ක්ෂණිකව එල්ලවිය හැකි ත්‍රස්ත තර්ජන 99%ක් අවසන් – ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් ශාන්ත ‍කෝට්ටෙගොඩ

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ තර්ජනය සියයට අනුනවයකින් අවසන් බවත් ත්‍රස්ත අවදානම මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය අංශ එකතුව දිගුකාලීන සැලසුම් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් ශාන්ත ‍කෝට්ටෙගොඩ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

ක්ෂණිකව එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන සියයට අනුනවයකින් අවසන් වුවද නිදැල්ලේ සිටින එක් ත්‍රස්තවාදියකු හට විශාල විනාශයක් සිදුකළ හැකි බැවින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන, දිගුකාලීන සැලසුම් යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් ශාන්ත කෝට්ටෙගොඩ මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාකිරීම පිණිස පත්කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ඉදිරිපත් කළ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ මෙම සිදුවීම්වලට සම්බන්ධ බුද්ධි තොරතුරු 2014 වසරේ සිට වාර්තා වී ඇති බවත් අවම වශයෙන් අදාළ සංවිධාන තහනම් කිරීමට හෝ පියවර ගත්තේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයන් සිදු නොවන්නට ඉඩ තිබූ බවයි.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කටයුතු කරන අතර ඒ මහතා ඊයේ (29) දින නොසිටි හෙයින් වැඩබලන සභාපති ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍ය රාවුෆ් හකීම් අමාත්‍ය රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන පිරිස කාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති. එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඊයේ (29) පැමිණ සිටියේ නැත. එමෙන්ම පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක) ජගත් ගජවීර ආරච්චි මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මෙම විශේෂ කාරක සභාව පත්කිරීමට හේතු සාධක වූ යෝජනාව වැඩබලන සභාපති ජයම්පති වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කළේය.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර

දිනමිණ