මෝදී

යුක්රේන්  රටටත් කොහොමින් කොහොම හරි ලංකාවෙ මට්ටමට ආවා වගේ, කියා ඉස්කෝල මහත්තයා කීවේ, බලමින් සිටි පුවත්පත පසෙකින් තබමිනි.

මොකද ඉස්කෝලේ මහත්තයෝ යුක්රේන රටේත් අයි එස්  කාරයෝ පල්ලි, හෝටල් වලට ගහලද?  කියා මුදලාලි ඇසුවේය.

තාම නම් එච්චර ලොකු අපරාධයක් ඒ රටට වෙලා නැහැ.  හැබැයි අනාගතයේදී වෙන්න පුළුවනි. පල්ලිවලට අයිඑස් ප්‍රහාර  විතරක් නෙමෙයි යුක්රේනයේත් කළු ජුලි එන්න  පුළුවනි.  71 කැරැල්ල 88- 89 වෙන්නත් පුලුවනි. දිගන , අලුත්ගම සිද්ධි වගේ දේවල් වෙන්නත් පුළුවනි. කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඉස්කෝලේ මහත්තයත් සුමනේකාරයා වගේ අනාවැකි කියන්න පටන් අරන් වගේ. මොකද මේ දවස්වල නැකත්  සාත්තරේ වත් ඉගෙන ගන්නවා ද කියා මුදලාලි ඇසුවේය.

මේ වගේ දේවල් අනුමාන කරන්න නැතත් සාත්තර ගුප්ත විද්‍යාවන් ඉගෙන ගන්නම ඕනෙ නැහැ  මුදලාලි අපේ අත්දැකීම් වලින් අනාවැකි කියන්න පුළුවනි කියා එවිට ඉස්කෝලේ  මහත්තයා කීවේය.

මොකක්ද එතකොට අපේ අත්දැකීම් අනුව යුක්රේන් අනාගතතේ  ගැන කියන්න පුළුවන් තරමට සිද්ධ වෙලා තියෙන්නේ? කියා මුදලාලි ඇසුවේය.

හතලිස් ගනන් වල නිදහස් ලැබුණු වෙලාවේ පටන් අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ අපේ රටේ කීප වතාවක් වෙච්ච දේ මේ ඊයේ පෙරේදා යුක්රේනේ  සිද්ධ වෙලා ඉස්කෝලේ මහත්තයා කීවේය.

මොකක්ද වෙලා තියෙන්නේ ? රටේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරලද? සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරල ද? පුස්තකාලයක් ගිනි තියලද? කොල්ලො මරලා පාර අයිනේ දාලද? සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙනත් ද? විධායක ජනාධිපතිකමක්  හදලා ද ? සුදුවෑන් එවලද? මුදලාලි ඇසුවේය

ඒ හැම දෙයක්ම වෙන්න  පුළුවන් විදිහට වාතාවරණයක් හැදිලා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඉස්කෝලේ මහත්තයෝ අනාවැකි නොකියා වෙලා තියෙන දේ  පැහැදිලිව කියනවද  මුදලාලි ඇසුවේය.

අමුතුවෙන් මොකවත් වෙලා නැහැ මුදලාලි රටේ විකට නළුවෙක් යුක්රේන ජනාධිපති වෙලා ඉස්කෝලේ මහත්තයා කීවේය.

එතකොට ඉස්කෝලේ මහත්තයා කියන්නේ නිදහසින් පස්සෙ අපේ රටේ පත්වෙච්ච නායකයො ජෝකර්ල කියලද?මුදලාලි ඇසුවේය.

එක අතකට එහෙම කියන එකත් වැරදි තමයි. නිදහසෙන් පස්සෙ අපේ රටේ දේශපාලනය ප්‍රහසනයකටත්  සුඛාන්තයකටත් වඩා ඛේදාන්ත නාට්‍යයක් වෙලයි තියෙන්නෙ කියා ඉස්කෝලෙ මහත්තයා කීවේය.

ඉස්කෝලේ මහත්තයෝ මට ඔය නාට්‍ය වචන තේරෙන්නැහැ. කියන දෙයක් සරලව තේරෙන්න කියන්න කියා මුදලාලි කීවේය.

නාට්‍යවලදී ප්‍රහසනය කියන්නේ හිනා කතා වලට සුඛාන්ත කියන්නේ සියල්ල සතුටින් කෙළවර වන කතා, ඛේදාන්ත කියන්නේ රෝමියෝ ජුලියට්  වගේ මරණ වලින් කෙලවර වෙන නාට්‍යවලට ඉස්කෝල මහත්තයා පැහැදිලි කළේය.

නාට්‍ය කලාව එහෙමයි කියමු. ඒත් නාට්‍යයයි අපේ රටේ දේශපාලනයෙයි සම්බන්ධ මොකක්ද? මුදලාලි ඇසුවේය.

ඉස්සර රජ කාලේ අපේ රටට විදේශිකයෝ පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, වගේ නම් කිව්වා කියල මුදලාලි අහල තියෙනවද ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

ඔව්,ඔව්, මමත් ඒ ගැන දන්නවා. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා සිංදුවකුත් තියෙනවා මුදලාලි කීවේය.

නිදහස් ලබද්දී අපේ රට ලෝකේ  ඉහළම තැනක තිබුණා. සිංගප්පූරු අගමැති ඒ කාලේ හීන දැක්කේ  සිංගප්පූරුවත්  ලංකාව වගේ කරන්න කියලා කියනවනේ, ඉස්කොළ මහත්තයා කීවේය.

සිංගප්පූරු අගමැති ඒකාල එහෙම හිතුවට දැන්නම්  කිසිම ලෝක නායකයෙක්  තමන්ගේ රට ලංකා වගේ වෙනවට කැමති වෙන්නේ නැහැ. මුදලාලි කීවේය.

මුදලාලි මොකද එහෙම කියන්නේ  ඉස්කෝල මහත්තයා ඇසුවේය.

ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් තියෙනවද? ඉස්කෝලේ මහත්තයා, තමන්ගේ රටවලත්   අවුරුදු දහයෙන් දහයට කොල්ලො කැරලි ගහනවට පල්ලිවල  පන්සල්වල මිනී  මැරෙනවට ලෝකෙ කොයි නායකයාද කැමති මුදලාලි ඇසුවේය

ඉන්දීය  සාගරයේ මුතු ඇටය කඳුළු බිඳුවක් කෙරුවේ  කවුරු කියලද මුදලාලි හිතන්නේ? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

වෙන කවුද අපේ පාලකයෝ මිසක්, මුදලාලි උත්තර දුන්නේය.

අපේ රටට හොඳ පාලකයෝ හිටියනම් රට මේ තත්වෙට පත් වෙන්නේ නැහැ මුදලාලි. අපි හැමදාම පාලකයෝ කියලා පත් කරගෙන තියෙන්නේ විහිලු කාරයො ටිකක් ඉස්කෝල මහත්තයා කීවේය.

ඒ කතාව සහතික ඇත්ත මහත්තයෝ එක්කෙනෙක් හඳෙන් හාල් දෙන්න කතා කළාම අපි රැවටෙනවා. තවත් කෙනෙක්ට ඇට අට  දෙන්නම් කිව්වාම   ඒකටත් රැවටෙනවා. ධර්මිෂ්ඨ සමාජය කෙලවර කරගන්න ජීවිත කීයක් නැතිකර ගන්න උනාද? විධායකය අහෝසි කරන්න ආපු මිනිහා අන්තිමට රට පාලනය කරන්න සහෝදර සමාගමකුත්  හදලා මැරෙනතුරු බලයේ ඉන්න ව්‍යවස්ථාව සංශෝධනය කළා, මුදලාලි කීවේය.

මුදලාලිට මම කියන්නමයි හිටියෙ. මට දැන් පුංචි සැකයක්  ඇතිවෙලා තියෙනවා ඉස්කෝල මහත්තයා කීවේ  රහසිනි.

මොකද යුක්රේනේ  වගේ අපේ රටෙත් බන්දු සමරසිංහ හරි  ටෙනිසන් කුරේ හරි ඡන්දය ඉල්ලලා දිනයි කියලද? මුදලාලි ඇසුවේය.

පාර්ලිමේන්තුවේ වැඩ දැක්කම දැන්ටමත් බන්දුලා  ටෙනිසන්ලා  225 ක් ම දිනලා කියල තේරෙනවා. මම කියන්න ගියේ ඒ ගැන නෙමෙයි ඉස්කෝලේ  මහත්තයා කීවේය.

එහෙනම් මොකක්ද? මුදලාලි ඇසුවේය.

2015 ඡන්ද දවස්වල මෝදි සූට් කාරයෝ දෙන්නෙක් හිටියා මතකද? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

හිටියා නේන්නම් එක මෝදී සුට් කාරයෙක්  සාටක රජත් එක්ක ඡන්දෙ දාන්නත්  ගියා මුදලාලි කීවේය.

ඒ අනිත් මෝදි සූට් කාරය දැන් ඉන්න තැනක්  දන්නවද? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

හිතාගන්න අමාරුයි මුදලාලි කීවේය.

මට තියෙන සැකය  අන්න ඒක තමයි. ඉස්කෝල  මහත්තයා කීවේය.

මොකක්ද සැකය? මුදලාලි ඇසුවේය.

දැන් මේ වැඩ කරන්නේ අනිත් මෝදි සූට්කාරයා වත්ද  කියලා ඉස්කෝල මහත්තයා කීවේය.

ඇයි ඒ?මුදලාලි ඇසුවේය.

විධායකය අහෝසි කරනවා කියලා ධුර කාලයේ  දිග පළල අහනව. ඡන්දෙන් පැරදිච්ච මන්ත්‍රී කෙනෙක් ගෙන්නලා  අගමැතිකම දෙනවා, රනිල් අගමැති වුනොත් තත්පරයක් ඉන්නේ නැහැ කියලා නීතිය සාමයත් සාක්කුවෙ දාගන්නවා. එක්නැලිගොඩ විකුණල බලයට ඇවිදින් ඥානසාරට නිදහස දෙනව. හොඳ මෝදි සූට් කාරයා  ඒ වගේ දේවල් කරයි කියල හිතන්නවත් පුළුවන්ද? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *