සාෆි සීඅයිඩියට ආදායම් තොරතුරු හෙළි කරයි

කුරුණෑගල රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ මහතාගේ ආදායම් පිළිබඳ තොරතුරු හෙළි කර තිබේ.

සාෆි වෛද්‍යවරයාට කුරුණෑගල පොලිසිය මගින් ප්‍රථමයෙන්ම එල්ල වී තිබූ චෝදනාව බවට පත්වී තිබුණේ ඔහු අති විශාල ධනයක් උපයා ඇති බවටයි. මේ ධනය ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් වෛද්‍යවරයා හෙළිදරව් කරමින් මේ වන විට ඔහු සිසේරියන් සැත්කම් අටදහසක් සිදු කර ඇති බව පිළිගෙන ඇත.

එම සැත්කම් තමා තනිවම සිදු කළ ඒවා නොව ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් නව දෙනකු එම සැත්කම සිදු කරන අවස්ථාවට එක්වන බව පවසා තිබේ. වෙනත් වෛද්‍යවරුන් සමඟ හෙදියන් සහායකයන් ද ඒ අතර සිටින බව ද කියයි. සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමක් කරන අවස්ථාවක සිසේරියන් සැත්කමට අවශ්‍ය විවිධ අඩු කතුරු වෙනත් උපකරණ ඒ ඒ එකිනෙකට පාවිච්චි කරන ඒවා වෙනස් වෙයි. එම උපකරණ එම සැත්කම අවස්ථාවේ සපයනු ලබන්නේ හෙදියන් හෝ සහායකයන් විසින්ය. ඒ අනුව සිසේරියන් සැත්කමකට යොදා ගන්නා උපකරණ සහ පැලෝපීය නාළය හා සම්බන්ධ සැත්කම්වලට යොදා ගනු ලබන වෛද්‍ය උපකරණ වෙනස් ඒවා වන බව පවසන අතර, මෙහි දී විශේෂයෙන් මේ සිසේරියන් සැත්කම සිදුවන අවස්ථාවේ මවගේ ගර්භාෂය වෙත ඇස් දහඅටක් යොමු වී තිබිය දී එම ඇස් දහ අටට හොරා පැලෝපීය නාළයට හානියක් සිදු කරන්නේ කෙසේද යන්න විමසා සිටී.

එම නිසා තමා විසින් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පවසා ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ අතර මොහොමඩ් සාෆි වෛද්‍යවරයාගේ ආදායම් පිළිබඳ සොයා බැලීමේ දී පෞද්ගලික රෝහල්වල සිදු කරන සිසේරියන් සැත්කම්වලට අමතරව මේ වෛද්‍යවරයා සතුව විදෙස් රටවල සේවයට යන කාන්තාවන් සහ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා නිකුත් කරන ආයතන දෙකක් පවත්වා ගෙන යන බවට තොරතුරු ලැබී ඇත. එම වෛද්‍ය වාර්තා නිකුත් කරනු ලැබීමේ දී විදෙස් රටවලට යන අයකුගෙන් වෛද්‍ය වාර්තාවක් සඳහා රුපියල් අටදහසක් අය කරනු ලබයි. මේ ආකාරයෙන් දිනකට පනහකට වැඩි පිරිසකට එක් වෛද්‍ය ආයතනයකින් වාර්තා නිකුත් කරන බවත් එම ආයතන දෙකෙන් දිනකට වාර්තා සියයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන බව ද හෙළි වී ඇත.

මේ ආකාරයෙන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාගෙන් පැති කිහිපයක් ඔස්සේ රඳවාගෙන ප්‍රශ්න කර ගෙන යනු ලබයි. මේ වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගනු ලැබූ මවුවරුන් හත්සිය ගණනකගෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇත. ඒ අතරින් මවුවරුන් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඉදිරියේ දී අධිකරණ වෛද්‍යවරයකු ඉදිරියේ දී මේ සැත්කම් කළ මවුවරුන් නැවත පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.

විජයානි එදිරිසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *