ජාතිවාදය පතුරවන වෘත්තිකයන්ට වැඩ වරදි

තම වෘත්තීය බලය උපයෝගි කරගෙන ජාතිවාදය පතුරවන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.

එලෙස විධායක හෝ පරිපාලන බලය යොදා නොගෙන පෞද්ගලික මට්ටමින් හෝ ජාතිවාදය පතුරුවා හරින්නට යම් අයකු කටයුතු කර ඇති බවට පැමිණිලි ලද හොත් ඒ පිළිබඳ කොමිසම විසින්ම පොලීසියට පැමිණිලි කරනු ලබන බවත්, යම් හෙයකින් පොලීසිය හෝ අදාළව කටයුතු කළ යුතු ආයතනය ඒ සම්බන්ධව කටයුතු නොකළ හොත් ඒ රාජ්‍ය ආයතනයේ නිලධාරීන්ට විරුද්ධවද කටයුතු කිරීමට සිදු වනු ඇති බවත්, මානව හිමිකම් කොමිසමට මේ වන විටද විවිධාකාර පැමිණිලි ලැබී ඇති බවත්, පසුගිය වසරේ පමණක් පැමිණිලි 8000කට අධික ප්‍රමාණයක් ලැබුණු බවත් පැවසූ ඒ මහත්මිය මේ වසරේදීද පැමිණිලි 8000ත් 10,000ත් අතර සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයිද විශ්වාසය පළ කළාය.

ජන ජීවිතයට බලපෑම් එල්ල වන ආකාරයේ සියලු ප්‍රකාශ නිකුත් කරන අයට විරුද්ධව නීතිය තරාතිරම නොබලා කටයුතු කරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටි බවද කී ඇය නීතිපති දෙපාර්තමේන්තුවට පවා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිඛිතවම දන්වා යවා ඇති බවද ප්‍රකාශ කළාය. මානව හිමිකම් කඩ වූ බවට කොමිසම විසින් නිර්දේශ කළ හොත් අගතියට පත් තැනැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *