CIDයට ජාතිය ගැන කිසිම හැඟීමක් නෑ සර් – කුරුණෑගල පැලෝපීය DIGගෙනුත් පාපොච්ඡාරණයක්

වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව ඊට පටළවා ඇත්තේ දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් විසින් බවත් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කර තිබේ.රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු හමුවේ දීර්ඝ පාපොච්ඡාරණයක් කරමින් බොහෝ කරුණු පවසා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ව කෙසේ හෝ බේරාගන්නා මෙන් ආයාචනයක් ද කර ඇත.

ජාතිවාදී පැණි වරකාවට හෙණ වැදීම

“මං මේකෙදි අහිංසකයි සර්. ඔය පැලෝපීය කතා මං දන්නෙ නෑ. මාව මේකට ගැටගහන්න හදන්නෙ අර දිවයිනේ හැත්ත. ඕකුන් උන්ගෙ ගැළවිල්ලට මාව පටළවන්න හදනවා. මේක මාර වැඩක් සර්. මං හොඳටම අසරණ වෙලා ඉන්නෙ” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ වඳ සැත්කම් 4000 කතාව දිවයින පුවත්පත සහ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා හවුලේ ගෙතූ එකක් බව ලංකා නිව්ස් වෙබ් අපි මුල පටන්ම පෙන්වා දුන්නෙමු. විමර්ශන හරහා දැන් එය පියවරෙන් පියවර ඔප්පු වෙමින් පවතී.

මෙහිදී කලබලයට පත් දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව පාවාදෙමින් පාපොච්ඡාරණයක් කිරීමය. ඒ අනුව සිදු කෙරුණු දුරකථන දත්ත පරීක්ෂාවෙන් ද තහවුරු වී ඇත්තේ දිවයින පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම බවයි.

දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ද තමන්ගේ ගැළවීම තකා පාපොච්ඡාරණයක් කරමින් දිවයින පුවත්පතේ සගයින්ව පාවා දෙමින් සිටී.

ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ වෛද්‍ය සහාබ්දීන් සාෆිගෙන් පාපොච්ඡාරණ ගැනීමටය. දැන් සිදුව ඇත්තේ කතාව ගෙතූ හේමන්තලාට, කිත්සිරිලාට පාපොච්ඡාරණය කරන්නටය.

CIDයේත් පතුරු ඇරීම

කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද බොහෝ දොස් පවරා තිබේ.

“මං යමක් කරා නම් කරේ ජාතිය ගැන හිතලා සර්. ඒත් කොහෙද මේ CID එකට ජාතිය ගැන කිසිම හැඟීමක් නෑනෙ.

අනික උනුත් පොලිස්කාරයෝ, අපිත් පොලිස්කාරයෝ. එතනත් අපේකම තියෙන්න එපැයි, ඒකත් නෑ. ඕකෙ ඩිරෙක්ටර් ඉන්නෙත් මගෙ පරණ බොස් කෙනෙක්. මං පෑලියගොඩ පොලිසියේ මෙස් එක කරන කාලෙ එහෙ හිටපු ලොක්කා. මට පාඩම් කරන්න එහෙමත් උදව් කළේ එතුමා තමා. ඒත් මේකෙදි කිසිම උදව්වක් නෑ සර්. දැක්කොත් හිනාවෙලා කොහොමද අහලා යනවා, එච්චරයි.

මුං DIGලාම කීදෙනෙක් නම් හිරේ ඇරියද ? මං මෙව්වා කළේ ජාතිය ගැන හිතලා. වුණේ මොකද්ද කියන එක මටත් දැන් තමා තේරෙන්නේ. අනේ මට නං හිරේ යන්න බෑ සර්, කොහොම හරි මාව බේරලා දෙන්න” යනුවෙන් කිත්සිරි ජයලත් මහතා දැඩිව ආයාචනා කර ඇති බවයි වාර්තා වූයේ.

ජාතික වීරයින් ලෙස වැඩියෙන් පෙනී සිටීමට දඟළන බොහෝ වීරයින්ගේ ඇතුළාන්තය මේ පරිදිය. කෙසේවෙතත් ඉහළ රජයේ නිලධාරීන් තැම්බීමට DIGලා දාන ලුණු ගොරකා අපව තැම්බීමට නම් මදිය. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ කෙරුවාවට තවත් පෞද්ගලික, ව්‍යාපාරික හේතු බලපා ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින අතර ඒවාත් නුදුරේදීම අපි හෙළි කරන්නෙමු.

LANKANEWSWEB