|

ජාතිවාදයෙන් යටගිය ප්‍රශ්න උඩට ගන්න ජවිපෙන් සැලසුම්

පසුගිය 21දා ප‍්‍රහාරයෙන් පසුව රටේ විවිධ මාතෘකා උඩට එමින් එම මාතෘකා යටයමින් තවත් මාතෘකා උඩට එමින් පවතී. මේ අතර අන්තවාදය පරාජයට පත්කිරීමේ සටන ඉදිරියට ගැනීම වෙනුවට වෙනත් අවස්ථාවාදී සටන්පාඨ නිර්මාණය කරමින් ඒවා මතුපිටට ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය පස්වෙනිදා රැුස්වූ අවස්ථාවේදීද අවධානය යොමු කර තිිබුණි. ”මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමත් එක්ක රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව තිබුණු විශ්වාසභංග යෝජනාව අහෝසි වෙලා ගියා. ඇමතිවරයා ඉල්ලා අස්වීමෙන් පස්සේ විශ්වාසභංගයක් විවාදය කරලා ඵලක් නැහැ. රාජපක්ෂ කණ්ඩායමේ අය රිෂාඞ් එරෙහි විශ්වාසභංගය ගැන කතා කළේ මහලොකු දේශපාලන පෙරළියක් කියලා. නමුත් අන්තිමේදී මොකද වුණේ.” විජිත හේරත් කීය.

”සමහරු අපිට පුළුවන් තරම් මඩ ගැහුව්වා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා කියලා. සමහර මාධ්‍යයත් ඒ මතය වපුරන්න උත්සහ කළා. නමුත් දැන් අන්තිමේදී ඉතිරි වුණේ අපි ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වංසභංගය විතරයි. ඒකත් නැති වුණානම් ආණ්ඩුව එරෙහි කිසිදු ක‍්‍රියාමාර්ගයක් දැන් ඉතිරි වෙන්නේ නැහැ. ඇත්තටම සිද්ධියට වගකිව යුතු ආණ්ඩුව නිකන්ම සුද්ද වෙන්න තිබුණා. ඒ නිසා අපි විශ්වාසභංගය මාතෘකාව උඩට ගන්න ඕනෑ. අපේ ස්ථාවරය හරි කියලා ඉතිහාසය ඔප්පු කරයි.” ලාල්කාන්ත කීවේය.

”පක්ෂ නායකයින්ගේ රැුස්වීමේදී අපේ විශ්වාසභංගය ගැන සාකච්ඡුා වුණා. ලබන මාසේ 10 සහ 11 දින දෙකේදී විවාදය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න තීරණය වුණා.” පක්ෂ නායක අනුර දිසානායක දන්වා සිටියේය. ”දැන් සිදුවෙමින් තිබන්නේ ජනතාවගේ අවධානය යොමු කළ යුතු මාතෘකා යටගිහින් ඇතැම් දේශපාලන කණ්ඩායම්වල ජාතිවාදී වුවමනාවට අලූත් මාතෘකා මගින් උඩට ගන්න එක. සමහර මාධ්‍යයත් හිතාමතාම ඒ දේ කරනවා. ඒකෙන් වෙලා තියෙන්නේ අන්තවාදය පරාජය කිරීමේ සටන යට ගිහින් අවස්ථාවාදී දේශපාලන සටන්පාඨ උඩට එන එකයි. ඒකේ අවාසිය තියෙන්නේ ජනතාවටම තමයි. නමුත් බහුතර ජනතාවක් අද ජාතිවාදී සටන්පාඨ නිසා අතරමං වෙලා.” බිමල් රත්නායක කියා සිටියේය.

මගේ ආගම මොකක්ද කියලා මම තීරණය කළේ නැහැ… නීතිඥ ෆාරිස් සාලි

ආගමික උමතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන විශේෂ යෝජනා මාලාව පසුගිය 04වැනිදා ජනගත කරන ලදී. මෙම විශේෂ යෝජනා මාලාව ගැනද ජවිපෙ නායකයෝ පසුවිපරමක් සිදුකළහ. ”යෝජනාව සම්බන්ධයෙන් හොඳ ප‍්‍රතිචාරයක් තියෙනවා. ගොඩක් අය අහනවා මේක කොහොමද නීතියක් හැටියට සම්මත කරන්නේ කියලා. නැත්නම් මේක පාර්ලිමේන්තුවට ගේන්න බැරිද කියලා. කොහොමත් අපි මුලින් කරන්න ඕනෑ ජනතාව අතර මේ ගැන සංවාදයක් හදන එක.” විජිත හේරත් කීය. ”මුස්ලිම් ජනතාව නියෝජනය කරන සංවිධාන ගණනාවක් අපිත් එක්ක සංවාදයක හිටියා. ඒ අයගේ යෝජනා විශාල ප‍්‍රමාණයක් මේ යෝජනා මාලාවේ තිබෙනවා. අපි මේක මේ නිශ්චිත මොහොතේ ඉදිරිපත් කළාට මුස්ලිම් ජනතාවත් සමඟ අපි මීට කලින් ඉඳලම සංවාදයක් තිබුණා. ඇතැම් මුස්ලිම් නායකයින් පිළිගන්නවා මුස්ලිම් සමාජයේ යම් යම් ප‍්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියලා. ඉතිං ඒ වෙනුවෙන් අපි කරන සහෝදරාත්මක ඉල්ලීමක් තමයි මේ යෝජනා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනා මාලාව එළිදැක්වූයේ පසුගිය හතරවැනිදා කොළඹ පදනම් ආයතනයේදීය. ඒ සඳහා ජවිපෙ නායකයින් මෙන්ම විද්වතුන් ආගමික නායකයින් කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම යෝජනා මාලාවට පොදු ප‍්‍රතිසංස්කරණ යෝජනා, මහජන ආරක්ෂාව, නීති ප‍්‍රතිසංස්කරණ, ආගමික ආයතන ප‍්‍රතිසංස්කරණය හා පරිපාලනය, අධ්‍යාපනය, ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප‍්‍රතිසංස්කරණ, ජනමාධ්‍ය, ආගමික වියතුන් සතු විශේෂ කාර්යභාරය යන මාතෘකා යටතේ යෝජනා ඉදිරිපත් කොට තිබේ.

මුස්ලිම් සමාජය නියෝජනය කරමින් මෙම යෝජනා මාලාව පිළිබඳව අදහස් දැක්වීමට ජවිපෙ ආරාධනා කර තිබුණේ රම්‍ය ලංකා පදනමේ සභාපති නීතිඥ ෆාරිස් සාලිටය. ”මගේ ජාතිය මගේ ආගම මම තීරණය කළේ නැහැ. මගේ අම්මා මුස්ලිම් වෙන්න කියලා මම තීරණය කළේ නැහැ. තව කෙනෙක් ක‍්‍රිස්තියානි වෙන්න කියලා එයා තීරණය කළේ නැහැ. බොහෝ දෙනෙක් අදහන්නේ තමන් විසින් තීරණය කරලා තෝරාගත්ත ධර්මයක් නෙවෙයි. ඇයි එහෙනම් අපි ගහගන්නේ. නැහැ අපි ගහගන්න අවශ්‍ය නැහැ. අපි අපේ රට හදන්න ඕනෑ. ඒකට නිදහස් අධ්‍යාපනය වැදගත්. ඒ වගේම මම කියන්න ඕනෑ. ප‍්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් විදියට අද ලංකාවේ තියෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කරන කතා අපි හැමෝම අහන්න ආසයි. මොකද ජවිපෙ මන්ත‍්‍රීවරු තමයි වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේදී කියන්නේ.” ෆාරිස් සාලි අදහස් දක්වමින් කියා සිටියේය. ඒ වගේම එම අවස්ථාවට කැළණිය විශ්වවිද්‍යාලයේ ක‍්‍රිස්තියානි ධර්මය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන්ද දේශනයක් පැවැත්වීය.
ඇක්සා, සෝෆා ගැන සම්මන්ත‍්‍රණ

ඇමරිකා එක්සත් ජනපදය සමඟ ශ‍්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ලද ඇක්සා සහ සෝෆා ආරක්ෂක ගිවිසුම් පිළිබඳව නැවතත් කතාබහක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ද අදහස් හුවමරු කරගනු ලැබූවේ දේශපාලන මණ්ඩල රැුස්වීමේදීය. ”බොහො අය හීනෙන් බය වෙලා වගේ මේ ගැන කතා කරන්න පටන් අරගෙන. මේ ගිවිසුම අද ඊයේ අත්සන් කරපු ඒවා නෙවෙයි. 2007දී මේ ආරක්ෂක ගිවිසුම් අත්සන් කරනකොට අපි මේ ගැන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළා. රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක්ලා මේක අත්සන් කරනකොට ඒකේ බරපතළකම කාටවත් තේරුණේ නැහැ. ඒත් කැබිනට් එක දන්නෙත් නැතුව අත්සන් කළා. ආණ්ඩුවේම මීයෝ වගේ හිටපු ඇතැම් අය අද මහ ලොකුවට මේ ගැන කතා කරනවා.” අනුර දිසානායක කීවේය.

”සමහරු හිතන් ඉන්නේ මේ ගිවිසුම් අත්සන් කළේ මේ ආණ්ඩුව කාලේ කියලා. ඇත්තටම වුණේ රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම 2017දී මේ ආණ්ඩුව නැවත අලූත් කළා. ඒ වෙලාවෙත් අපි අපේ විරෝධය පළකළා ආණ්ඩුවට. නමුත් ආණ්ඩුව කිසිවක් නොසලකා මේක අත්සන් කළා. මේ ආණ්ඩු හැම එකක්ම අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටු කරනවා. ගෝඨාභයගෙ පස්සේ වැටිලා ඉන්න දේශපාලන අඳබාලයින් බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වනවා. ගෝඨාභයලාම තමයි මේවා අත්සන් කළේ. අපි මේ ගැන පහුගිය පෙබරවාරි 22 පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් කළා. නමුත් ඔය බොරු දේශපේ‍්‍රමියෝ එක්කෙනෙක්වත් විවාදයට සම්බන්ධ වුණේ නැහැ.” බිමල් රත්නායක කීවේය.

”අපි මේ ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් සූදානම් කරමු. දැන් ගොඩක් අයට ආර්ථික ප‍්‍රශ්න අමතක වෙලා. සම්පත් විකුණන එක ගැන කතාවක් නැහැ. රටට අහිතකර ගිවිසුම් ගැන අවධානයක් නැහැ. බදු බර ගැන බඩු මිල ගැන සංවාදයක් නැහැ. ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යටගහමින් ජාතිවාදී සටන්පාඨ උඩට ගන්නවා. ඒ නිසා ජනතාව සමඟ ඇත්ත ප‍්‍රශ්න ගැන සංවාදයක් මතුකරන්න ඕනෑ.” ටිල්වින් සිල්වා යෝජනා කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *