|

බෙදී හිටි මුස්ලිම්වරු සමගි කළ රතන හිමිගේ උපවාසයට සතර වටෙන් ප්‍රහාර

අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට එක්වීමටය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමතිවරු රැසක්ද පැමිණ තිබිණ. ගෙවුණු සතියේ උණුසුම් දේශපාලන සිදුවීම් ගැන එහිදී ප්‍රමුඛ අවධානය යොමු විය.

“අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා ගිය රජයට එකතු කරගන්න කොට උපවාස නොකල කෑගැහුවේ නැති හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට විතරක් විරුද්ධ වීම පුදුමයි.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“දළදා මාලිගාවේ මහ මළුවෙ යකා නටලා. අපවිත්‍ර කරලා,  කුණු දාලා , මිනිස්සුන්ට ගහලා, හූ තියලා ජෝගි මඩුවක් කරගත්ත එකයි අනුමත කරන්න පුළුවන්ද” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“ මහින්ද පංසල් අල්ලගෙන පටු දේශපාලනය කරන කොට තවත් සමහරු දළදා වහන්සේත් දේශපාලනයට යොදා ගැනීම හරි නෑ. මුස්ලිම් ආණ්ඩුකාරවරු දෙන්නා ඉවත් වූ ගමන් හාමුදුරුවො උපවාසෙ අතහැරියා. රිෂාඩ්ගේ ගැටලුවක් නෑ කියන එකද ඒකෙන් ඇඟවෙන්නේ කියලා මට තෙරෙන්නේ නෑ” දයා ගමගේ කීවේ එවැන්නකි.

“ මුස්ලිම් ඇමතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියලයි දැන් මිනිස්සු අහන්නේ. මේක අගමැතිතුමා නිල අල්ලලා දීපු ගේමක් බව කියනා අයත් ඉන්නවා” චමින්ද විජේසිරි කීවේ සිනහා මැදය.

“මම දීපු ගේමක් නෑ. මුස්ලිම් ජනතාවට මෙහෙම ගියොත් ආරක්ෂාවක් නැති වේවි; ඒ නිසා සාමය ඇති කරන්න අපි සියලු දෙනාම අයින් වෙනවා කියලයි ඒ ඇමතිවරු මට කිව්වේ. දැන් ත්‍රෛයිනිකායික මහ නා හිමිවරුන් කියන්නෙ මුස්ලිම් ඇමතිවරු තනතුරු බාරගන්න ඕන කියලයි” අගමැතිවරයා පැහැදිලි කළේය.

“ඊයේ තිබුණු උත්සවයකදී අගමැතිතුමා හොඳ කතාවක් කළා. මුස්ලිම්වරු නැති කැබිනට් එකක් මුල් වරට බිහිවීම ගැන සමහරු ප්‍රීති වුනත් ඒක රටට හොඳ නෑ. ත්‍රස්තයෝ සුලු පිරිසක් නිසා සියලු මුස්ලිම්වරු තල්ලු කරන්න බැහැ. ජනමාධ්‍යත් මේ ගිනි තැබීමට හවුල් කියලා ඔබතුමා කරපු කතාව ඉතා වට්නවා” හේෂා විතානගේ කීවේය.

“උපවාසය මහ මලුවේ බලෙන් වගේ කරල තියෙන්නේ. කාදිනල්තුමා සුබ පතන්න ආවට මහ නාහිමිවරැ ආවේ නෑ.මේක දේශපාලන නාට්‍යක් නිසා කාදිනල්තුමා එතනට යාම සමහරුන්ට ගැටලුවක් වගේ පෙණුනා. ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“ඒ අස්සේ මංගල රාජිත ඇමතිවරුන්ට පංසල්වලට එන්න තහනම් දාන්න සමහර හිමිවරු උත්සහ කරනවා.ඒක බුදු දහමටත් විරුද්ධ දෙයක්. ඒ සමහරුන්ට ලමා අපචාර චෝදනාත් තියෙනවලු. ඇතැම් දුෂ්ශීලයන් බුදුන් වෙනුවට අද මහින්ද සරණං ගච්චාමියන නිසයි මේව වෙන්නේ ” හේෂා විතානගේ කීවේය.

“ උපවාසෙ යන අතරේ හදිසියේ මහින්ද ඔබතුමා මුණ ගැහෙන්න අරලිය මැදුරට ආවේ ඇයි ” දයා ගමගේ ප්‍රශ්න කළේය.

“ නෑ. ප්‍රහාරයෙන් පස්සෙ රටේ ආර්ථිකය ගැනයි අපි කතා වුණේ” යයි කී අගමැතිවරයා නළල රැලි ගන්වා මද සිනාවක් පෑවේය.

“ ආර්ථිකයට අමතරව තව දේවල් කතා වෙන්නැති. මහා බෞද්ධයා මහින්දයි ගෝල බෞද්ධයා ගම්මන්පිලයි එතනදී රතන හිමිගෙ උපවාසය ගැන උපහාසයෙන් කතා කරන වීඩීයෝවක් අන්තර්ජාලයේ යනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ ඉවත් වෙච්ච ඇමතිවරු වෙනුවට අලුත් අය පත් කරනවද ” මුජිබර් රහුමාන් ඇසුවේ අගමැතිගෙනි.

“ මාසයක් ඇතුලත පරීක්ෂණ ඉවර කරනවා. පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු වීම හෝ යම් සැක සහිත කරුණු මතු වූණොත් ඕනම කෙනෙක් ගැන තීන්දු ගන්නවා. චෝදනා ඉදිරිපත් කරන්න  විශේෂ ඒකකයකුත් දැම්මා. චෝදනා කරපු දේශපාලකයොයි, ජනමාධ්‍යයි, අනිත් අයයි දැන් පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනෑ. නැතිනම් චෝදනා එල්ල කරපු අයගෙන් CID ය ප්‍රශ්න කරාවි” අගමැකිවරයා පිලිතුරු දුන්නේය.

“ පොසොන් උත්සවය අපි හොදට මේ පාර කරල රටේ ආරක්ෂාව සහතික බව පෙන්නනවා. අපි ISIS ලට බය නෑ කියලත් ඔප්පු කරනවා” පී හැරිසන් මෙන්ම වජිර අබේවර්ධන කීවේ එනම කතාවකි.

“ මුස්ලිම්වරු ඇමතිකම් වලින් ඉවත් වුණා. ඒත් උපවාස කල අය තනතුරු වලින් ඉවත් වුණේ නෑ. බෙදිල හිටපු මුස්ලිම්වරු එකතු කිරීමයි අන්තිමේ උපවාසයෙන් සිදු වුණේ කියලයි බොහෝ දෙනෙකුගේ අදහස වෙන්නේ.  ගලබොඩඅත්තේ හිමි උපවාසෙට ගිහින් මුලින් සහය දීලා පසුදා රතන හිමිට ප්‍රහාර එල්ල කලා. මේ නාට්‍ය පිටපතේ අපැහැදිලි තැන් එමටයි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“ පොහොට්ටුවට සහය නොදෙන බවත් එජාපය නව මුහුණුවරකින් එනවා නම් සහය දෙන බවත් කැබිනට් එකේදී ජනාධිපතිතුමා කියපු කතාව සංවාදයට ගත යුතු වැදගත් ප්‍රකාශයක්. ” නවීන් දිසානායක කතාව වෙනතකට යොමු කලේය.

“  ජනාධිපතිතුමා එක්ක එජාපය ගහගන්න ඕන නෑ. එතුමා සහය දෙන්න එන ඕනම පක්ෂයකට ඡන්ද දෙන්න මිනිස්සු මැළිවෙන නරක පසුබිමක් අද රටේ තියෙන්නේ. සහයෝගයෙන් එතුමා එක්ක වැඩ කරල රටට උපරිම සේවය කිරීම ආණ්ඩුවේ වගකීමයි. එජාපයට අයිති ඇමති ධුරත් දැන් ඉල්ලා ගන්න ඕනැ. ” චමින්ද විජේසිරි කී දේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කළහ.

“ තේරීම් කාරක සභාවටවයි ඒකේ ජනමාධ්‍ය ආවරණයටයි ජනාධිපතිතුමා බාල්දි පෙරලලා තියෙන්නේ ඇයි  ” මුජිබර් රහුමාන් ඇසුවේය.

“ ප්‍රහාරය ගැන තේරීම් කාරක සභාව පත් කිරීමටයි ඒක ජනමාධ්‍යට විවෘත කරලා රට දැනුවත් කරන එකටයි ජනාධිපතිතුමා කැමති නෑ වගෙයි. අගමැතිතුමා හා කට්ටියටම දොස් කියල තියෙන්නේ ඒකයි. මේ වැඩේ අගමැතිතුමා ප්ලෑන් කරපු එකක් බවයි එතුමා හිතන්නෙ. ඒත් සියලු පක්ෂ වල ඉල්ලීම් අනුව කතානායකතුමාටයි තේරීම් කාරක සභාව පත්කලේ. ” කිරිඇල්ල කීය.

“ තේරීම් කාරක සභාවේ ඉන්න අපේ ඇමතිවරු දෙන්නෙක් ජනාධිපතිතුමාගෙ ස්ථාවරය කාරක සභා සාමාජිකතයන්ට කීවාම ජවිපෙ නලින්ද හා සුමන්තිරන් ඒකට විරුද්ධ වෙලා. අපි පත් කලේ පක්ෂ වලින්. කාටවත් කාරක සභාවට බලපෑම් කරන්න, ජනමාධ්‍ය තහංචි පනවන්න බෑ කියලයි එයාල කියල තියෙන්නේ. තේරීම් කාරක සභාවට විරුද්ධව නීතිපතිත් ලිපියක් එවපු බව ජනාධිපතිතුමා කිව්වට ජනාධිපතිතුමා නීතිපතිට යවපු ලිපියකට පිළිතුරුයි නීතිපතිතුමා එවල තියෙන්නෙ. රාජ්‍ය ආරක්ෂාවට අදාල ඕනෑම දෙයක් කාරක සභාවට රහසේ කියනවා මිසක් ජනමාධ්‍ය ඉදිරිපිට කියන්න එපා කියලත් සාක්කිකරුවන්ට උපදෙස් දීලයි තේරීම් කාරක සභාව වැඩේ කරන්නෙ. ඩී.අයි.ජී නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම නිසා සහරාන් කොටු කිරීම වැළකීම රටට වෙච්ච විශාල අපරාධයක් බව බව ඔහුගේම සාක්කියෙනුත් තහවුරු වුණා. ” එජාප නීති නිලධාරියෙක් කීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *