උදයංගගේ ගිණුමට රටවල් 4කින් මුදල් – නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

මිග් යානා ගනු දෙනුවට අදාළව සිදු කරන විමර්ශනයේ දී පැහැදිලි වන්නේ උදයංග වීරතුංග යන අයගේ මෙරට ගිණුමට විදේශ රටවල් හතරකින් මුදල් ප්‍රේෂණය වී ඇති බව අනාවරණය වන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

සයිප්‍රස්, පැනමාව ඇතුළු රටවල් මුදල් ප්‍රේෂණය වීම්වලට අදාළව ඉල්ලා සිටි ලේඛන මෙරටට එවා ඇති බවත් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් කියා සිටි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා තවත් රටවල් දෙකක ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලැබීමට නියමිත බවත් කියා සිටියේය. සයිප්‍රස්, පැනමා වැනි රටවලින් මුදල් එවා ඇති සමාගම්වල අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කැර ඇත්තේ යුක්රේන ජාතිකයන් බවට අනාවරණය වී ඇති බව කියා සිටි උදාර කරුණාතිලක මහතා සිංගප්පූරුවේ පිහිටි බෙරිමිසා සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සිද්ධියට අදාළව සැකකරුවන් වන ටී .එස් .ලී.එන්. ජේ. ලේක් හිමි, පෙරගඩොව් යන අය සම්බන්ධයෙන් නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව වලට අනුව රතූ නිවේදනයක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රකාශ කළ අතර කුර්දිර්කොව් යන සැකකරු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා මෙරටට උදර්පනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඩුබායි රාජ්‍යයේ පවරා ඇති නඩුව ලබන ජුලි මස 21 වැනිදා කැදවීමට නියමිත බවත් එම නඩුව නිල මැදිරියේදී කැදවීම් සිදු කරන බවත් කියා සිටි අධිනිතිඥ උදාර කරුණාතිලක මහතා එය කුමන කාරණයක් හේතුවෙන් සිදු කරනවාද යන්න නොදන්නා බවත් කියා සිටි අතර ඔහු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ සිදු කර ඇති විමර්ශන සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

මේ නඩුවේ ප්‍රධාන සැකකාර හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අයගේ ගිණුමකට පැමිණි විදේශ මුදල් සම්බන්ධයෙන් මෙන්ම බිරිය, මස්සිනා, නැන්දම්මාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරමින් පවතින බව කියා සිටි කරුණාරත්න මහතා උදයංග වීරතුංග බිරිය වන උමා ඉන්දුමතී මනම්පිටිය යක අයගේ සම්පත් බැංකුවේ ගිණුම් 8කට අවස්ථා 33 දී මුදල් ලැබීම, ගෙවීම් සීදූව ඇති බවත් නැන්දණියට අයත් ගිණුමකට මේ වනවිටත් සක්‍රිය ලෙස මුදල් ලැබෙමින් පවතින බවත් අධිකරණයට ප්‍රකාශ කළ කරුණාතිලක මහතා ඒවා පරීක්ෂා කිරීමට බැංකු වෙත යොමු කරන්නැයි ඉල්ලා සිටි ඉල්ලීම් වලට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. සිද්ධිය අදාළව සැකකටයුතු ඩොලර් ප්‍රේෂණය වී ඇති බවත් මුදල් ඩොලර් වශයෙන් මෙරටට එම ගිණුමට එවන ලද සයිප්‍රසයේ ආයතනය හදුනාගෙන ඇති බවත් අධිකරණයට කියා සිටි නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා උදයංග වීරතුංග යන අයගේ නැන්දණිය වන ඉන්ද්‍රාණි සහ මස්සිනා වන ලෙලුම් ප්‍රනාන්දු යන අයගේ ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ  (28) කැඳවු අවස්ථාවේ ඒ මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශන ප්‍රගතිය ලබන අගෝස්තු මස 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.

සුභාෂිණී සේනානායක

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *