පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු සජීවී විකාශය හදිසියේම අතරමග නතර කිරීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බැවින් එය දැඩි ලෙස හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කුමන කරුණක් නිසාදැයි යන්න පිළිබඳ ජනතාව අතර විශාල කුතුහලයක් සහ නොසන්සුන්තාවයක් හටගෙන ඇති පසුබිමක ඒ පිළිබද කරුණු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත කාරක සභාව තුළ සිදු කෙරෙන කරුණු සොයා බැලීම මාධ්‍යයට විවෘත වීම මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන  ඉදිරිගාමී පියවරකි. එමෙන්ම එය, ලෝකයේ  දියුණු රටවල් අනුව යමින් පාර්ලිමේන්තුවේ පමණක් නොව එහි කාරක සභාවල කටයුතු ද මාධ්‍යයට විවෘත කළ යුතු බවටත්, එමගින් පාර්ලිමේන්තුව තුළ මෙන්ම එහි කාරක සභාවලදී ද තම නියෝජිතයන් කටයුතු කරන ආකාරය ජනතාවට දැන ගැනීමට  අවස්ථාව ලැබෙන බවටත් අවධාරණය කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලූ මාධ්‍ය සංවිධාන දිගු කාලයක් පුරා ගෙනගිය අරගලයක් මල්පල ගැන්වුණු අවස්ථාවකි.

මෙසේ මැයි මස 29 වැනිදා මාධ්‍යයට විවෘත වූ  පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම, පියෝ ටීවී ඔස්සේ සජීවීව විකාශනය වූ නමුත් හදිසියේම එම සජීවී විකාශය අතරමග නතර කෙරුණු අතර ඉහළ දේශපාලන මැදිහත්වීමක් මත මෙය සිදුවූ බවට වාර්තා පළවී තිබේ. මෙම මැදිහත්වීම් දැඩිව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදාළ ප‍්‍රහාරය වළක්වාගැනීමට නොහැකිවීම සම්බන්ධව වගකිවයුතු  පාර්ශව හදුනාගැනීමට ජනතාවට ඇති අයිතියට බාධා නොකරන ලෙසත් මහජනතාවගේ දැන ගැනීම පිණිස පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසත් අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විරංජන හේරත්

කැඳවුම්කරු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *