වඳ සැත්කම් කතාවේ කෙළවර ගොඩනැගිලි ගනුදෙනුවක් ! – ලංකා නිව්ස් වෙබ්

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමේ කෙළවර ඇත්තේ කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳ ගනුදෙනුවක් බව වාර්තා වේ.

 

අයථා වත්කම් විමර්ශනය

සාෆි වෛද්‍යවරයා විසින් මෑතකදී කුරුණෑගල වැව රවුමේ ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබිණි. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත්ව සිට ඇති අතර ඔවුන් කුරුණෑගල සිංහල වෙළඳ සංගමය නියෝජනය කරන පිරිසක් බවත් පැවසේ.

ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා දෙපාර්ශ්වය තරගයක නියැළෙද්දී රුපියල් කෝටි 13ක පමණ මුදලකට සාෆි වෛද්‍යවරයා විසින් එය මිලදී ගෙන තිබේ. මෙහිදී උරණ වූ අනෙක් පාර්ශ්වය වෛද්‍යවරයාගෙන් පළිගැනීම සඳහා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහාය ඉල්ලා ඇත. එකම පාසලේකමට ඊට එකඟ වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අණින්, සාෆි වෛද්‍යවරයා අයථා ලෙස වත්කම් උපයා ඇති බවට චෝදනාවක් යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහෙත් අයථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් නොවන අතර එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමකි. එම චෝදනා යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණ බලය ඇත්තේ ද පොලිසියට නොව අල්ලස් කොමිසමටය. එහෙයින් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පොලිසියට නොවුණි.

4000 කතාව පැළකිරීම

ඒ අනුව, වෛද්‍යවරයා කොටු කරගැනීම සඳහා එතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු, විමර්ශනයක් ද සිදු නොවුණු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳකිරීමේ චෝදනාව දිවයින පුවත්පත හරහා සමාජගත කෙරුණු අතර එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය චන්න ජයසුමන සහ රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර විසිනි.

ඉතාම සංවේදී කරුණක් පිළිබඳව බරපතළ සැකයක් අවුළුවා, පැමිණිලි කරන ලෙස මාධ්‍ය හරහා ජනතාවට ආයචනා කරනු ලදුවත් තවමත් දින දෙකක් තිස්සේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ පැමිණිලි 51කි. මවුවරුන් 4000ක් වඳකිරීමේ කතාව අතේ රෝලක් බව දැනටමත් ඔප්පු වී තිබේ.

කෙසේවෙතත් නාටකය තවමත් දිග හැරෙමින් පවතින අතර සිංහල ජාතිවාදය අවුස්සා ඵල නෙළීමේ බලාපොරොත්තුවෙන් සිටින සියලුම පාර්ශ්ව නිල මැස්සන් මෙන්, රුධිර පිපාසිත බලවේග වැම්පයරයන් මෙන් කුරුණෑගල සිදුවීම දෙසට ඇදෙමින් සිටිති.

සියාබ්දීන් සාෆි වෛද්‍යවරයා අයථා මුදල් ඉපයීමක් හෝ වෙනත් අපරාධයක් කර ඇත්නම් ඔහුට දඬුවම් හිමිවිය යුතු බවට කතා දෙකක් නැත. එහෙත් මේ සම්පූර්ණ කතාවට ම පදනම වී ඇත්තේ හුදු ව්‍යාපාරික ඊර්ෂ්‍යාවක් සහ එය ජාතිවාදී පදනමින් භාවිතා කිරීමක් වනවිට සමස්තය දෙස වඩා විමසිලිමත් ඇසකින් බැලිය යුතු බව යළිත් සිහිපත් කළ යුතුය.

මේ කරුණු සියල්ල ලංකා නිව්ස් වෙබ් අප හෙළි කරන්නේ වගකීමෙන් යුතුව වන අතර මේවා වැඩිබර සාක්ෂි මත හෝ සාධාරණ සැකයෙන් ඔබ්බට හෝ යන දෙයාකාරයෙන් අවශ්‍ය අකාරයකට ඉදිරියේදී ඔප්පු කෙරෙනු ඇත. ජාතිවාදී ප්‍රවාහයක පහළට ගසාගෙන යාම වඩා පහසු සහ වඩා ජනප්‍රිය නමුත් අපි කිසිදා එවන් තැනකට නොවැටෙනා බව යළිත් අවධාරණය කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *