පාස්කු ප්‍රහාරයේ ඇත්තට බය අය – සම්පත් අමරසිංහ

පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරය සම්භන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් විවිධ චෝදනා එල්ල කරන්නට පටන්ගෙන තිබේ. ඒ අතර එක් චෝදනාවක් වන්නේ බුද්ධි අංශ නිලධාදාරින්ගෙන් ප්‍රශ්න කිරීම බුද්ධි අංශ පාවාදීමක්ය යන්නය. බුද්ධි අංශ පාවාදීම සම්බන්ධ තැටිය පොහොට්ටු කණ්ඩායම ප්‍රමුඛ යුද වාදී කණ්ඩායම වත්මන් අණ්ඩුව බලයට පත් වූ දා සිටම ආණ්ඩුවට එරෙහිව එල්ල කරන්නකි.

ඊට විශේෂයෙන් බල පෑ හේතුව වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටිය දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් මෙරට බුද්ධි අංශ අවකල් ක්‍රියාවේ යොදවා කරන්නට යෙදුණු දරුණු අපරාධ පිළිබඳ පවතින ආණ්ඩුව යටතේ විමර්ශන සිදු කිරීමය. එසේ විමර්ශනය කරගෙන අතර තුර බුද්ධි අංශ නිලධාරින් කිහිපදෙනෙකුගේ නම් සඳහන් වී ඇත. එසේ නම් සඳහන් වී ඇති පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අවශ්‍ය අවස්ථාවල ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසා තිබුණේ මෙරට බුද්ධි අංශ වලට සම්බන්ධ පිරිස දසදහසක් පමණ සිටින බවයි.

දසදහසක පමණ බුද්ධි අංශ පිරිස අතරින් පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩුවේ ඇතැම් ඉහළ තනතුරු දැරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීමටත් තම තමන්ගේ යම් යම් අරමුණු ඉටුකර ගැනීමටත් අපරාධ ක්‍රියාවන්ට දායක වී ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක් බව එවැනි ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කර ප්‍රශ්න කරන්නට හෝ අත්අඩංගුවට ගැණුනු පිරිස දෙස බලන විට ඉතාමත් පැහැදිලිය. දසදහස් ගණනක් බුද්ධි අංශ සාමාජිකයන් අතරින් දහ දොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් බුද්ධි අංශ බිඳවැටෙන්නේ යැයි පිළිගත හැකි නම් පසුගිය යුද සමයේ හමුදා කඳවුරු ආදියට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මෙරට බුද්ධි අංශත් ත්‍රිවිධ හමුදාවත් නැත්තටම නැති විය යුතුව තිබුණි.

පොහොට්ටුවාදීන් විසින් බුද්ධි අංශ පාවාදීමක් වශයෙන් අර්ථ දක්වන්නට උත්සාහ ගන්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පත් සිසිර මෙන්ඩිස් මහතා ගෙන් ප්‍රශ්න කිරීමය. සිසිර මෙන්ඩිස් මහතා යනු සැඟවී තොරතුරු රැස්කරන බුද්ධි නිලධාරියෙක් නොවේ. ඔහු බුද්ධි අංශ ප්‍රධානියා බව රටම දන්නා කරුණකි. එහෙයින් ඒ මහතා පාර්ලිමේන්තු කාරක සභාවට පත්වීමෙන් ඒ මහතා පිළිබඳ අමුතුවෙන් හෙළිවන්නට කරුණු කිසිවක් නැත. එහෙත් ඒ මහතා ගේ ප්‍රකාශ හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු සැබෑ වගකිව යුත්තන් පිළිබඳ හෙළිදරව් වී ඇති බව නම් සිතිය හැකිය.

නිදසුනක් වශයෙන් විශේෂ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මොහොමඩ් සහරාන් පිළිබඳ කලින් සාකච්ඡාකර තිබුණා දැයි ප්‍රශ්න කළ විට මෙන්ඩිස් මහතා පිළිතුරු වශයෙන් කියා තිබුණේ ‘‘ඔහු ගැන සෑම අවස්ථාවේම සාකච්ඡා කළේ නැහැ. පළමුවරට සාකච්ඡා කළේ 2015 ඔක්තෝම්බර් හය වැනිදා. අපි මේ අයි.එස්.අයි.එස් තර්ජන ගැන දැනගෙන හිටියා ඒ ගැන සාකච්ඡා කළා, යනුවෙනි.

