රටක මුස්ලිම් සමාජය අතහැර විනිවිදභාවයෙන්, සමානාත්මතාවයෙන් යුත් පාලන තන්ත්‍රයක් පවත්වා ගෙන යාම අසීරුයි – දකුණු පළාත් ආණ්ඩුකාර, කීර්ති තෙන්නකෝන්

‌රටේ මුස්ලිම් ප්‍රජාව නොමැතිව විනිවිදභාවයෙන් යුත් පාලන තන්ත්‍රයක් පවත්වා ගෙන යාම අසීරු කරුණක් බවත්, මේ තත්ත්වය තුළ රටේ ජනතාවට සිය මතය ප්‍රකාශ කරන්නට මැතිවරණයක් පැවැත්වීමේ පරිසරය රට තුළ නිර්මාණය වී ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටී. ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා එසේ අදහස් දැක්වූයේ මාධ්‍යවේදීන් පිරිසක් රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කළ අවස්ථාවකදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්වීය.

‘මුස්ලිම් ආණ්ඩුකාරවරුන්,  මුස්ලිම් අමාත්‍යවරුන් , මුස්ලිම් නියෝජ්‍ය අමාත්‍යවරුන්, මුස්ලිම් රාජ්‍ය අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්  වන තත්ත්වයක් තුළ ඉතාම පැහැදිලියි, මුස්ලිම් ප්‍රජාව අතහැර මේ රට පාලනය කිරීම අසීරුයි. විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන්  පාලන තන්ත්‍රයක් පවත්වා ගෙන යන්නට නොහැකියි. මේ අර්බුදය අද වන විට දෝර ගලන්නට පටන් ගෙන තිබෙනවා. ඒ දෝර ගලන්නට හේතුව ආණ්ඩුව කෙරේ ජනතා විරෝධයක් මතුවීම බව අකැමැත්තෙන් වුවත් අපට පිළිගැනීමට සිදු වෙනවා. නිසි කලට මැතිවරණ පැවැත්වූවා නම් ජනතාවට ඔවුන්ගේ ඡන්දය හරහා නියෝජිතයන්  පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

දීර්ඝ කාලීනව මැතිවරණ නොපැවැත්වීම හේතු කොටගෙන ජනතාවට සිය මතය ප්‍රකාශ කරන්නට නොහැකි වෙලා තියෙනවා. මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමේ පසුබිම තුළ මැතිවරණයක් පැවැත්වීමට අනිවාර්ය වන පරිසරයකට අද රට පැමිණ තිබෙනවා. ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අප ගොඩනගා දිය යුතුයි. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වරූපය විය යුත්තේ. අද වෙනකොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් බලහත්කාරයෙන් බැඳතබලා ජනතාවගේ මතය, අදහස, හැගීම ඡන්දයෙන් ප්‍රකාශ කරන්නට බැරි පරිසරයක් කෘතිමව නිර්මාණය කරනු ලැබූ තත්ත්වයක්..

අද වන විට ඇතැම් පළාත් සභා විසුරුවා හැරලා අවුරුදු 1 ½ ක් පමණ ගතවෙලා. පළාත් සභා 09 න් 08ක් අද පාලනය කරන්නේ ආණ්ඩුකාරවරුන් විසින්. එය ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මේ අර්බුදයෙන් රට මුදවා ගන්නට නම් පළාත් සභා ඡන්දය වංචනිකව කල් දැමීම අහෝසි කර පළාත් සභා මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තුව 2/3 බලයකින් විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි කරුණක්.1983 ඔක්තෝබර් අමිර්තලිංගම්  ඇතුළු TULF සාමාජිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සමාන තත්වයක් තමයි අද මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමත් මා දකින්නේ. මෙය රටට යහපත් ප්‍රවණතාවයක්  නොවෙයි. ‘

ම‍නෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *