ඔක්තෝම්බර් මාසයෙන් පසු ආරක්ෂක මණ්ඩලයට මාව කැඳෙව්වේ නැහැ – හිටපු පොලිස්පති පූජිත ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පසුගිය 2018 ඔක්තෝම්බර් මස මුල සිට තමා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවූයේ නැති බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කොට ඇතැයි වාර්තා වේ. තමා ආරක්ෂක මණ්ඩලයට නොකැඳවන බව හිටපු ආරක්ෂක ලෙකම්වරයා තමන්ට දැනුම්දුන් බවද පෙත්සමේ සඳහන්ය.

පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස තමන්ට බලපෑම් කළ බවත්,  එසේ ඉල්ලා අස්වන්නේ නම් විදේශ තානාපති සේවයක පත්වීමක් ලබාදීමට පොරොන්දු වූ බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා වෙනුවට ආරක්ෂක මණ්ඩලයට කැඳවීමට ජනාධිපතිතුමා කටයුතු කළ බවත් එම නිලධාරියා තමන්ගේ උපදෙස් නොගෙන කෙළින්ම ජනාධිපතිතුමාගේ උපදෙස් හා නියෝග මත ක්‍රියාකරන තත්ත්වයක් ගොඩ නැඟුන බවත් හිටපු පොලිස්පති වරයා කියයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන දැනුම්දීම් තමාට ලැබුණ ද එහි ඉක්මන් තත්ත්වය පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බවත්, එම වාර්තා වල සඳහන් වූයේ රාජ්‍ය බුද්ධි අංශ ඒ ගැන වැඩිදුරටත් ක්‍රියාකරන බව යැයි පෙත්සමේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ එම ලිපිවල පිටපත් ද සහිතවය. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියන්නේ, සිදුවීම ගැන පියවර ගැනීමට අවශ්‍ය තොරතුරු තමන්ට නොලැබුණු බවයි. කෙසේ වෙතත් එම තොරතුරු අවශ්‍ය නිලධාරීන්ට දැනුම්දුන් බව ද පොලිස්පතිවරයා කියයි.

ජනාධිපතිවරයා විසින් තමන් අනිවාර්ය නිවාඩු යවා ඇතත්, ඔහු තමා සම්බන්ධයෙන් විනය බලධරයා නොවන නිසා එම තීරණය නීතී  විරෝධි බව  ප්‍රකාශ කරන ලෙස හිටපු පොලිස්පති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *