරපතළ හානියක් සිදුවී තිබේ. මුස්ලිම් අමාත්‍යවරුන් ධූරවලින් ඉවත් වීමද රටට අවාසිදායක තත්ත්වයකි.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙරටට සංචාරකයන් පැමිණීම නැත්තටම නැති විය. දැන් සිදුව ඇත්තේ සංචාරක කර්මාන්තයට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සපයන්නටය.ඔවුන් ණය සහන පොලී සහන ආණ්ඩුවෙන් බලා බලාපොරොත්තු වන බැවිනි. පෞද්ගලික බස්රථ කර්මාන්තයට පවා පාස්කු ප්‍රහාරය හේතුවෙන් බරපතළ තර්ජනයකට මුහුණ දීමට සිදුවී තිබේ. විදේශ ආයෝජන පවා ඉදිකිරීම් කර්මාන්ත පවා පාස්කු ප්‍රහාරය සහ ඒ ආසන්න කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් නතර වන තත්වයක් උදාවී තිබුනි. මේ වන විට රට තුළ යම් මට්ටමක ස්ථාවර බවක් ඇතිවී තිබේ. ඒ අනුව යම් යම් රටවලින් මෙරට සංචාරය කිරීමට තම රටවල පුරවැසියන්ට පනවා තිබූ තහනමද ලිහිල් කරමින් පවතී. වටපිටාවෙන් රටට වාසි අත්පත් කර ගෙන ඒමට නම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් පැවතීම අනිවාර්ය වනු ඇත.

දැන් සිද්දවෙමින් පවතින දේ අනුව රටේ පවතින්නේ දේශපාලන ස්ථාවරත්වයක් නොව දේශපාලන අර්බුදයකී. එකී අර්බුදයට හේතුව අන් කිසිවක් නොව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින ගැටුමයි. එකී ගැටුම්ට පසුබිම් වී ඇත්තේ ද දේශ දේශපාලන මතිමතාන්තර නොව පෞද්ගලික කෝන්තර බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු පසුගියදා ශ්‍රී ලංකාවේ දෙසුමකට සහභාගිවෙමින් පැවසුවේ ඉන්දියාවේ විදෙස් පිළිවෙතේ මූලික අරමුණ වන්නේ බිලියන 1.3 එරට ජනගහනයේ ආරක්ෂාව සහ සංවර්ධනය තහවුරු කිරීම බවයි. නමුත් පවතින තත්ත්වය තුළ මෙරට විධායක ව්‍යවස්ථාදායක සහ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ සංවර්ධනය තහවුරු කිරීම සඳහා ද යන්න විමසිය යුතුව තිබේ

රටේ ජනතාවගේ ආරක්ෂාවට සංවර්ධනයට මූලිකත්වය දී කටයුතු කරන විධායකයක් ව්‍යවස්ථාදායකයක් විපක්ෂයක් මෙරටට තිබුණේ නම් මේ මොහොතේ ඔවුන් පියවර ගනු ඇත්තේ මුහුණ දී ඇති විනාශයෙන් රට ගොඩ ගැනීම සඳහා එකාවන්ව එක්වී කටයුතු කිරීමටය. එහෙත් මෙරට සියලු දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ මේ වන විට කරමින් සිටින්නේ පවතින අර්බුදය හමුවේ රටට කවර විනාශයක් අත් වුවද තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහාය.

දේශපාලකයන් බොරදියේ මාළු බාමින් කෙසේ හෝ තමන්ගේ මඩිය තර කර ගනු ඇති නමුත් රටට අත්වන විනාශයේ බරට කර ගසන්නටත් එයට වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ පොදු ජනතාවට ය. ජනතාව මේ පවතින දේශපාලනයෙන් රට මුදා ගැනීමට බුද්ධිමත්ව පියවර ගත යුතු වන්නේ ඒ නිසාය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *