ජාවාරම්කාර බෝම්බ – සම්පත් අමරසිංහ

පසුගිය දිනවල වෙළඳ ආයතන කිහිපයක් විසින් වෙළෙඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරය කර තිබුණි. ඒ මගින් එම වෙළෙඳ සමාගම් උත්සාහ කර තිබුණේ තමන්ගේ ආයතන වලට මුස්ලිම්  සම්බන්ධතා නොමැති බව පාරිභෝගිකයනට කියන්නට ය.  ඊට අමතරව වෙසක් පොහොය දිනයේ  සිංහල බෞද්ධ වෙළඳ සමාගම් කිහිපයක් තමන් බෞද්ධ බව හුවාදක්වන දැන්වීමක් පළකර තිබෙන දක්නට ලැබුණි. බුද්ධ දර්ශනය සමග කවර අයුරකින්වත් නොගැලපෙන එම දැන්වීමේ අරමුණද බෞද්ධ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම බව රහසක් නැත.  ඒ සියලු උත්සාහ පරාජය කරමින් පසුගියදා සිංහල ටැක්සි සේවයක්ද දැන්වීමක්  පළකර තිබුණි.

මෙකී කරුණු අනුව පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කරගෙන තම වෙළඳපල පුළුල් කර ගැනීමේ උත්සාහයක මෙරට ජාවාරම්කාර පිරිස් යෙදී සිටින බවය. එනම්  මුස්ලිම් ව්‍යාපාරිකයා වෙත සිංහල බෞද්ධ  පාරිභෝගිකයා යොමුවීම වැළැක්වීමේ උත්සාහයක ද සිංහල බෞද්ධ ජාවාරම්කාර පිරිස යෙදී සිටිති. මෙකි පිරිස  උදෙසා ව්‍යාපාරිකයන් හෝ ව්‍යාපාරික ප්‍රජාව යන නම භාවිතා කිරීම ද ගැටලු සහගත ය.  ව්‍යාපාරිකයන් යනු  විනයක්, ශික්ෂණයක් අනාගත දැක්මක් ආචාරධර්ම සහිත මහත්මා ගතියෙන් යුතු පිරිසක් වන නිසාය.  ඉහත ආකාරයෙන් හැසිරෙන පිරිස සහ කසිප්පු, කුඩු හෝ අලෙවි කරන්නන් අතර වෙනසක් නොමැති බැවින් ඔවුන් හැඳින්වීම සඳහා සුදුසු වචනය ව්‍යාපාරිකයා යන්න නොව ජාවාරම්කාරයා යන්නයි.  මක්නිසාදයත් ඔවුන් සතුව ව්‍යාපාරික ආචාර ධර්ම ඇති බවක් නොපෙනෙන බැවිනි.

මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහි සිංහල ව්‍යාපාරික යුද්ධය පාස්කු  ප්‍රහාරයට පෙර පවා පැවති එකකි.  උදාහරණයක් වශයෙන් කලෙක ඇතැම් රෙදිපිළි සාප්පු වලට සිංහල ජනතාව යාම වැළැක්වීම සඳහා විවිධ මිථ්‍යා මත සහ කටකකතා පතුරුවා හරිනු දක්නට ලැබුණි.  එවැනි එක් කතාවකින් කියැවුණේ එම රෙදිපිළි හලට  යන කුඩා දරුවන්ට එම  ආයතනයෙන් තෑගි ලෙස ලබාදෙන ටොපි වලට උපත් පාලන බෙහෙත් යොදා ඇති බවයි. තවත් විටෙක  කීවේ එම රෙදිපිළි හල්වල විකුණන කාන්තා යට ඇදුම් වල දරු උපත්  වලක්වන නැතහොත් කාන්තාවන්ගේ වඳ බව ඇතිකරන රසායනික වර්ග ගල්වා ඇති බවයි.  එම කතන්දරයේම  තවත් කොටසක් පසුගිය දිනවල අයි එස්  ත්‍රස්තවාදීන් සොයා කළ හමුදා මෙහෙයුම්ක් අතර අසන්නට ලැබුනි .  එම කතාවෙන් කියැවුණේ එක්තරා ඇඳුම සාප්පුවකින් ජෙලි වැනි රසායනික ද්‍රව්‍ය ගැල්වූ තිසරපට කොපු අත්අඩංගුවට ගත් බවයි.  ජෙලි ආලේප කළ තිසරපට කොපු ,අයි එස්  අවි ආයුධ යන නියැදියට අයත් වන්නේ ද යන්න මෙහිදී මතුවන ගැටලුවකි.  එකී තිසර පට කොපු පරික්ෂා කිරීම සඳහා වෛද්‍ය අංශ වෙත යොමු කර ඇති බව ද කියැවුනි.  ඒ අනුව අත්අඩංගුවට ගත් තිසරපට කොපු  පිළිබඳ නිශ්චිත මතයක් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට නොමැති බව පෙනේ. සැකසහිත  භාණ්ඩ සමග ඒවායේ සැකය  ඔප්පු කිරීමට පෙර ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීම බැලූ බැල්මට ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙනේ.   මෙකි තත්ත්වයට හේතුව මුස්ලිම් ව්‍යාපාරිකයන් කෙරෙහි වපුරා ඇති පදනම් විරහිත මුසාවාද බව පමණක් පැහැදිලිය. අපේ රටේ පොලීසිය ද තමන්ගේ උරහිසේ ධර්ම චක්‍රය තිබියදී ධර්මචක්‍රය කියා නැව් සුක්කානම්  අත්අඩංගුවට ගන්නා  දෙපාර්තමේන්තුවක්  වීම නිසා තත්ත්වය තවත් බරපතළ වේ.

මුස්ලිම් හෝටල් වලින් ආහාර නොගන්න යයිද කලකට පෙර මතයක් ‍ප්‍රචාරය  කරනු ලැබිණ.  හේතුව වශයෙන් සඳහන් කෙරුණේ  එම හෝටල්වල ආහාර වලට වඳ පෙති කවලම් කරන බව ය.  අම්පාර ප්‍රදේශයේ හෝටලයක ට පහර දීමක් පවා සිදු වූයේ එම වඳ පෙති කතාව මූලික කරගෙනය. වඳපෙති හෙවත් උපත් පාලන ඖෂධ යනු ආහාරයට මුසු කර දීමෙන් ප්‍රතිඵල ලැබිය හැකි දෙයක් නොවන බව හෝ මෙකී කටකථා වපුරන්නන් සහ ඒවා විශ්වාස කරන්නන් තේරුම් ගන්නේ නැත. වරක් පාවිච්චි කළ විට ජීවිත කාලය ම දරු උපත් නැති වෙන ඖෂධයක් ලොව කොතැනකවත් නිපදවා නැත.  එවැනි  නිෂ්පාදනයක් නීත්‍යානුකූල වන්නේද නැත.

ඉහත කී ආකාරයේ කට කථා සහ මිත්‍යා මත ප්‍රචාරය කිරීම මගින් සිංහල ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නේ මෙරට වෙළඳ පොළේ මුස්ලිම්වරුන් දැනට  අත්පත් කරගෙන සිටින කොටස තමා සතු කර ගෙන යාමට ය.  ගැටලුව  වන්නේ කටකතා හෝ මිථ්‍යා මත  පැතිරවීම මගින් පමණක් එම උත්සාහය සාර්ථක කරගත හැකිද යන්නය.   සිංහල  ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර දියුණු නො වීමට ප්‍රධාන හේතුව වන්නේ  ව්‍යාපාර කරන නිවැරදි ආකාරය පිළිබඳ සිංහල ව්‍යාපාරිකයන්ට අවබෝධයක්  නොමැති වීමයි. මුස්ලිම් රෙදිපිළි ව්‍යාපාර වලට නොයා  සිංහල ව්‍යාපාර වලට ගිය  පාරිභෝගිකයාට සිදුවූයේ තත්වයෙන් බාල භාන්ඩ මිලදී ගෙන සිංහලකම ගැන ආඩම්බර වන්නට ය. එසේ  සතුටු වන්නට හැම සිංහලයාම සූදානම් නැත. තරගකාරී මිලකට ඉහළ ගුණාත්මක බවකින් යුතුව භාණ්ඩ අලෙවි කරන්නේ නම් සිංහල ව්‍යාපාරිකයන්ට මුස්ලිම් ව්‍යාපාරිකයන් සමග තරග කරන්නට කට කතා මිථ්‍යා මත හෝ ජාතිවාදය අවශ්‍යවන්නේ නැත. නමුත් සිංහල ව්‍යාපාරිකයන් වැඩි පිරිස සිතන්නේ සිංහලකමට සලකා ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා මිල දී ගත යුතුය කියාය.

ඊළඟ කාරණය මෙසේ සිංහල  ජාතිවාදී වෙළඳ උපක්‍රමය මෙතනින් නතර  නොවීමයි. මුස්ලිම් ව්‍යාපාරිකයා සමග ගනුදෙනුව අවසන් කළහැකි වුවහොත්  මෙකී ජාවාරම්කාර පිරිස් වහාම  කිතුනු සහ හින්දු  ව්‍යාපාරිකයන් ඉලක්ක කර තමා ප්‍රහාරය ආරම්භ කරනු ඇත.  ආගම් ජාති භේදයකින් තොරවව පවතින තත්ත්වයට විරුද්ධ වීම සියලු ලාංකිකයන්ගේ වගකීමක්  වන්නේ එහෙයිනි . මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් ඉලක්ක කර එල්ල කරනු ලබන මෙකී සිංහල  ජාතිවාදය විසින් සිදු වනු ඇත්තේ මුස්ලිම් ප්‍රජාවන් වයි එස් මතවාද දිශාවට බලහත්කාරයෙන් තල්ලු කිරීමය . 83 කළු ජූලිය නිසා එල්ටීටීඊය ශක්තිමත් වූවා මෙනි.

ඊළඟ කාරණය මුස්ලිම්  විරෝධය සෑම  පියවරකදීම සාර්ථක කරගත හැකිද යන්නයි. නිදසුනක් වශයෙන් මුස්ලිම්  ව්‍යාපාරික ස්ථානවල හෝ  නිෂ්පාදන ආයතන වල හෝ සේවා ස්ථානවල රැකියා කරන්නන් මුස්ලිම් අයම නොවේ. ඒවාහි  සිංහල ජනතාවද රැකියා කරති. ඒවාට  අතුරු සේවා සපයති. උප  කොන්ත්‍රාත් කරති. එම ආයතන කඩාවැටීමෙන්  එවන් අයගේ  ආර්ථිකය ද කඩා වැටේ.

තවත්ආකාරයකින් ගත් කල මෙරට සමස්ත විදේශ ශ්‍රමික පිරිස වන 212,162 න් මැදපෙරදිග රටවල සේවය කරන පිරිස 186 932 කි . ඊට අමතරව මැදපෙරදිග නොවන වෙනත් මුස්ලිම් රටවල් රැකියා කරන පිරිස 8274 කි.  මැදපෙරදිග සහ වෙනත් මුස්ලිම් රටවල සේවය කරන පිරිස් විසින් මෙරටට එවන ලබන විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 78 800කි. එසේම මුස්ලිම් රටවලට  මෙරට තේ කිලෝ මිලියන 15143 ක්අපනයනය කෙරේ. ඉන් උපයන  ලබන ආදායම ඩොලර් මිලියන 732   හෙවත් රුපියල් කෝටි  13200 කි . මුස්ලිම් රටවලින් මෙරටට ලැබෙන  අපනයන ආදායම ඩොලර් මිලියන  1507  හෙවත් රුපියල් කෝටි 27126 කි.

ඉහත ආදායම් යනු මෙරට ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත්  මිලදී ගැනීමේ හැකියාවය . සිංහල  අන්තවාදීන්ගේ පටු ක්‍රියාමාර්ග  හේතුවෙන් මුස්ලිම් රටවල රැකියා වෙළෙඳපළ සහ අපනයන වෙළඳපල අහිමි වුවහොත් මෙරට ආර්ථිකයටත් දේශීය වෙළඳ පළටත්  සිදුවිය හැකි විනාශය ඒ අනුව අවබෝධ කරගත හැකි වනු ඇත.

2018 වර්ෂයේ අගදී trip advisor ආයතන ලෝකයේ සංචාරය සඳහා හොඳම රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කරන්නට යෙදුනි.  එහෙත් පාස්කු දින  ප්‍රහාරය හේතුවෙන් එම තත්ත්වය තත්පරෙන් විනාශ වී ගියේය. පාස්කු  ප්‍රහාරය හේතු කර ගනිමින් සිංහල බෞද්ධ අන්තවාදින්  මුස්ලිම් ජනයා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ තත්ත්වය ද මෙරට  සංචාරක ව්‍යාපාරයට බලවත් තර්ජනයක් විය.  දැන් මෙරට බලධාරීන්ට සහ පාලකයන්ට මෙරටට තම රටවල සංචාරකයන් එවන්නැයි විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසට කන්නලව් කරන්නට සිදුවී තිබේ. පවතින වාතාවරණය තුළ එම කන්නලව්වට කන්දීමට විදෙස් රටවල සූදානමක් නැත. පටු අදහස් ආත්මාර්ථකාමී ක්‍රියා හේතුවෙන් රටට, රටේ ආර්ථිකයට , කීර්තිනාමයට සිදුවිය හැකි හානිය අවබෝධ කරගැනීමට තවත් නිදර්ශන අවශ්‍ය නැත .  පවතින මුස්ලිම් විරෝධය හැකි ඉක්මනින් සමනය කර නොගත්හොත් සිංහල ටැක්සි වල යන්නට මෙරට ජනතාවට මුදල් නැතිවනු ඇත. එපමණක් නොවේ  ඉරානය ඇතුළු රටවලින් මෙරටට සහන මිළට ලැබෙන ඛනිජ තෙල් අත්හිටුවීමට පවතින මුස්ලිම් විරෝධය හේතු  වූහොත් සිංහල ටැක්සි  දුවන්නට ඇමරිකාව වැනි  රටවලින් වැඩි මිලට ඉන්ධන ගෙනවන්නට සිදුවනු ඇත.  එවිට සනීපද ?

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *