ත්‍රස්ත ප්‍රහාරයෙන් විදෙස් ආයෝජකයෝ මෙරට හැරගියේ නෑ – සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර

මෙරටට පැමිණි ආයෝජකයන් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් අධෛර්යවත්වී රට හැර යාමට හෝ තමන්ගේ ආයෝජන ආපසු ගෙන යාමට කටයුතු කර නැති බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

යෝජිත ව්‍යාපෘති සියල්ල නියමිත පරිදි ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා,

‘අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවත් අපත් සමඟ කටයුතු කළ ආයෝජකයන්ට අධෛර්යමත් නොවී කටයුතු කරන්න අවස්ථාව දීමට අපේ අමාත්‍යාංශයට හැකියාව ලැබීම ගැන මා සතුටු වෙනවා. අප ආරම්භ කළ ව්‍යාපෘති කිහිපයක් ම තිබෙනවා. එයින් හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මේ වසරේ අග භාගයේ අරම්භ කිරීමට නියමිතයි. රටේ ඇතිවූ සිද්ධීන් හේතුවෙන් එම ව්‍යාපෘතියේ කටයුතු කටයුතු අකර්මන්‍ය වීමක් සිදුවී නෑ. හම්බන්තොට ආරම්භ කළ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු ද ඉතා යුහුසුළුව සිදුවෙනවා. ලබන වසරේ අගෝස්තු මාසය වනවිට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා.

එසේම, හම්බන්තොට තෙල් පිරිපහදුව පිළිබඳ පරිසර අධ්‍යයන වාර්තාව සකස් කරමින්, පසු පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර, එම ආයෝජකයන් එහි මූලික කටයුතු සිදුකරගෙන යනවා. මේ ආයෝජකයන් රටේ ඇතිවූ තත්ත්වය නිසා අධෛර්යමත් වී රට හැර යන්නවත් ඒ ආයෝජන ආපසු අරගෙන යන්නවත් කටයුතු කර නෑ. ඒ ගැන අපි සතුටු වෙනවා.

ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව 80%ක් අපනයනය ඉලක්ක කර ගත් ඩොලර් බිලියනයක අති නවීන වානේ කර්මාන්ත ශාලාවක් සඳහා අනුමැතිය ඉල්ලා අපි පසුගිය දිනවල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳ යම් විවාදයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් එම වානේ කර්මාන්ත ශාලාව සඳහා මූලික පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කරන්න අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය වෙත එම වගකීම පැවරී තිබෙනවා. පරිසර අධ්‍යයන වාර්තාවට යටත්ව තමයි මෙම ව්‍යාපෘතියට අවස්ථාව ලබා දෙන්නේ. ඩොලර් බිලියනයක ආයෝජනයක් කියන්නේ සුළුපටු ආයෝජනයක් නෙවෙයි. අති නවීන තාක්ෂණයත් සමඟ බද්ධ වූ මෙවැනි වානේ කර්මාන්තශාලා අපේ රටේ නැහැ. ජපානය, අමෙරිකාව වැනි රටවල ප්‍රධාන නගරවල තමයි මෙවැනි කර්මාන්තශාලා පවතින්නේ. පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ලෝකයේ බිහිවන්නේ ඉතාම කලාතුරකින්. මෙම කර්මාන්ත ශාලාවේ මූලික පරිසර අධ්‍යයන වාර්තාව සකස් කිරීම අපි කඩිනමින් ආරම්භ කරනවා.

මෙය රැකියා 6000කට ආසන්න ප්‍රමාණයක් බිහිවන කර්මාන්ත ශාලාවක්. එම කර්මාන්ත ශාලාව නිසා නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ වගේම මෙය අපනයනය ඉලක්ක කර ගත් නිෂ්පාදන ව්‍යාපෘතියක් නිසා රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙවැනි වානේ කර්මාන්ත ශාලා විශාල වශයෙන් තිබෙන්නේ චීනයේ. නමුත් අද චීනයෙන් අමෙරිකාවට වානේ අපනයනය කරද්දී විශාල වශයෙන් බදු මුදල් අය කෙරෙනවා. ඒ නිසා අප වැනි රටකට හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා මෙවැනි කර්මාන්ත ශාලා රට තුළ නිර්මාණය කිරීම හරහා අමෙරිකාවට ඍජුව ම වානේ අපනයනය කර රටට විශාල ආදායමක් උපයා ගන්න. මෙවැනි කර්මාන්ත ශාලාවලට වැඩි ඉඩකඩක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ ඒ නිසයි. මෙවැනි දැවැන්ත කර්මාන්ත ශාලා රටට අවශ්‍යයි. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් දියුණු වුණේ මෙවැනි කර්මාන්ත ශාලා නිසයි. හම්බන්තොට වරාය ආදායම් ලබන තත්ත්වයට පත් කරන්න නම් ඒ ආශ්‍රිතව මෙවැනි දැවැන්ත කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සිදුවිය යුතුයි. ඒ නිසා මේ ආයෝජනය අපේ රටේ ආර්ථිකය නව දිශාවකට යොමුකරන ආයෝජනයක් මෙන්ම හම්බන්තොට වරාය සක්‍රීය වරායක් බවට පත් කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් බවත් ප්‍රකාශ කරනවා’ යැයි ද පැවසීය.

සිතාරා සේනානි

ඡායාරූපය- වාසිත පටබැඳිගේ 

දිනමිණ