ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් පාර්ලිමේන්තුවට කැඳවීමේ බලය කිසිවෙකුට අභියෝගයට ලක්කළ නොහැකියි – කතානායකගෙන් ජනපතිට පිළිතුරු

පාර්ලිමේන්තුවෙන් කැදවීමක් ලැබුණ විට රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් එ‌‌සේ ‌නොපැමිණෙන්නේ නම් ඔවුන්ට එම නියෝග කඩ කිරිමේ අනිටු ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවන බවත් කතානායක කරු ජයසූරිය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති ‌තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක නිලධාරීන් කැදවීමට අවස්ථාව ලබා ‌නොදෙන බවට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු ‌දෙමින් කතානායකවරයා ‌මේ බව සදහන් කර ඇත

නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ‌මේ බව සදහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් ‌මෙසේද සදහන් ‌වේ.

 

මාධ්‍යය නිවේදනයයි

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්ථා කිරීමේ විශේෂ කාරක සභාවේ රැස්වීම් සහ අදාළ සාක්ෂි විමසීමේ අවස්ථාවන් මාධ්‍ය වෙත විවෘත කිරීම පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් විවිධ මත දක්වා ඇති බව පෙනී යයි.

විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් විසින්ද මෙම කරුණ අරභයා මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බැවින්  කරුණු පැහැදිළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් වේ.

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් සිටී. ඉන් ප්‍රධානතම කොටසක් වනුයේ ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැඟීමත් සියළු අන්තවාදයන් පිටුදැකීමත් සඳහා වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවන් අඛණ්ඩව රැස්වෙමින් පුළුල් ක්‍රියාදාමයක නිරතව සිටීමයි.

එහි ප්‍රථිඵලයක් ලෙස මේ වන විටත්පාර්ලිමේන්තුවේ සියළු ප‍ාර්ශවයන් ගේ එකඟත්වයෙන් සහ විවිධ ආගමික නායකයන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙන ආගමට මුවා වී සිදු කෙරෙන බහු විවාහ, ළමා විවාහ ආදිය රටේ පොදු නීතියට යටත් කිරීම අන්තවාදය පතුරුවන පාසල් සහ සියළු අන්දමේ අධ්‍යාපන ආයතන පිළිබඳව පියවර ගැනීම අනන්‍යතාවය වසන් කරන ඇඳුම් විලාසිතා සම්බන්ධව පියවර ගැනීම ජාතීන් අතර භේද ඇතිකරන වෛරී කථනයන්ට එරෙහිව ආදී තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධව පොදු එකඟතාවයන්ට පැමිණීමට හැකිව තිබේ.

මේ හැරුණුකොට අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්ථා කිරීම පිණිස පත් කරන ලද  විශේෂ කාරක සභාවද සිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම කාරක සභාව පත්කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟත්වයකට පැමිණ අත්සන් කරන ලදුව ගනු ලැබූ තීන්දු අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිනි. එළෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ කාරක සභාවේ සමාජිකත්වයට මන්ත්‍රීවරු 12 දෙනෙකු (ආණ්ඩු පක්ෂය 7 – විපක්ෂය 5) නම් කෙරිණි (මෙම කාරක සභාවට විපක්ෂයෙන් ලැබුණේ අර්ධ සහභාගීත්වයක් පමණක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කළ සාමාජිකයන් කමිටුව වර්ජනය කරන ලදි. ඔවුන්ද සහභාගී වූයේ නම්, මෙහි අවධානය යොමු කරන ගැටළුව කාරක සභාව තුළදීම විසඳාගත හැකිව තිබිණි.)

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීම ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් පවතින රටකට නුහුරු අත්දැකීමක් නොවේ. මෑතක දී ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපතිවරයා සහ රහස් තොරතුරු සේවයේ (CIA) අධ්‍යක්ෂ වරයා ඇමරිකානු මහජන කොන්ග්‍රසය විසින් පත් කළ කාරක සභාවක් හමුවට කැඳවා ප්‍රශ්ණ කරන අයුරු ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍යය සජීවීව විකාශය කළ ආකාරය ද මෙහි ලා පෙන්වා දිය හැක. එය ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල සාමාන්‍ය ලක්ෂණයකි.

කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අදාළ දිවුරුම ලබා දීමෙන් පසු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි අදහස් කෙරෙන කරුණු මාධ්‍යය ආවරණයෙන් බාහිරව ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළිව දැණුම් දෙනු ලැබේ.

පසුගිය සතියේ ජනාධිපති ලේකම් වරයා වෙත නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබිණි. එහි සඳහන් වූයේ කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණු දැනට පැවැත්වෙන පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බවයි. එම ලිපිය ලද විගස අදාළ කමිටු සාමාජිකයන් ට ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස කථානායකවරයා විසින් දන්වන ලද අතර කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අගතියක් නොවන ලෙස කටයුතු කිරීමට උපරිම වශයෙන් අවධානය යොමු කරන ලෙස ද දැණුම් දෙන ලදි. ඊට අමතරව කාරක සභා සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා උපදෙස් ලබා දෙන ලදි.

කෙසේ වෙතත් 2019.06.07 දින අතිගරු ජනාධිපතිතුමා ජනමාධ්‍යය ඉදිරියේ සඳහන් කරන ලද්දේ එකී ලිපිය එතුමාගේ නියෝගයක් බවත් එය පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබූ බවත්ය.

ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපතිලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.

එලෙසින්ම පැහැදිළි කල යුත්තේ ස්ථාවර නියෝගයන් ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින් මෙම විශේෂ කාරක සභාවේ  කටයුතු වැළැක්වීම කථානායක වරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකි බවයි.

එසේ හෙයින් උක්ත කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘතකිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව ඇත. ඒ පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ද ඉදිරියේ දී පියවර ගනු ඇත.

කෙසේ වුවද වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකය.

කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමන්ගේ බලතල අභියෝගයට ලක් නොකරන නමුත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීම තුළින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි මතයක් පිළිබඳව නිවැරදි තොරතුරු සැළකිරීම සඳහා පමණක්ම මෙම කරුණු සද්භාවයෙන් යුතුව දැණුම් දෙන බවද අවධාරණය කරමු.

කථානායක කාර්යාලය

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *