සහරාන් හෂීම් ගැන 2017 සිට නිරන්තරයෙන් පොලිස්පතිතුමා දැනුවත් කළා – ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා

“රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙලා ඉන්නකොට මගේ මතකයේ හැටියට 2013/2014 අන්තවාදී කල්ලි ගැන තොරතුරු ලැබුණා. සහරාන් ගැන දැනගත්තා. අන්තවාදයක් තිබුනට ඒ වනවිට ප්‍රචණ්ඩ අන්තවාදයක් තිබුණේ නෑ. ප්‍රචණ්ඩ අන්තවාදය තමයි පසුව ත්‍රස්තවාදීන් බවට පත්වෙන්නේ. 2016 ඉඳන් සහරන්ගේ ෆේස්බුක්, වෙබ් අපි දවස ගානේ දැඩිව විමර්ශනය කිරීම ආරම්භ කළා,” යනුවෙන් නාලක සිල්වා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින්, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඒ බව සඳහන් කළේය.

සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ පොලිසිය 2016 සිට විමර්ශන පැවැත්වූ අතර, 2017 අගභාගයේ සිට ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2013/2014 වසරේ සිට පොලිසිය විමසිල්ලෙන් සිටි බව නාලක සිල්වා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පැමිණියේ රෝද පුටුවක් ආධාරයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *