මේ ආණ්ඩුව පත්වුණාම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇති වුණා. නමුත් බ‍ලාපොරොත්තු වුණ ජාතික සමගිය ඇති වුණේ නැහැ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ප්‍ර. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එයින් පසුව ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයත් ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද?

පි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන රජයත් වගකිවයුත්තනුත් දැන ගෙන හිටිය බව දැන් ප්‍රසිද්ධ කරුණක්. ඔවුන් එය වැලැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති බවයි පේනෙන්න තියෙන්නේ. මට පේන විදිහට, හිටපු ආරක්ෂක ලේකම් ද කියපු විදිහට මේ තරම් විශාල ප්‍රහාරයක් සිදුවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙලා නැහැ. පොඩි ඇටෑක් එකක් වුණොත් ඒකෙන් වාසියක් ගන්නයි බලාගෙන හිටියේ කියලා හිතනවා.

දැන් වුණත් ආණ්ඩුව ක්‍රියාකරන්නේ මේ වෙච්ච සිද්ධිය ගැන වගකීම දැරීමක්වත් තව දුරටත් එවැනි සිද්ධියක් සිදුවීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීමටත් වැඩිය ඒ වෙච්ච සිද්ධියෙන් දේශපාලන වාසියක් ගන්නෙ කොහොමද කියලා බලන එක. ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂ දේශපාලන පක්ෂත් උත්සාහ කරන්නේ 21 වැනිදා වෙච්ච සිද්ධියෙන් තමන්ට දේශපාලන වාසියක් ලබා ගන්නෙ කොහොමද කියලයි. ඒක සුදුසු පියවරක් නෙමෙයි.

ප්‍ර. 21 වැනිදා සිද්ධියෙන් පසුව සති තුනක පමණ කාලයක් යනකම් ජනතාව සබුද්ධිකබවක් පෙන්නුවා, අපි ජාතීවාදීන් නෙමේ. හැඟීම් වලට මුල්තැන නොදී බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බලන ජාතියක් කියලා. එහෙත් සතිතුනකට පස්සේ ජාතිවාදය ඇවිලෙනවා.

පි. ඒකෙනුත් පෙනෙන්නේ මම කලින් කියපු විදිහටම, මුලින්ම ආගමික නායකයන් ඉදිරිපත් වෙලා හදිසියේ ඇති වෙන්න තිබුණු ප්‍රතිචාරයක් වළක්වා ගත්තා. නැත්නම් ජාතිවාදී අරගලයක් මතුවෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. නමුත් පසුව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා කල්පනා කළා. මිනුවන්ගොඩ, කුලියාපිටිය, වාරි‍යපොළ  වගේ තැන් තැන්වල සිද්ධි ඇති වුණේ සුමාන තුනක් ගිහිල්ලා. ඒකෙන්ම පේනවා මේක තුළ දේශපාලන වාසි ගැනීමේ අරමුණක් තිබුණා කියලා.

ප්‍ර. එතකොට මේ සිද්ධියෙන් ආණ්ඩුවටත් දේශපාලන වාසියක් තියෙනවා නේද?

ඔව්. ආණ්ඩුවටත් දේශපාලන වාසියක් තියෙනවා. මම මුලින් කිව්ව විදිහටම මේක සුළුවෙන් වුණාම ඒකෙන් ප්‍රයෝජනය අරගෙන තමුන්ට අවශ්‍ය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කරලා ඊට වඩා දරුණු නීති ගෙන ඒමට හැකි බව ආණ්ඩුව හිතන්න ඇති. ඒ වගේම ඇමරිකාව සමඟ තියෙන සම්බන්ධය තරකර ගැනීමටත් මේක යොදාගන්න පුළුවන් කියලා ඒ අය හිතපු බවයි පෙනෙන්නේ.

මේ වෙනකොට පළාත් සභා හා ජනාධිපති යන මැතිවරණ දෙකට කාලය එළඹිලා තියෙනවා. මේ සිද්ධිය හේතු පාදක කරගෙන ආණ්ඩුව මේ මැතිවරණ දෙක කල්දාන්න උත්සාහ කරයි ද?

මම හිතන්නේ නැහැ රටේ මහජනතාවගේ දැන් තියෙන අවදිවීමේ හැටියට, රටේ තියෙන තත්ත්වයේ හැටියට එක මැතිවරණයක්වත් කල්දාන්න පුළුවන් කියලා. නමුත් උත්සාහ කරයි. මොකද, කිසිම පක්ෂයකට තමන්ට ජයගන්නියි කියලා විශ්වාස කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නෑ. එක්සත් ජාතික පක්ෂයටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, පොදු පෙරමුණටවත් ජයගත හැකියැයි විශ්වාස කරන්න පුළුවන් අපේක්ෂකයෙක් නෑ. ඔවුන් ඉදිරිපත් කරන නම් නොයෙකුත් හේතුන් නිසා අවලංගුවන තත්ත්වයක් තමයි තියෙන්නේ.

සමහරුන්ට ව්‍යවස්ථානුකූල හේතු නිසා යළිත් වරක් තරඟ කරන්න බහැ. සමහරුන්ට පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න නිසා තරඟ කරන්න නොහැකි වී තියෙනවා. ඒ ‍කොහොම වුණත් මැතිවරණය පවත්වන්න වෙයි. එවැනි අවධි තත්ත්වයක රටේ මහජනතාව ඉන්නවා.

ප්‍ර. ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේ අවස්ථාවක අවම වශයෙන් අවුරුද්දක විතර කැම්පේන් දියත් වෙනවා. සිරිමාවෝ රජයට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එ.ජා.ප.ය වසර දෙක තුනක ඉතාම සූක්ෂම මැතිවරණ ව්‍යාපාරයක් දියත් කර විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාගත්තා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනතා අරගලයක් දියත් වුණේ මාස ගණනක ඉඳලා. දැනට උදාවී තිබෙන තත්ත්වය අනුව මේ කෙටි කාලයෙන් වැඩි වාසියක් අත්වෙන්නේ කාටද?

පි. දැනට තියෙන ආණ්ඩුව ජාතික ආරක්ෂාව අතිනුත්, ආර්ථික කළමණාකරනය අතින් අසමත් ආණ්ඩුවක් බවට ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මීට ඉස්සරවෙලා තිබුණු ආණ්ඩුව ඉවත් කළේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැත. අධිකාරීවාදීයි කියලා. නමුත් ඒ අධිකාරීවාදයට පොඩි කැමැත්තක් දැන් දැන් ඇතිවෙලා තියෙනවා. ඒ සමඟම යහපත් අධිකාරීවාදයක් ලංකාවේ ඇති කරන්න පුළුවන් ද කියලා සැකයත් දැන් අතිවෙලා තියෙනවා. ඒ කියන්නේ සිංගප්පූරුවේ ලීක්වාන් යූ වගේ නායකයෙක් බිහි කරන්න පුළුවන්ද කියලා හිතන අයත් ඉන්නවා.

ප්‍ර. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහ කෙරුණේ අධිකාරීවාදයේ ඉහළට යාම  සමඟම ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදන් වූ නිසා නේද? මාධ්‍යවේදීන්ට නිදහසේ රැකියාව කරන්න බැරිවුණා. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරි වුණ නිසා නේද? ඒ නිසා එවන් තත්ත්වයකට මිනිසුන් නැවතත් කැමති වෙයිද?

පි. නැහැ. ඒ වගේ තත්ත්වයකට යළිත් ජනතාව කැමති වෙන්නෙ නෑ.

ප්‍ර. එසේ නම් පසුගිය මැතිවරණයේ දී ජනතාව ගත් තීන්දු හරි?

පි. මේ ආණ්ඩුව පත්වුණාම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇති වුණා. නමුත් ඇති වෙයි කියලා බ‍ලාපොරොත්තු වුණ ජාතික සමගිය ඇති වුණේ නැහැ. ජනතාවගේ ජන ජීවිතයට ආරක්ෂාව සපයන්නවත් මේ ආණ්ඩුව අසමත් වුණා. ඒ වගේම රට සංවර්ධනය කරා ගෙනයාමට හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකරගන්න බැරි වුණා. ඒ නිසා මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවා දැන් යහපත් ඒකාධිපතියෙක් අවොත් හොඳයි කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලත් නෑ.

ප්‍ර. උගත් බුද්ධිමත් සමාජය ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය ගැන කතා කෙරුවට, අගනුවරින් බැහැර පළාත්වල ජනතාව අතර පැරණි අධිකාරීවාදී  ක්‍රමය හොඳයි කියලා මතයක් ගොඩනැගිලා තියෙනවා නේද?

පි. මම නම් එහෙම ම තීරණයකට එන්න ඉක්මන් වෙන්නේ නෑ. පහුගිය ආණ්ඩුව කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා, විශේෂයෙන්ම මාධ්‍ය මර්ධනය,  සුදු වෑන් වලින් පැහැර ගැනීම (සුදු වෑන් සංස්කෘතිය) වගේ දේවල්වලට තිබුණ විරෝධය තවම තියෙනවා. ජාතීන් අතර සමගිය තමයි නැති වෙලා තියෙන්නේ. පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව ජාතීන් අතර සමගිය තවදුරටත් පරිහානියට පත්වුණා. ඉස්සර එල්.ටී.ටී.ඊ. එක මුල් කරගෙන දෙමළ විරෝධී ව්‍යාපාරයක් ඇති වුණා වගේම, තවුහිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදය මුල්කරගෙන මුස්ලිම් විරෝධයකුත් ඇතිවෙන තත්ත්වයක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ.

 

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *