රතන සූත්තර – අනුර සූරියබණ්ඩාර
අතුරලියේ රතන හාමුදුරුවන් මැයි 31 වැනිදා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් පටන්ගන්නේ රිෂාඩ් බද්යුදීන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි මහතුන් ඔවුන් දරමින් සිටින ආණ්ඩුකාර ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
හිස්බුල්ලා මහතා, අසාද් සාලි මහතා සහ රිෂාඩ් බද්යුදීන් මහතා ධුර වලින් ඉවත් කරන්නට කෙරෙන ඉල්ලීමට හේතුව ඔවුන් සහ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය නැතහොත් ඉස්ලාම් අන්තවාදය අතර සබඳතාවක් පවතීය යන්නය. හිස්බුල්ලා මහතාගේත් ඔහුගේ පුත්රයාගේත් හිමිකාරත්වයෙන් යුතු නැගෙනහිර විශ්ව විද්‍යාලය ෂරියා නීතිය උගන්වන බවටත් එමගින් අන්තවාදය පතුරුවන බවටත් චෝදනා කරති.
කවුරුන් කෙසේ කීවද හිස්බුල්ලාගේ හිමිකාරිත්වයෙන් යුතු විශ්වවිද්‍යාලය හා පාස්කු ඉරිදා ප්‍රහාරකයන් අතර ඍජු සබදතාවක් ඇතැයි මෙතෙක් කරුණු සහිතව ඔප්පු වී නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ තැනැත්තන් අතරින් බහුතරය මෙරට නොව විදෙස් සරසවි වලින් අධ්‍යාපනය සහ උපාධි ලැබූ අයය. ඒ අනුව නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයට ට කලින් තහනම් කළ යුතුව ඇත්තේ මෙරට තරුණ තරුණියන් විදෙස් රටවල සරසවිවලින් අධ්‍යාපනය ලැබීමය.
හිස්බුල්ලා මහතාගේ සරසවියේ ෂරියා නීතිය උගන්වන බව කියති. එසේ උගන්වන බවද විධිමත් පරීක්ෂණයකින් මෙතෙක් තහවුරු කරගෙන නැත. යම් ආකාරයකින් එම ආයතනයේ ෂරියා නීතිය උගන්වනු ලැබුවද එමගින් අයි.එස්. ත්රස්තවාදයට ලැබෙන පිටුවහල කුමක්ද යන්නත් නිවැරදිව තක්සේරු කළ යුතුව ඇත. ෂරියා නීතිය යනු ඉස්ලාම් ධර්මයේ කොටසකි. ඉස්ලාම් ධර්මය දර්ශනය උගන්වන ආයතනයක ෂරියා නීතිය උගන්වන්නට සිදු වේ. ෂරියා නීතිය ඉගැන්වීම වරදක් බව මෙතෙක් ශ්‍රී ලංකාවේ කොතැනකවත් සඳහන් වී නැත. ඒ අනුව ගත් කල ෂරියා නීතිය ඉගැන්වීම නීතියෙන් තහනම් කර නොමැති තෙක් ෂරියා නීතිය හිස්බුල්ලා මහතාගේ විශ්වවිද්‍යාලයේ උගන්වනු ලැබුවද එහි වරදක් ඇත්තේ නැත. ඉස්බුල්ලා මහතාට ධුරයෙන් ඉවත් වන්නට කියමින් උපවාස කරන්නට පෙර රතන හාමුදුරුවන් කළ යුතුව තිබුණේ ෂරියා නීතිය මෙරට ඉගැන්වීම තහනම් කරවීම සඳහා කටයුතු කිරීමය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රිකම් දරමින් ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවේ සිටි රතන හාමුදුරුවන්ට එය ඉතා පහසුවෙන් කරන්නට තිබුණි.
අනෙක් කාරණය වන්නේ ෂරියා නීතිය යනු ඉස්ලාම් ආගමේ දර්ශනයේ කොටසක් වීමය. එය බුද්ධ ධර්මයේ දසරාජ ධර්මය හා සමාන දෙයකි. ඉස්ලාම් ධර්මය උගන්වන තැනක ෂරියා නීතිය පිළිබඳ කතා කිරීම ඉගැන්වීම වරදක් නැත. ෂරියා නීතිය රටක නීතිය වශයෙන් ක්‍රියාත්මක කරන්නට යාම යම් ආකාරයක ගැටලු සහගත වූ බවට අත්දැකීම් අෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ තිබුණි. එහෙත් ඉස්ලාම් විද්වතුන්ගේ මතය වන්නේ තලේබාන් නීතිය යනු ඉස්ලාම් අන්තවාදයක් මිස සැබෑ ෂරියා නීතිය නොවන බවයි. ඒ අනුව ෂරියා නීතිය ඉගැන්වීම වරදක් නම් දසරාජ ධර්මය ඉගැන්වීමත් වරදකි. මූලික වශයෙන් ගත්කල තහනම් නොකළ ධර්මයක් උගන්වන්නේය යන වරදට හිස්බුල්ලා මහතාට ඉල්ලා අස්වන්නට කීම අනුමත කළ නොහැක. ජනමාධ්‍ය මගින් පවා මෙතෙක් අනාවරණය කර ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දේශන ශාලා ගොඩනැගිලි ආදිය පිළිබඳ මිස එහි නීති විරෝධී කිසිවක් සිදුවන බව නොවේ.
අසාද් සාලි මහතා යනු මෑත කාලයේ පාස්කු ඉරිදා ප්රහාරයටත් ප්රහාරකයන්ටත් විරුද්ධව පෙනී සිටි තැනැත්තෙකි. කෙසේ වෙතත් ඔහුට බෞද්ධ අන්තවාදීන්ගෙන් එල්ල වී ඇත්තේ ද ඉස්ලාම් අන්තවාදයට උපකාර කරන්නේය යන චෝදනාවය.
රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාට චෝදනාව වන්නේද ඉස්ලාම් අන්තවාදයට අනුග්‍රහ දක්වන්නේය යන්නය. සාලි මහතා සම්බන්ධයෙන් හෝ පාස්කු ඉරිදා ප්‍රහාර සමග සම්බන්ධතාවක් ඇති බවක් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ වලදී හෙළිදරව් වී ඇති බවක් ද දැනගන්නට නැත.
ඒ අනුව සාලි, රිෂාඩ්, හිස්බුල්ලා යන තිදෙනාටම සිංහල බෞද්ධ අන්තවාදින් එල්ල කරන චෝදනා සැලකිය යුතු වන්නේ හිතළු නැතහොත් මනස්ගාත වශයෙනි.
එම මහත්වරුන්ට විරුද්ධව සාක්ෂි කිසිවක් මෙතෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්නම් කළ යුතුව ඇත්තේ එම සාක්ෂි පදනම් කරගනෙ ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමය. එසේ නඩු පැවරීමෙන් පසුව අවශ්‍ය නම් ඔවුනට ධර වලින් ඉවත්වන ලෙස උසාවි නියෝගයක් ලබා ගන්නට ද පුළුවන. චෝදනා ඔප්පුවුවහොත් ඔවුන් ධුරවලින් ඉවත් කරන්නට පමණක් නොව ඔවුන්ට නිසි දඬවම් පමුණුවන්නටත් පුළුවන.
රතන හාමුදුරුවන් කරන්නට උත්සාය ගන්නේ එවැනි නීත්‍යානු කූල කටයුත්තක් නොවේ. සිවුරේ හයිය පෙන්නා කැලෑ නිතිය ක්‍රියාත්මක කරන්නට ගන්නා උත්සාහයකි. මැයි 31 දා රතන හාමුදුරුවන් උපවාසය ආරම්භ කළ අතර ජුනි 03 දා මල්වත්ත සහ අස්ගිරි මහානායක හාමුදුරුවරුන් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ලිපි ලියමින් ඉල්ලා තිබුණේ රතන හාමුදුරුවන්ගේ ඉල්ලීම ඉටු කරන ලෙසය. එනම් හිස්බුල්ලා, අසාද්සාලි, රිෂාඩ් බද්යුදීන් මහත්වරු එම ධුරවලින් ඉවත් කරන ලෙසය. මල්වත්ත අස්ගිරිය මහානායක ධුරවලට පවා යමක් සිදුවිය යුතු නීත්‍යානුකූල සහ සාධාරණ පිළිවෙළ පිළිබඳ අවබෝධයක් නැති බවත් මල්වතු අස්ගිරි මහනායක ධර යනු ඕනම අයකුට තමන්ගේ පදයට නැටවිය හැකි තනතුරු දෙකක් ද යන සැකයක් ඒ අනුව ඇතිවේ. කවර තත්ත්වයක් යටත් වුවද අසාද් සාලි මහතා සහ හිස්බුල්ලා මහතා ජුනි 03දා තම ධුරවලින් ඉල්ලා අසුවූහ. එය ඉල්ලා අස්වීමක් සේ පෙනුනද ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ බලහත් කාරීව ඔවුන්ගේ ධුර වලින් පලවා හැරීමය. සිවුරේ බලයත්, මල්වතු අස්ගිරි බලයත් ඊට දායක වූ බව පෙනෙන්නට තිබේ. තමන්ට ඉල්ලා අස්වීමට සිදුවීම පිළිබඳ හිස්බුල්ලා මහතා සහ සාලි මහතා කවර ආකල්පයක් දරන්නේ ද යන්න පැහැදිලි නැතත්, බැලූ බැල්මට පෙනෙන්නේ බොදු බලයට රටේ සාමාන්‍ය නීතිය පමණත් නොව විධායකයද යට වී ඇති බවය. ඒ අනුව ගලගොඩ අත්තේට ජනාධිපති සමාව ලැබීමත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට ඉල්ලා අස්වන්නට සිදුවීමක් එකම කාසියේ දෙපැත්තය.
සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනෙන්නේ බෞද්ධ අන්තවාදින් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව අනුව මෙරට සාමකාමී මුස්ලිම් ජනතාවට අන්තවාදින් ගේ සෙවණ ලබන්නට සිදුවෙන තැනට තල්ලු වෙමින් තිබෙන බවය.
කෙසේ වෙතත් මේ ලියන මොහොත වන තෙක් රිෂාඩ් බද්යුදීන් මහතා ඉල්ලා අස්වූබවක් හෝ අස්කරන්නට යෙදුන බවක් හෝ දැනගන්නට නැත. තමාගේ වරද ඔප්පු වන තුරු හෝ වරද ඔප්පු කරන්නට අවශ්‍ය සාක්ෂි සපයන තරු ඉල්ලා අස්නොවන්නට රිෂඩ් මහතා වගබලා ගැනීම රටේ නීතිය ඉක්මවා කැලෑ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමකි. එයම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමක් ද වේ.
රතන හාමුදුරුවන්ගේ උපවාසය පොහොට්ටුවේ අවශ්‍යතාව බව පෙනෙන්නේ රතන හාමුදුරුවන්ට සහයෝගය පිණිස පොහොට්ටු හිතවාදී ටී.එන්.ඒ. මන්ත්‍රි එස්. වියලේන්ද්‍රන් මහතා යාපනයේ දී උපවාසයක් ආරම්භ කිරීමත් සමිගිනි. ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රිවරුන් ද කීවේ රතන හාමුදුරුවන්ගේ ඉල්ලීමට සහය දෙන බවයි.
රජ මැතිඳුන්ට හේත්තු වී බලය ඇති තෙක් වාසි ලබාගෙන නැව ගිලෙන්නට යන විට වෙන අතක් බැලීම රතන හාමුදුරුවන් කවදත් අනුගමනය කරන සිල් පදයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඔහුට ලබා දී තිබුණ ජීප් රථය ඔහු ආපසු දුන්නේ ද රාජපක්ෂවරුන්ගේ පරාජය පැහැදිලි වූ පසුවය.
මුස්ලිම් දේශපාලඥයන් තිදෙනෙකු අල්ලාගෙන රතන හමුදුරුවන් මෙවරත් සූදානම් වන්නේ අමුතු සූත්තරයකින් පොරක් වන්නට ද යන සැකය ඇති වන්නේ එහෙයිනි. කෙසේ වුවද එක් එක් තැනැත්තන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ ජාතික සමගියත් නීතියත් රටත් වළපල්ලට යන තැනට කටයුතු සිදුවීම අනාගත පරම්පරාවේ අවාසනාවය.