පරිසර ආරක්ෂාව වඩු මඩු තහනමෙන් ඔබ්බට – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

වසර පහක් තුල වඩු මඩු ලීමෝල් තහනම් කරන බවත් ඊට පෙර අදාළ රැකියාවන්හි නියුක්ත අය වෙනත් රැකියා සොයා ගත යුතු බවත් ජනාධිපතිතුමා කී විට රටේ යම්කිසි පිරිසක් සතුටට පත් වූවාද දන්නෙ නැති වුවත් වඩු වැඩෙන් දැව වෙළඳාමෙන් ජීවත් වන අයගේ බඩ පපුව රත් වුණා යැයි හිතන්න පුළුවනි.  ඒ කතාවට පිළිතුරු වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ ජනාධිපතිවරයාගේ අදහස ක්‍රියාත්මක වුවහොත් මිනී වළලන්නට මිනී පෙට්ටියක් වත් නැතිව යනු ඇති බවයි.  ජවිපෙ පැත්තෙනුත් ජනාධිපති වරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලැබී තිබුණේ , ලී පෙට්ටි වෙනුවට ලෝහමය පෙට්ටිවල  මිනී  වළලන්නට සිදුව වුවහොත් ඉන් සිදුවන පරිසර දූෂණය වඩාත් බරපතළ බවයි.

ජනාධිපතිතුමා මෑත කාලයේ මත්ද්‍රව්‍ය විරෝධයට තරමටම  වැදගත් කමක් පරිසර ආරක්ෂාවටත් දී කටයුතු කරන බව පෙනෙන්නට තියෙනවා.   පැළ සිටුවීම,  පරිසර නියමු වැඩ වැඩසටහන් වලට අමතරව චෙන්සෝ යනුවෙන් සාමාන්‍යයෙන්  හඳුන්වන කියත් වර්ග ලියාපදිංචි කිරීමට නියෝග කිරීමත්,  එසේ පරිසරය ආරක්ෂා කරන අරමුණෙන් ගත් පියවර වශයෙන් සළකන්නට පුලුවනි.

ලංකාව සම්බන්ධයෙන් ගත් විට පරිසරය කියූ විට මුළුමනින් ම ගහකොළ පිළිබඳ  වනාන්තර ගැන වනාන්තර වලිනුත් ගස් ගැන පමණක් සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා.  නමුත් පරිසරය කියන්නේ ගහකොළ විතරක්ම නෙමෙයි.  නූතන ලෝකයේ පරිසරය කියූවිට පස, සතුන් ,වායුව ,ජලය පමණක් නොවෙයි  භූ දර්ශන පවා වෙන් වෙන් වශයෙන් සලකා බලනවා.

නිදසුනක් වශයෙන් පරිසරය දූෂණය ගත් විට පස දූෂණය, පාංශු ඛාදනය, ජල දූෂණය, වායු දූෂණය සහ භූ දර්ශන දූෂණය ආදී වශයෙන් විවිධ ආකාරයෙන් කතාබස් කෙරෙනවා.  නමුත් ලංකාවේ පරිසර සංකල්පය තවමත් ගස්ය සහ වනය යන සාධක වලින් ඔබ්බට ගොස් ඇති බවක් පෙනෙන්නට නැහැ.  පරිසරය සංරක්ෂණය කියන්නේ පැළ සිටුවීම පමණක් හෝ ගස් නොකැපීම පමණක් කියායි අප  තවමත් සිතා ඉන්න බව පෙනෙන්නේ.  ජනාධිපතිතුමාගේ වඩු මඩු  ලී මඩු තහනම් කතාවේ එක් හේතුවක් ඇත්තේත්  ගස් කැපීම නතර වූවොත් පරිසරය ආරක්ෂාව වනවාය යන අදහස මතයි.

ගස්  සහ වනාන්තර ආරක්ෂා කර කරගැනීම මගින් පරිසරයේ  අනෙකුත් අංග වන ජලය, පස, වායු දූෂණය වීම යම් පමණකට පාලනය කරන්නට  පුළුවන් වුවත් ගස් නොකැපූ පමණින් හෝ ගස් වැවූ පමණින් සියල්ල සාර්ථක වන්නෙත් නැහැ.

නිදසුනක් වශයෙන් ලොව මේ වන විට මුහුණ දී සිටින බරපතලම ගැටළුවක් වන්නේ වායු දූෂණය. වායු දුෂණය නිසා ඉන්දියාව චීනය වැනි රටවල් අතිශය බරපතළ ගැටලුවලට මුහුණ දී සිටිනවා.  එක් වතාවක් ඉන්දීය සංචාරයක  නියැළුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වායු ආරක්ෂණ උපකරණ පළඳින්නට සිදු වූ බව මෙරට ක්‍රිකට්  ලෝලීන්ට අමතක නැතිව ඇති.  හේතුව නවදිල්ලියේ වායු දූෂණය, චීනය සම්බන්ධව ගත් විටත්  තත්වය  ඒ තරමට දරුණු යි . චීනයට පිරිසිදු  වාතය කැනඩාවෙන් ආනයනය කරන්නට සිදුවන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

අපේ රටේ තවමත් එතරම් බරපතළ තත්ත්වයක් නැති වුවත්  මහනුවර නගරයේ වායු දූෂණය ගැන මේ වන විටත් කතාබහක් ඇතිවී තිබෙනවා.  කොළඹ නගරයේ වාහන තදබදය තරම  අනුවත්  වායු දුෂණය ප්‍රශ්නයක් විය යුතු වුවත් සමුදුරෙන් හමන සුළඟ හේතුවෙන් එය වැලකී ඇති බවයි. පරිසර වේදීන් කියන්නේ  දැනට සිදුවෙමින් පවතින කොන්ක්‍රීට්  සංවර්ධනය අනුව ගත් විට අනාගතයේ උස් ගොඩනැගිලි වැඩි වැඩියෙන් ඉදිවී සමුදුරෙන් හමන සුළඟ අවහිර වුවහොත් කොළඹටත් පිරිසිදු වාතය පිටරටින් ගෙන්වන්නට සිදුවන්න පුළුවනි.  පරිසර ආරක්ෂාව යනු ගස් ගැන  කල්පනා කිරීම පමණක්  නොවන්නේ ඒ නිසයි.  කොළඹ නගරයේේ ඉදිකිරීම්වලදී ඉදිරියේදී සිදුවිය හැකි වායු දූෂණය පිළිබඳ ආණ්ඩුව හෝ  පරිසර අමාත්‍යංශය හෝ මේ වන විට තක්සේරුවක් කර ඇති බවක් පෙනෙන්නට නැහැ.

ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති බරපතලම පරිසර ප්‍රශ්නය  කැලිකසල ප්‍රශ්නයය බව කීම වරදක් නැහැ.  කුණු කඳු නාය ගොස්  ජීවිත විනාශ වීමේ අත්දැකීම් අපට ලැබී එතරම් කාලයක් නැහැ. කුණු කදු  මේ වන විට සෑම නගරයකම ප්‍රශ්නයක් වී අවසානයි.  කැලිකසල ප්‍රශ්නය විසඳන්නට ආණ්ඩුව පළාත් පාලන ආයතන ආදිය විසින් කාබනික පොහොර  නිෂ්පාදනය වැනි ව්‍යාපෘති  ක්‍රියාත්මක කළත් ඒවා කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් බව කියන්නට අමාරුයි.  මගතොට  යන විට තැන තැන දක්නට ලැබෙන ”මෙතන කුණු දැමීම තහනම් ” වැනි  පාඨ සඳහන් පුවරු  වලින් කියවෙන කාරණය එයයි.

මෙරට ජනාවාසකරණය  මේ වනවිට පර්චස් 10 -15 ඉඩම් කට්ටි වලට කොටු වූ  තත්ත්වයකයි තියෙන්නේ.  ඉඩම් කට්ටි වලට  ගාල් වී මේ  සංස්කෘතිය ඇතිවන්නට පෙර මිනිස්සු වඩාත් ඉඩකඩ ඇතිව ජීවත් වෙද්දී තම තමන්ගේ කැලිකසල තම තමන්ටම බැහැර කර ගත හැකි වුණා.  කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවක් අතීත ජනතාවට තිබුණේ නැහැ.  නමුත් මේ වනවිට පර්චස් 10 ක ජීවත්වන මිනිසුන්ට ජීවත් වන්නට නිවස තනන්නට මිස කසල දමන්නට ඉඩක් ඇත්තේ නැහැ.  තමන්ගේ කසල අනුන්ට පටවන්නටයි ඔවුන්ට සිද්ධ වෙලා තියෙන්නේ.  ඊට අමතරව අද වන විට පරිභෝජනයට එක්වී ඇති නොදිරන ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේත් ජනතාවට  බරපතල ගැටලුවක්, ඉස්සර වීදුරු බෝතලේ ආ බීම බෝතල්ය නැවත භාර ගත් නමුත්  නූතන ප්ලාස්ටික් බීම බෝතල් විකිණීම මිස ආපසු පැමිණි ගැනීමක්  නැතිවීම උදාහරණ විදිහට දක්වන්න පුළුවනි.

පරිසර වීනාශය වැළැක්වීමේ අරමුණින් ය  කියමින් පොලිතින් තහනම වැනි  ක්‍රියාමාර්ග ගත්තත් ඒවා ප්‍රායෝගිකව සාර්ථක වුණේ නැහැ. මේ වන විට ෂැම්පු බෝතල් ඇසුරුම්, ක්‍රීම් ඇසුරුම්,  බිස්කට් ආදී ඇසුරුම් , සැමන් ටින්, කිරි පැකට් ආදී වශයෙන් භාවිතයෙන් පසු කළ යුතු දෙයක් නැති දේවල් කොපමණ ප්‍රමාණයක් නිවෙසකට දිනකට එකතුව වෙනවද?  රැවුල බාන රේසරය, දත් මදින බුරුසුව පවා පාවිච්චියෙන් පසුව  ඉවත දමන්නේ කෙසේ ද යන්න බරපතල ගැටලුවක්.  ඉඩම් කොටස්කර විකුණන සමාගම් වලට කැලි කසල ප්‍රතිචක්‍රීයකරණය හෝ අවම වශයෙන් එක්රැස් කිරීමේ වගකීම පැවරීම හෝ එවැනි ස්ථාන පිළිබඳ පළාත් පාලනය විසින්  අවධානය යොමු වීමක් අවශ්‍යයි.

වනගහණය සම්බන්ධයෙන් ගත් විට 1920 ලංකාවේ  වන 49% ක් වූ අතර 2010 දී එය 26.6%    බවයි කියන්නෙ, 1990 – 2010 කාලයේ  පමණක් මෙරට වන හෙක්ටයාර 24500 ක්  නැති වුණා.  සෑම වසරකම ලංකාවේ  වනාන්තර වලින් හෙක්ටයාර 8000 ක්  විනාශ වන බව කියනවා.  මෙසේ සිදුවෙමින් පවතින්නේ වන සංරක්ෂණ ආඥා පනත,  වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනත ,ජාතික පරිසර පනත ආදී  පනත් සියල්ලම තිබියදීයි . ඊට අමතරව මෙරට සාගර සහ වෙරළ ආරක්ෂාව සඳහා වෙන වෙනම පනත් ක්‍රියාත්මකයි.  වනය, වෙරළ සාගරය රකින්නට නීති  කොපමණ තිබුණත් වනය හෝ  සාගරයේ හෝ වෙරළ හෝ  ආරක්ෂා වන බවක්  නම් පෙනෙන්නේ නැහැ.  එයින් පැහැදිලි වන්නේ නීති පැනවීමෙන්  පමණක්ම පරිසරය රකින්නට බැරි බවයි.  ජංගම ඉරුම් කියත්  දක්වා පසු බැස්සවූ  වඩු මඩු, ලිඉමඩු  තහනම ගැනත් කිව යුත්තේ  එයමයි.

එක් අතකින් නීති තිබුනාට නීති ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් නැහැ.  නැතිනම් කාර්යක්ශම නැහැ. තව අතකින් ජනතාව පරිසරය ආරක්ෂාව  පිළිබඳ දැනුවත් නැහැ. කොළඹ කොටුව දුම්රිය පොල අවට ඇති හිස් වතුර බෝතල් සංඛ්‍යාවම මීට හොඳ නිදසුනක්.  බී අවසන් වූ වතුර බෝතලය කා අවසන් වූ බිස්කට් පැකට්ටුව කසල බඳුනට දමන මට්ටමට ජන විඥානය සකස් නොකර නීති කොතෙක් ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ.

වඩු මඩු තහනම කියත් තහනම ගැනත් එසේමයි.  එකක්  වනය විනාශ කිරීමේ ඵලවිපාක ජනතාවට අවබෝධ කළ යුතුයි.  අනෙක වනය විනාශ නොකර ජීවත් විය හැකි ක්‍රම ජනතාවට සකස් කර දිය යුතුයි.  මහා පරිමාණ වන විනාශ කරන්නේ සාමාන්‍ය ජනතාව නොව  බල පුළුවන්කාරයන් නිසා ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක විය යුතුයි.  එසේ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන ශක්තිමත් කර ආයතන මගින් නීති ක්‍රියාත්මක නොවන්නේ නම් එම ආයතන වලට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනෙන  තත්ත්වයක් ඇති කළ යුතුයි. එවිට ජංගම කියත් තහනම් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ.

අපේ රටේ පරිසර පාඩමක් උගන්නන්නේ විභාග පාස් වීමට මිස පරිසර දැනුම, පරිසර ඇල්ම, පරිසර ආලය ඇති කරන්නට නොවන බවත් එසේම මතක් කළ යුතුයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *