ඔම්බුඩ්ස් මෑන්

“ඔන්න මුදලාලි මම හෙට නිවාඩු.” කඩේ ළමයා කී විට මුදලාලි ඇසුවේ, “මොකද ළමයට මෙදා පාර රමසාන් නිවාඩුව ගන්න හිතුණේ? රාමසාන් දවසේ මුස්ලිම් යාළුවෙක් මුණගැහෙන්න වද්ද?” කියාය.

“අපෝ නැහැ මුදලාලි මම හෙට කොළඹ යන්න ඕන.” කියා කඩේ ළමයා කීවේය.

“අහවල් කාරණාවකට ද මේ හදිස්සියේ කොළඹ යන්නේ?” යැයි මුදලාලි ඇසුවේය.

“මම යනව විජේරාමේ ඔෆීස් එකට.” කඩේ ළමයා කීවේය.

“අර මොනවට ද ඒ කාර්යාලෙට යන්නෙ. පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගන්නවත්ත ද?” මුදලාලි ඇසුවේය.

“අපෝ මුදලාලි මම ඒ වගේ විලි ලැජ්ජා නැති තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නැහැ.” කඩේ ළමයා කීවේය.

“ඒ මොකෝ පොහොට්ටුවේ අඩුවක් තියෙනවාදැ?” යි මුදලාලි ඇසුවේය.

“පොහොට්ටුවේ අඩුවක් නිසා නෙමෙයි මුදලාලි. මම අතේ පක්ෂේ සාමාජිකයෙක් නේ. එහෙම තියාගෙන පොහොට්ටු පක්ෂෙ සාමාජික වෙන්නේ කොහොම ද?” කියා කඩේ ළමයා ඇසුවේය.

“අයියො ළමයා ඒකවත් දන්නෙ නැද්ද? ලංකාවේ පළමු ද්විත්ව පුරවැසි ජනාධිපති අපේක්ෂක බයගෝතා වගේ, පක්ෂෙක සාමාජිකත්වයේ ඉඳගෙනම සාමාජිකත්වය ගන්න පුළුවන් එකම පක්ෂය පොහොට්ටු පක්ෂය” කියා මුදලාලි කීවේය.

“ඒක විශ්වාස කරන්න බැහැ.” කඩේ ළමයා කීවේය.

“විශ්වාස කරන්න බැරි කොච්චර දේවල් පොහොට්ටු පක්ෂෙත් කරනවද? ජනාධිපතිගෙ තුරුල්ලෙ ඉඳගෙන ඒකසත් ජාතික පක්ෂේ මන්තිරිකම කරන රතන සූත්‍ර හාමුදුරුවො තමන්ගෙම ලොක්ක කරපු පත්වීම් අහෝසි කරන්නඋපවාස කරනකොට බැහැලම උදව් කෙරුවෙ පොහොට්ටුවෙන් කියල ළමයා දන්නෙ නැද්ද?” කියා මුදලාලි ඇසුවේය.

“ඩයස්පෝරා නොවෙන ටී.එන්.ඒ. මන්ත්‍රි කෙනෙකුත් හොඳ බකප් එකක් දුන්නා. බැරිවෙලාවත් ඒ ටී.එන්.ඒ. මන්ත්‍රි රිෂාඩ් ට සපෝර්ට් එකට බැස්සානම් පොහොට්ටුවෝ වෙස් නැටුම් නටන හැටි බලන්න තිබ්බා.” යැයි කඩේ ළමයා කීවේය.

“අන්න ඒක තමයි පොහොට්ටු දර්ශනය. මැටි බළලුන් වුණත් මොකද මීයන් අල්ලනව නම්. තමන්ට සපෝර්ට් නම් දේශප්‍රේමියා. තමන්ට විරැද්ධ නම් දමයි දේශ ද්‍රෝහියා.” මුදලාලි කීවේය.

“මුදලාලි කීව නේද? අතෙත් ඉඳගෙන පොහොට්ටු පක්ෂෙත් සාමාජික වෙන්න පුළුවන් කියල?” කඩේ ළමයා ඇසුවේය.

‘පුළුවන් නේන්නම්, අතේ ඉඳගෙන නෙමෙයි, සාක්කුවෙ ඉඳගෙනත් පොහොට්ටු පක්ෂෙ සාමාජික වෙන්න පුළුවනි. දැං රතන සූත්‍ර හාමුදුරුවොම ගත්තොත් මන්ත්‍රි යූ.එන්.පි.යෙ. උපදේශක ශ්‍රී ලංකා එකේ. උපවාසෙ පොහොට්ටුවෙ.” මුදලාලි පැහැදිලි කළේය.

“මුදලාලි කියද්දියි මටත් මතක් වුණේ. ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුව හදපු ගමන් යාපාලා, මාපලා සැට් එකක් අතෙන් ගිහිං පොහොට්ටුවේ සාමාජිකත්වෙ ගත්ත නේද? ඒත් ඒ අය ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිල විදිහට පාර්ලිමේන්තුවෙ ඉන්නවා.” කඩේ ළමයා කීවේය.

“තියානොගෙන වෙන මොනව කරන්නද ළමයා. බැරිවෙලාවත් පොහොට්ටු පක්ෂෙ සාමාජිකත්වය ගත්ත කියලා ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිකමෙන් අයින් ‍කළොත් එහෙම ඒ මන්ත්‍රි පුරප්පාඩු පුරවන්න ‍මෛත්‍රි මහත්තය කොහෙන් මිනිස්සු හොයන්න ද? පළාත්සභාවේ ආණ්ඩුකාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි, සංස්ථාවෙ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රිලත් දාල තමයි ප්‍රශ්න විසඳන්න වෙන්නෙ.” මුදලාලි කීවේය.

“අපරාදෙ රතන සූත්‍ර හාමුදුරුවො උපවාස කළේ.” ළමයා කීවේය.

“ඇයි ආණ්ඩුකාරවරු අස්වුණු නිසාද? නියා මුදලාලි ඇසුවේය.

“එයා ජනාධිපති උපදේශක නම් ආණ්ඩුකාරවරු දෙන්නා අස්කරන්න කියල මෛත්‍රි මහත්තයට උපදෙස් දෙන්න තිබුණා.” කියා ළමයා කීවේය.

රතන සූත්‍ර ල, වටිනා කියන පහල උපදේශක කියලා තනතුර තිබුණට කරන්නේ මෛත්‍රි මහත්තයට සාදුකාර දෙන එක”යැයි එවිට මුදලාලි කීවේය.

“හෙට පාන්දුර බස්එක අල්ලගන්න ඕන.” කියා ළමයා කීවේ, ජංගම දුරකතනයෙන වෙලාව විමසන අතරවාරයේය.

“ළමය මොනවට ද හදිස්සියෙ කොළඹ දුවන්නේ,” මුදලාලි ඇසුවේය.

“ඔම්බුඩ්ස්මන් කාර්යාලයට යනව පැමිණිල්ලක් කරන්න.” ළමයා කීවේය.

“මොකද්ද අසාධාරණේ රනිල් මහත්තයා අරලියගහ මන්දිරය බාර නොදුන්න එකද?” කියා මුදලාලි ඇසුවේය.

“එයාගෙ ඇමතිකම නැති කළ එක.” කියා ළමයා උත්තර දුන්නේය.

“ඒක පුදුම කතාවක්නේ?” මුදලාලි කීවේය.

“පුදුම වෙන්නේ මොකටද? සාටක රජා රටේ විපක්ෂනායක වුණත් රට පාලනය කරන්නේ එයා කියන විදිහටනේ. එහෙම ගත්තම විපක්ෂ නායක රාජ්‍ය නායකය විදිහට කටයුතු කරන එකම රට ශ්‍රී ලංකාව” යැයි ළමයා කීවේය.

“මමත් එනවා හෙට කොළඹ යන්න.” මුදලාලි කීවේය.

“ඒ මොනවට ද?” ළමයා ඇසුවේය.

“මටත් තියෙනවා පැමිණි කීපයක්ම කරන්න.” මුදලාලි කීවේය.

“නීතිය හා සාමය අන්සතු කළා කියලද” ළමයා ඇසුවේය.

“කළු ජනමාධ්‍යවලට වල්බූරු නිදහස දුන්න එකට. ඡන්ද පැරදිච්ච අයට මන්ත්‍රි තනතුරු දුන්න එකට. සුදු වෑන් සංස්කෘතිය පවාදීම ගැන, හොරු ඇල්ලීම නොකළ එක ගැන, දඬුවම් දීල නඩු අහන සංස්කෘතිය ඇති කළාට, අත්අඩංගුවට අරන් පැමිණිලි තියෙනවද අහන නීති ගෙනාවට.” කියා මුදලාලි කීවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *