|

තේරීම් කාරක සභාවට සාක්ෂි දෙන අය නොකිව යුතු දේ ගැන කලින්ම උපදෙස්

පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වු බැවිනි. සමෘද්ධි දීමනාව පවුල් ලක්ෂ 06කට අලුතින් ලබාදීමේ නිල උත්සවය අම්පාරේදී එදින පස්වරුවේ පැවැතිවීමට තිබු හෙයින් දිනක වැඩ කටයුතු උදේ වරුවේ සම්පූර්ණ කිරීමට අගමැතිවරයා කටයුතු සැලසුම් කොට තිබිණී.

ඇමති දයා ගමගේ  ගේ අමාත්‍යංශය යටතේ සමෘද්ධි පවතින හෙයින් අදාළ නිල උත්සවය අම්පාරේදී පැවැත්වීමට සැලසුම් කොට තිබිණි.

“එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති බැරි අයට ජන සවිය  දුන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. ඒත් 94 ඉඳලා 2015 දක්වා තිබුණු ආණ්ඩුව සමෘද්ධි දුන්නේ එයාලගේ පක්ෂ වල අයට විතරයි. එජාප අයට සමෘද්ධි දුන්නේම නැහැ. ඒත් මේ පාර අපි එජාපය ප්‍රමුඛව දුගී සියලු දෙනාට සමෘද්ධි දෙනවා. පසුගිය ආණ්ඩුව සමෘද්ධිය දේශපාලනයටත් යොදා ගත්තා. අපි ඒ පහත් වැඩෙත් නැවැත්තුවා. එදා දුප්පත් මිනිස්සුන්ට සමෘද්ධි දීලා බය කරලා දේශපාලන වාසි ලබාගැනීමේ ක්‍රමය අපි නැවැත්තුවා. දින 52ක කුමන්ත්‍රණය හා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වගේ දැවැන්ත ජනතා මෙහෙවරක් කරන ලෝකයේ එකම ආණ්ඩුව අපි විතරයි.” අගමැතිවරයා සමෘද්ධි ගැන දීර්ඝ විග්‍රහයක් කලේය.

“ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පලමු දිනේම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා” ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේය.

“ ජාතික ආරක්ෂාවට අදාල හා ඉදිරි ආරක්ෂක සැලසුම් ගැන තේරීම් කාරක සභාවේදී කිසිම දෙයක් එළි නොකරන ලෙස කාරක සභාව හමුවේ උත්තර දෙන සියලු දෙනාට දන්වලයි තියෙන්නේ.” අගමැතිවරයා කීය.

“ඒත් මේ තේරීම කාරක සභාව ජාතික ආරක්ෂක තත්වයට අභියෝගයක් බව විපක්ෂයට කත් අදින ජනමාධ්‍ය හා වෙබ් සයිට් රටට කීම තුලම ඔවුන්ගේ නොමග යැවීම පැහැදිලි වෙනවා” නවීන් දිසානායක කල විග්‍රහයට කාගේත් අනුමැතිය පළ විය.

“මේ කාරක සභාවේදී එළිවෙන බොහෝ දේවල් මිනිස්සු අහල පුරුදු තොරතුරුයි. ඒවා මාධ්‍යවලින් පළවූ දේවල්. ඒත් ඒ තොරතුරු නිල වශයෙන් තහවුරු කර ගැනීම මෙතනදී සිදු වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ ”කාරක සභා නියෝජිතයෙකුද වන රවි කරුණානායක කීවේය.

“ එදා ශිරානි බණ්ඩාරනායක ගැන පත් කල කාරක සභාවේ හිටියේ අට පාස් අයයි. ඒත් මේ කාරක සභාවේ ලංකාවේ ඉන්න හොදම ආරක්ෂක විශේෂඥයා වෙන ෆීල්ඩ් මාෂල් ෆෝන්සේකා හා ඉතා උගත් පිරිසක් සිටීම ඉතා වටිනවා. මිනිස්සු ඒකේ සංයුතිය හා මේ ක්‍රියාවලිය ගැන ඉතා සුබවාදී තැනක දැන් ඉන්නේ. ”චමින්ද විජේසිරි කී දේ කාගේත් අවධානයට යොමු විය.

“ මේ කාරක සභාවට අර ජනාධිපතියි ගෝඨාභයයි මරන්න කුමන්ත්‍රණ කලා කියල මාස ගණනක් ඇතුලෙ ඉදල ඇප ලබපු ඩී.අයි.ජී. නාලක සිල්වාත් ගෙන්නන එක වටිනවා නේද” හේෂා විතානගේ ප්‍රශ්න කලේය.

“ ඔව්. එයා ගේන එක වටිනවා.මොකද 2018 ජුලි වල නාලක සිල්වා ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙස සහරාන් ගැන හොදට සොයල ඔහු කොටු කරන්න වරෙන්තුවකුත් අරන් තියෙනවා.ඊට පස්සෙයි ඒ  ඩී.අයි.ජී. හිර කරල තියෙන්නෙ කියල ආරංචියි. ඒ නිසා සහරාන් ඇල්ලීම යටපත් වූ බවටත් තොරතුරු තියෙනවා. ෆොන්සේකාත් ඒක තහවුරු කළා. ” රවි කරුණානායක කීවේය.

“නාලක සිල්වා රාජකාරී මට්ටමින් බී වාර්තාවකින් සහරාන් රට පැනීම වළක්වන “ නිල් වරෙන්තුවක්” ලබා ගන්නත් උත්සහ කරල තියෙනවලු. ඒත් එයා ඇතුලට ගත්ත නිසා ඒ ඔක්කොම නතර වුණාලු. ඒ අතරෙයි සහරාන් සිරියා ගිහින් පුහුණු වෙලා ඇවිත් මේ අමානුෂික ප්‍රහාරය එල්ල කරල තියෙන්නේ කියලත් ආරංචියි. ” නවීන් දිසානායක කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වය.

“ සමහරු කතානායකතුමා පත් කල මේ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්න කරනවා. එංගලන්තෙ 2013 නීතිය හා ආරක්ෂක පනත යටතේ බුද්ධි තොරතුරු වලට අදාලව පාර්ලිමේන්තු කමිටුවක් පත් කරල තියෙනවා. ඇමෙරිකාවේ සී.අයි.ඒ වගේ බුද්ධි අංශ ඇවිත් සෙනෙට් හා කොංග්‍රස් එකට සාක්කි දෙනවා, උත්තර බදිනවා. ඉතිං තව මොන කතාද ” අගමැතිවරයා කීවේ ඔහු සතු ජාත්‍යන්තර දේශපාලන දැනුම ඔස්සේය.

“මේ තේරීම් කාරක සභාව පත් කරලා කතානායකතුමා තමන්ගේ එඩිතර බව යලිත් සනාථ කලා. දින 52 කුමන්ත්‍රණයේදී එතුමාට තිබුණු එඩිතර බව දැන් තවත් වැඩිවෙලා වගෙයි. ” රවි කරුණානායක කීවේ එවැන්නකි.

“මේ තේරීම් කාරක සභාවට මහින්ද හා ගෝඨලත්  යටින් කැමතියි කියලයි ආරංචි. මොකද මේකෙන් එළිවෙන්නේ තොරතුරු ලැබිලත් රට රකින්න බැරිවෙච්ච ආරක්ෂාව භාරව හිටපු අය ගැනනේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

“ ජනාධිපතිතුමා හීනෙන් බයවෙලා වගේ ඇමතිකම් 03ක් දුන්නා ඇයිද දන්නෙ නෑ නේද” චමින්ද විජේසිරි විමසුවේ අගමැතිගෙනි.

“ අපි ලිස්ට් එක අප්‍රේල් වල යැව්වේ. ඒත් ෆොන්සේකාට, රංගෙට හා ස්වාමිනාදන්ටයි ශ්‍රීලනිපෙ 06 දෙනාටයි මේ පාරත් ඇමතිකම් දීල නෑ. ” අගමැති කීය.

“නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්න බැරිනම් හිටපු කෙනා මද්දුම බණ්ඩාරට දෙන්න වෙන නිසා එයාට තව වගකීමක් පවරල දැන් ඔයාට වැඩ වැඩි නිසා  නීතිය සාමය වගකීම් දරන්න අමාරුයි කියන පණිවිඩය මෙතැනදි ලබා දුන්නා කියලයි හිතෙන්නේ ” එජාප නීති නිලධාරියෙක් කල විග්‍රහයට කාගෙත් එකඟත්වය පළවිය.

“ හිටපු පොලිස්පතිත් උසාවි ගිහින්. ඒ අස්සේ රතන හාමුදුරුවෝ ක්ෂණිකව නින්දෙන් ඇහැරිලා ඇයිද දන්නේ නෑ නේද” හේෂා විතානගේ විමසුවේ සිනා මැදය.

“ගලබඩ හිමි ඇතුලේ හිටපු කාලේ රතන හිමි නිහඬව හිටියා. අර උන්නාන්සේ එළියට ආපු ගමන් දෙන්නගෙ තරඟෙටයි රතන හිමි නින්දෙන් ඇහැරුණේ කියලයි මට හිතෙන්නේ” මුජිබර් රහුමාන් කළ විග්‍රහය කාගෙත් සිත් ගත්තේය.

“රටේ ආරක්ෂාව ආරක්ෂක අංශ තහවුරු කරල තියෙන්නේ. දැන් ආර්ථිකය ගොඩ නැගීම, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ලංකා, ගම් උදාව, සමෘද්ධි ඇතුලු රට ගොඩනගන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩ වලට දැන් උපරිම කැපවීම කාගෙත් වගකීමයි.”  අගමැතිවරයා පැවසුවේ කාගෙත් අනුමැතිය ඊට හිමිවන අතරේය.

“ දින 52 ක හොර ආණ්ඩු හැදුවා. ත්‍රස්ත ප්‍රහාර වලට පාරත් කැපුවා. ජාතිවාදී කෝලහල කරන්නත් උත්සහ කලා.බැරිම තැන අසරණ දරුවන් භීතියට පත් කරන්න පාසැල් වල බෝම්බ මළු තියල තිරිසන් ගතිත් පල කලා. ඒත් ආණ්ඩුව ඒ සියළු දේශද්‍රෝහී ක්‍රියා පාලනය කරල රට තුල සාමය ඇති කලා.විශ්වාසභංගෙන්වත් ආණ්ඩුව වැටේවිද කියලයි දැන් බලන් ඉන්නේ. ” මුජිබර් රහුමාන් කීවේය.

“ ආණ්ඩුව වට්ටන්න විශ්වාස භංග කීයක් මෙයාල ගෙනාවද? රිෂාඩ්ගෙ විශ්වාසභංගයේදී එයා දෙන සාක්කි අනුව එයාගෙ අනාගතය තීන්දු වේවි.අපි විනිවිදවයි වැඩ කරන්නේ. දින 52 කුමන්ත්‍රණයේදී ඒක අල්ලන් ඉදල දිනපු අපිව වට්ටන්න බෑ. සමහර පත්තරයි ජනමාධ්‍යයි බලන් ඉන්නෙ ආණ්ඩුව වැටෙනකන්. ඒක වෙන්නෙත් නෑ ඒකට මම ඉඩ තියන්නෙත් නෑ. ” අගමැතිවරයා කීවේ දැඩි ස්වරයෙනි.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *