yukthiya

ලීමෝල් – වඩුමඩු තහනම් කරන බව ජනපති කියයි

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට  අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රියාත්මක වන්නේ යැයි ද කීය.

ලොව බොහෝ රටවල ලීමෝල් තහනම් බව සිහිපත් කළ ජනාධිපතිවරයා වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බව සඳහන් කළේය.

තමන් පොළොන්නරුවේ ගමක මළ ගෙදරක ගිය අවස්ථාවක එහි සිටි දුප්පත් ගම්වැසියෙක් හැම තැනම දම්වැල් කියත්, මේව තහනම් කරන තුරු කැලෑ කැපිම නවත්වන්නට බැහැ යනුවෙන් තමන්ට කී බවත් ඒ අනුව කල්පනා කර බලා දම්වැල් කියත් සියල්ල ලියාපදිංචි කළ බවත් කී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශයේත් අදාළ ආයතනවලත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතුන් සිටියත් මෙවැනි උපදෙසක් කිසිවිටෙකත් නොදුන්  බවත් සඳහන් කළේය.

ලියාපදිංචි කිරීම ආරම්භ කර සති තුනක් ගත වනවිට 82000 ක් දම්වැල් කියත් ලියාපදිංචියට ඉල්ලූම් කර තිබු බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

විනීතා එම් ගමගේ      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *