“සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ” – අනුනාහිමි හමුවෙන් පසු අගමැති කියයි

තෛනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුයේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ බැහැදැකිම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ මෙසේ පැවසුහ.

පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රහාරයෙන් පසු ඇතැම් මුස්ලිම් ඇමැතිවරුන්ට යම් යම් චෝදනා එල්ල වුවත් සැකයට පාත්‍ර නොවුණ එහෙත් තමාගේ අමාත්‍ය කටයුතු ඉටු කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් විම අනවශ්‍ය බව සංඝයා වහන්සේලාගේ අදහසයි.

එම තීරණය සම්බන්ධව අග්‍රාමාත්‍ය ප්‍රසාදය පල කළ බවත් අපේ රට තුළ ඉදිරි කටයුතු කරගැනිම සදහා සියලු ජාතින් අතර අවිස්වාසයෙන් තොරව සම්බන්ධතාවයක් අවශ්‍ය බවත් ඒ ගැන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බවත් ඉදිරියේදි එම අමාත්‍යවරුන් නායක හිමිවරුන් බැහැදැකීම සදහා පැමිණෙන අවස්ථාවේදි ඔවුන්ට මේ සම්බන්ධව පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවද නියංගොඩ විජිත හිමියෝ පැවැසුහ.

එහිදි රටේ පවතින වත්මන් තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අගමැතිවරයා මෙහිදී අනුනාහිමියන් සමඟ පෞද්ගලික සාකච්ඡාවක නිරත විය.

අනුනාහිමියන් සමඟ සංහිදියාව සම්බන්ධව වැදගත් අදහස් ගනනාවත් ඉදිරිපත් කළ එය තමන් අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

ලංකාදීප