මෙන්ඩිස් මහතාගේ ප්‍රකාශය අනුව හෙළිවන තවත් කරුණක් වන්නේ 2015න් පසුව ආරක්ෂක මණ්ඩලය රැස් වී තිබුණේ මාසයකට වරක් බව සහ 2019 පෙරවාරි 19 දාට පසුව ආරක්ෂක මණ්ඩලය රැස් වී නොතිබුණු බවය. පෙබරවාරි නමය බුද්ධි මණ්ඩල රැස්වීමේ දී අයි.එස්. ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන නැති බව ද ඒ මහතා ගේ ප්‍රකාශයෙන් හෙළිවේ. කතාකර ඇත්තේ විරෝධතා සහ මධුෂ් වැනි ප්‍රශ්න ගැනය.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ප්‍රශ්න කිරීම් හේතුවෙන් බුද්ධි අංශ ගැන හෙළිදරව් වීම කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමේ දී ප්‍රහාරයට ආසන්න කාලයේ පැවති දුර්වලතා ආරක්ෂක මණ්ඩුලය රැස් වූ අවස්ථාවල දී පවා අයි.එස්. ප්‍රශ්නය වෙනුවට වෙනත් දේ සාකච්ඡා කළ බව ආදිය හෙළිදරව් වී තිබේ. එසේ හෙළිදරව් වීමෙන් පසුව කැළලක් සිදු වන්නේ නම් ඒ බුද්ධි අංශවලට නොවේ. ආරක්ෂක අමාත්‍යවරයාටය. ඔක්තෝම්බර් කුමන්ත්‍රණය සිදු නොවී තිබුණේ නම් ඒකාබද්ධය නිසැකවම ඉහත කාරක සභාවේ දැනට හෙළිදරව් වී ඇති කරුණු උපයෝගි කරගෙන ජනාධිපතිවරයා පතුරු ගසන්නට කටයුතු කරනු ඇති බවට කිසිදු සැකයක් නැත. එහෙත් මේ වන විට ඔවුන් ජනාධිපතිවරයා සමඟ ගෙන යන සාමකාමී සහජීවන ප්‍රතිපත්තිය නිසා ඔවුනට පාර්ලිමේන්තු කාරක සභාවේ හෙළිවන කරුණු මහජනතාවගෙන් වසං කරන්නට අවශ්‍ය වී තිබේ.

එකී කාරක සභාව හේතුවෙන් අනවශ්‍ය බුද්ධි තොරතුරු සමාජගත වන්නේය යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය නඟන චෝදනාවට කදිම පිළිතුරක් වත්මන් ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා දුන් පිළිතරු අනුව ලැබී තිබේ.

අන්තවාදී කණ්ඩායම් ගැන මුලින්ම තොරතුරු ලැබිලා තිබුණේ කොයි කාලයේ දැයි නලීන්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෝට්ටේගොඩ මහතා කියන්නේ 2014 දී පමණ තොරතුරු ලැබී තිබුණු බව හා ඒවාට ප්‍රතිචාර දැක් වූ ආකාරය එහි දී කිව නොහැකි බවයි.

කෝට්ටේ ගොඩ මහතාගේ පිළිතුර අනුව පැහැදිලි වන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි යම් තොරතුරු ඇත්නම් ඒවා විශේෂ කාරක සභාව හමුවේ අනාවරණය නොකර සිටිමේ හැකියාව අදාළ අංශවලට තිබෙන බවයි. එවැනි තොරතුරු හෙළිදරව් කරන්නට විශේෂ කාරක සභාව උත්සාහ නොකරන බවද කෝට්ටේගොඩ මහතා හෙළි නොකළ තොරතුරු හරා ඇවිස්සීමට කාරක සභාව උත්සාහ නොකිරීමෙන් පැහැදිලි වේ.

කාරකසභාවේ දී සරත් ෆොන්සේකා මහතා, සහරාන් ගැන ක්‍රියාත්මක වූ ඩී.අයි.ජී. නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ කටයුතු නැවතුණු බව ප්‍රකාශ වුණා නේ දැයි කෝට්ටේගොඩ මහතාගෙන් විමසා තිබුණි. කෝට්ටේගොඩ මහතා ඊට පිළිතුරු දී තිබුණේ තමා ඒ ගැන දැනුවත් නැත යනුවෙනි. ඩී.අයි.ජී. නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටියේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බව කියමිනි. එහෙත් එම නඩුවේ කොතැනකදී හෝ නාලක සිල්වා මහතා ගෝඨාභය මහතා හෝ ජනාධිපතිවරයා ඝාතනය කරන්නට කුමන්ත්‍රණ කළ බවක් හෙළි වී නැත. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකි.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ විශේෂ කාරක සභාවේ එදින හෙළිවූ කරුණු වලදී ආරක්ෂක මණ්ඩලය මෙහෙයවීම බාර පුද්ගලයන්ගේ නොසැලකිල්ල සහ දුර්වලකම් නිරාවරණය වූ බවයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාජගත වීම වැලැක්වීමට ඒකාබද්ධය ප්‍රමුඛ කණ්ඩායම දිවි නොතකා උත්සාහ කරමින් සිටින්නේ පාස්කු ප්‍රහාරය මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයට පහර දීමට එම සත්‍ය තොරතුරු ජනතාව දැනගත් විට නොහැකි බැවිනි.

ඒකාබද්ධය ප්‍රමුඛ මහින්දවාදීන් මතු කරන තවත් ප්‍රශ්නයක් වන්නේ විශේෂ කාරක සභාවේ නියෝජිතයන්ගේ සුදුසුකම් පිළිබඳවය.

දිවි නැගුම හරහා සමෘද්ධි අරමුදල් කොල්ලකෑමට මහින්ද රාජපක්ෂ පාලනය ගත් උත්සාහයට විරුද්ධවීම නිසා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක  මහත්මිය ධුරයෙන් පහ කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත්කළ කමිටුව, පොහොට්ටු පක්ෂයට මේ වන විට අමතක වී තිබේ. එම කමිටුවේදී හිටපු අගවිනිසුරුවරියගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ විමල් වීරවංශ වැන්නන්ය. එම කමිටුවේදී ඇය අශෝබන ආකාරයෙන් ප්‍රශ්න කරන්නට යෙදුණා පමණක් ඇයට අපහාස වන ආකාරයෙන් පවා කමිටු සාමාජිකයන් හැසිරී තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන කාරක සභාව සාක්ෂිකරුවන්ගේ ගෞරවය සහ රාජ්‍ය රහස් ආරක්ෂා කරමින් කටයුතු කරනු ලැබූ බව සජීවි විකාශය නැරඹු කාට වුව වැටහිය යුතුය. මෙකී කමිටුවේ විමර්ශන තවදුරටත් ජනතාව හමුවේ නිරාවරණය වුවහොත් ආරක්ෂාව සම්බන්ධව වගකිව යුත්තන් රැසකගේ පටි රෝල් වීම වැලැක්විය නොහැකිවන බව දැන් පැහැදිලි වී ඇත. පොහොට්ටු කාරයන් තැති ගෙන ඇත්තේ ඒ හේතුව නිසාය.

කවුරුන් කෙසේ කීවද පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම වරදක් නම් එයට වගකිව යුත්තන් ජනතාව හමුවේ නිරාවරණය කිරීම ආණ්ඩුවේ යුතුකම වේ. එම ප්‍රහාරය ගැන සොයාබලන්නට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ද මෙතෙක් ලබා දී නැත. ඒ නිසා ප්‍රහාරය හෙළිදරව් කිරීම සඳහා ආණ්ඩුවට පැවරෙන වගකීම තවත් වැඩි වී ඇත. ආණ්ඩුව එම වගකීම කවර තත්ත්වයක් තුළ වුව ඉටු කළ යුතුය.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *