මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිදහස් – උණ්ඩ මාමණ්ඩිගේ

ආරක්ෂක අංශ විසින් අද (29) උදැසන අත්අඩංගුවට ගනු ලැබූ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ඊයේ (29) පස්වරුවේ නිදහස් කර ඇත. බියගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මල්වාන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසේ තිබී බෝර වර්ගයේ තුවක්කුවක උණ්ඩ 93ක්
හමු වූ අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් එම ස්ථානය පුළුල් පරීක්ෂාවකට ලක් කර ඇති අතර පතුරම් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ ඇති ස්ථානීය දැනුමද එහිදී පරීක්ෂා කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ නිවසේ අයගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම උණ්ඩ සම්බන්ධයෙන් හසන් මහතාගේ දැනුවත්භාවයක් නොමැති බවයි.

ඔහුගේ දරුවෙකු මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ එම බෝර වර්ගයේ ගිනි අවියට අදාළ උණ්ඩ හසන් මහතාගේ බිරිඳගේ පියා සතුව තිබූ ඒවා බවයි.

” මේ ගෙදර අපේ සීයාගේ. අම්මගේ තාත්තගේ. අපේ සීයාට බෝර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සියා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සියා මියගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

සීයා ඒ තුවක්කුවට අදාල උණ්ඩ වහලේ සඟවලා තිබුනා කියලා අපි කව්රුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුනා එක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උන්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කිසිවකුත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ. ”

ඒ අනුව අලි හසන මහතාගේ නිර්දෝෂිභාවය සනාථ වීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට බියගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ක්‍රියාකර තිබේ.

ලංකා නිවුස් වෙබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *