බෝවෙන රෝග

ලංකාවේ සංචාරය ඉතා කෙටියෙන් නිමා කර ඉන්දියාවට ගිය මෝදි මහත්තයා ට ඉන්දීය වැසියෙකු කීවේ ලංකාවේ වැඩි වෙලාවක් ගත නොකර ආපසු ආ එක ලොකුම සතුටක් කියාය.

එවිට මෝදි මහත්තයා පුරවැසියාගෙන් ඇසුවේ  ලංකාවේ දැන් මෝසම් වැසි නිසා ,ඩෙංගු අවදානම වැඩි නිසා ඩෙංගු ඉන්දියාවටත් බෝ වෙයි කියන බය නිසා ද ඉක්මනින් ලංකාවෙන් ආ එක ගැන  සතුටු වෙන්නේ ? කියාය.

ඩෙංගු ගැන මොකට බය වෙන්නද  ඉන්දියාවේ අපි ළඟ ඩෙංගු ඖෂධ ඕන තරමට තියෙනවා. යැයි එවිට පුරවැසියා කිවේය.

එහෙමනම් මම ලංකාවේ ඉද්දි අයි . එස්   ප්‍රහාරයකට වත් කොටුවෙයි  කියයි හිතුනද ? කියා මෝදි මහත්තයා ඇසුවේය.

අයි . එස්   ගැන මොනවට බයවෙන්නද ? තත්වය  හොඳයි ඉහළින්ම පොසොන් සමරන්න කියලා ලංකාවේ ආණ්ඩුව හැමෝටම කියලයි තියෙන්නේ. ලබන සතියේ විතර ගමන  යොදාගත්තා නම් දන්සලකිනුත් කාල තොරණක්  එහෙමත්  බලල එන්න  තිබුණා කියා එවිට පුරවැසියා කීවේය.

ඇත්තටම මට අමතක උනා නැත්නම් ඉතුරු දවස් කීපෙත් ලංකාවේ ඉඳලා තොටළග තොරණත්  බලල ගලගොඩාඅත්තෙ ගෙනුයි රතනගෙනුයි  බණකුත් අහල ඉන්දියාවට එන්න තිබුණා කියා එවිට මෝදි මහත්තයා කීවේය.

ගලගොඩඅත්තෙගේ රතනගේ බණ අහන්න  හිටියේ නැති එක නම් හොදා එයාලගේ බණ ඇහුවා නම් මෝදි මහත්තයාටත් වෙන්නේ මෛත්‍රී මහත්තයට වෙච්ච විපත්තිය තමයි කියා එවිට පුරවැසියා කීවේය.

මොනවා වෙන්නද මෙයා ?  දැන් මෛත්‍රි ලොක්කා වෙනදාටත් වඩා හොද ෆ්‍රී එකේ ඉන්නවා.  ලඟදී ඉඳලා කැබිනට්    යන්නෙත් නැහැ කිවා.  කැබිනට් යන කාලෙත් විදෙස් සංචාරකයක්  යන්න පුළුවන් කියලයි මෑන්  මට කිව්වේ කියා මෝදි මහත්තයා කීවේය .

කැබැබිනට්  යන්නේ නැත්තේ  මොන හේතුවක් නිසාද කියලා මෛත්‍රී මහත්තයා ගෙන් ඇහුවෙ නැද්ද?  කියා එවිට පුරවැසියා ඇසුවේය.

පාර්ලිමේන්තුවෙන් මොකක්ද කමිටුවක් දාලා අයි එස්  ප්‍රහාරය ගැන කරුණු හොයන නිසා කැබිනට් එක දැක්කාමත් වමනේ යනවා කියලයි මෑන්  කියන්නේ කියා එවිට මෝදී  මහත්තයා කීවේය.

පාර්ලිමේන්තුවේ කමිටුව හොයන්නේ  අයි එස්  ප්‍රහාරය ගැන නම් විරුද්ධ වෙන්නෙ මොකටද?  අයි එස් ලා  ඉන්දියාවේ සෙල්ලම් දාපු වෙලාවේ ඉන්දියාවේ ආණ්ඩුවත් කරුණු හෙව්වනේ .  එහෙම කියලා මෝදි මහත්තයට කැබිනට් ඇලජික්  හැදුනේ නෑ නේද කියා එවිට පුරවැසියා ඇසුවේය.

පාර්ලිමේන්තු කමිටුව කරුණු අහන අතරේ මීඩියා වලට  ඒවා පටිගත කරන්නත් දෙනවලු කියලයි මෛත්‍රී කාරයාගේ මෛත්‍රී පාරමිතාව වෛර  පාරමිතාවක් වෙලා තියෙන්නෙ කියා එවිට මෝදි මහත්තයා කීවේය.

ඒක මහා පුදුම කතාවක් නේ ලොක්කා?  ලෝකෙ නම්බර් වන්  තොරතුරු පනත ලංකාවේ සම්බන්ධ කරගතතා  කියලා ඒ රටේ ජනතාව බොහොම ආඩම්බරයෙන් කතා කළා නේද?  එහෙම කරපු රටක රාජ්‍ය නායක තුමා තොරතුරු පටිගත කරනවට විරුද්ධ වෙන්නේ මොකද කියා පුරවැසියා ඇසුවේය.

මීඩියා වලින්  පටිගත  කරනවා විතරක් නෙවෙයි ඒවා විකාශය කරනවලු.   පත්තරවලත් පළ කරනවාලු.   මෛත්‍රීගේ මෛත්‍රිය නැති වෙලා තියෙන්නේ පටිගත කරන නිසා නෙමෙයි විකාශය කරන නිසයි, කියා මෝදි මහතා කීවේය.

පිස්සුවක් නේ ලොක්කා විකාශය කරන්නෙ නැත්නම් පටිගත කරන්නේ මොනවටද? කියා පුරවැසියා ඇසුවේය.

විකාශය කිරීමත්  නෙමෙයි එතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් කියා මෝදි මහත්තයා කීවේය.

මොකක්ද ප්‍රශ්නේ ? කියා පුරවැසියා ඇසුවේය.

පටිගත කරන තොරතුරු විකාශය කරද්දී මෛත්‍රී මහත්තයාගෙ පටි රෝල් වෙනවලු මෝදි මහතා කීවේය.

එහෙනම් මෛත්‍රි මහත්තයට තිබුණෙ කමිටුව දාන්න කලින් වැඩේ නතර කරන්නැයි කියා පුරවැසියා කීවේය.

දැන් යන විදියට වැඩ සිද්ධ වෙනවා කියලා දන්නවනම් කමිටුව රැස් කරන්න නෙමේ පාර්ලිමේන්තුව රැස් කරන්නත් නොදී ඉන්නවා කියලයි මෛත්‍රි කියන්නේ කියා මෝදි මහතා කීවේය.

මට තේරුනේ නැහැ.  කියා පුරවැසියා කීවේය.

කමිටු කොමිසම්වලට  ලංකාව තරම් නම් දරාපු රටක් මේ ලෝකෙ නෙමේ තුන් ලෝකෙවත් නැහැ. කොමිසම් දානවා සාක්ෂි ගන්නවා. වාර්තාව ගන්නවා. සේප්පුවේ දානවා.  ඕකයි ලංකාවේ සාමාන්‍ය  ක්‍රමය කියා මෝදි මහතා කීවේය.

එහෙම වෙන්නේ කොහොමද කොමිසමේ  වාර්තාවට මොකද උනේ කියලා මිනිස්සු අහන්නේ නැද්ද? කියා එවිට  පුරවැසියා ඇසුවේය.

ලංකාවේ මිනිස්සු වැඩිපුරම කැමති ක්‍රිකට් මැච් බලන්න කියා එවිට මෝදි මහතා කීවේය.

මැච් බැලිල්ලෙයි කොමිසම් වලයි  සම්බන්දෙ මොකක්ද ? කියා පුරවැසියා ඇසුවේය.

කොමිසමක්  කියන්නේ  ලංකාවේ ක්‍රිකට් මැච් එකක් වගේ තමයි.  කොමිසම යන කාලෙට මීඩියා වලින් කොමිසමෙන් විස්තර විචාරය දෙනවා, මැච් එක බලනවා වගේ මිනිස්සුත් විස්තර විචාර බලාගෙන ඉන්නවා. කොමිසම ෆියිනල්වෙලා වාර්තාව අදාල කෙනාට දෙන හැටිත් පෙන්නනවා.  එතනින් ඉවරයි. නඩුත්  නැහැ.  දඬුවමුත් නැහැ . ආයෙ ටික දවසකින් තවත් කොමිසම එකක් පටන් ගන්නවා.  කියා මෝදි මහතා කීවේය.

එහෙම බලද්දි මෝදි මහත්තයා ඔය පැය දෙක තුනවත් ලංකාවෙ හිටපු එක වැරදියි. කියා පුරවැසියා කීවේය.

ඇයි එහෙම කියන්නේ?   කියා මෝදි මහතා ඇසුවේය.

ලංකාව කියන්නේ රාජ්‍ය නායකයෙකුට යන්න හොඳ රටක් නෙමේ ලංකාවට ගිහින් තමන්ගේ රටට එන රාජ්‍ය නායකයෝ පිළිගන්න කලින් රුධිර පරීක්ෂණයක් කරන්න වෙනවා කියා පුරවැසියා කීවේය.

රුධිර පරීක්ෂණ මොනවාටද ඒඩ්ස්  තියෙනවද බලන්නද? කියා මෝදි මහතා ඇසුවේය.

බලාන ගියහම  ඒඩ්ස් හොදයි  ලංකාවෙන් බෝවෙන්නේ ඊට දරුණු ලෙඩක්  පුරවැසියා කීවෙය.

මොකක්ද තැලසීමියාව ද?  මෝදි මහතා ඇසුවේය.

තැලසීමියාව  නෙවෙයි රාජ්‍ය  නායක සින්ඩ්‍රෝම්.  පුරවැසියා කීවේය.

මොනවද ඒකෙ රෝග ලක්ෂණ? මෝදි මහතා ඇසූවේය.

පුටුවේ  ඉඳගත්තොත් නැගිටින්නේ නැහැ.  එකයි කියලා ඇවිත් දෙකයි, තුනයි කියනවා පැරදිච්ච මන්ත්‍රීලා ඇමති  කරනවා.  විපක්ෂ නායක කමටත්  ලකුණු නැති අය  අගමැති කරනවා. එයා අගමැති වුනොත්  විනාඩියක් ඉන්නේ නැහැ කියලා අගමැති උනාම කැබිනට් එන්නේ නැහැ කියනවා.  නොකරපු වැරැද්දක්  පිළිගන්න නිලධාරීන්ට රත්තරන් හැදී වලින්  බෙදන්න හදනවා.  ව්‍යවස්ථාවෙන් තහනම් දේවල් සාක්කුවෙ දාගෙන රාජ්‍ය ඇමතිකම් දෙන්න බලනවා.  පුරවැසියා නොකඩවා කියාගෙන ගියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *