සහරාන් කල්ලියේ සන්නද්ධ නායකයා ගේන්න සීඅයිඩීය සවුදි යයි

සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයාව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා පෙරේදා (11) පිටත්ව ගොස් තිබේ.

මොහොමඩ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානම්ව සිටියෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා මඩකළපුව වව්නතිව් හී පොලිස් මුරපොලක සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද මිල්හාන් නමැති අන්තවාදියාය. සහරාන්ගේ කල්ලියේ වනාතවිල්ලුවේ පිහිටි පුහුණු කඳවුර සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන් මොහොමඩ් නස්ලිම් නමැති මාවනැල්ලේ සමාජ ක්‍රියාකාරිකයෙකුට ඉකුත් මාර්තු 09 වෙනිදා වෙඩි තබා ඇත්තේද මෙම අන්තවාදියා බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මොහොමඩ් නස්ලිම් හිටපු ඇමැති කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් එල්කරන විට මිල්හාන් සිටින්නේ මක්කම වන්දනාවේ ගොසිනි. විමර්ශණවලින් හෙළිවී ඇති ආකාරයට ඔහු සූදානම්ව සිට ඇත්තේ දෙවැනි ප්‍රහාරයන්ට සම්බන්ධ වීමටය. ඒ සදහා සූදානම්ව ඔහු මක්කම සිට මෙරටට පැමිණිමට නියමිතව සිටියේ අප්‍රේල් 30 වෙනිදාය. එ දින සූදානමින් ඔහු සෞදි ගුවන්තොටුපොලට පැමිණීයත් මෙරටට පැමිණීමට නියමිත ගුවන් යානාවට ගොඩ නොවී ගුවන්තොටුපොලේ සැඟවීඇත

ඒ බව ජාත්‍යන්තර පොලිසිය සහ ජාත්‍යන්තර බුද්ධි අංශ මගින් සෞදි බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ සැඟව සිටි මිල්හාන්ව සවුදි පොලිසිය එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. එදින සවස මෙරටට පැමීණීමට නියමිතව තිබුණු ගුවන්යානාවකින් ඔහුව මෙරටට පිටුවහල්කරන බව සෞදි බලධාරීන් දැනුම් දුන්නද සතියක් යන තුරුම මිල්හාන්ව මෙරටට පිටුවහල් කිරීමක් සිදු නොවීය.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් සෞදිය බලා ගියද සතියකට පසු ඔවුන් නැවත මෙරටට පැමිණියේ හිස් අතිනි.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසු මෙවර මිල්හාන්ව මෙරටට භාරදීමට සවුදි බලධාරීන් සිය එකගත්වය පලකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමත් පෙරේදා (11) පිටත්ව ගොස් ඇත්තේ ඒ අනුව බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

 

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *