ඒකාබද්ධය ආණ්ඩුව රකිනවා – ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව රැකගැනීමටය යනුවෙන් එල්ලවන චෝදනාව, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව දේශපාලනය තුළ මතුව ඇති විවිධ මත්මතාන්තර සහ අන්තවාදය පරාජය කිරිීමට ගත යුතු පියවර ආදිය පිළබඳ කතා කරමින් ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහා ඉවුරට එක් වේ.

*අප්‍රේල් 21 ප්‍රහාරයට සමගාමීව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට ඔබ පක්ෂය සහය දක්වනව ද?

අප්‍රේල් 21 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෑ ඒ ආගමික උමතු කණ්ඩායම. දෙවනුව ඒ වගකීම පැවරෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගන්න බැරි වුණ මේ ආණ්ඩුවට. ආණ්ඩුව කියන්නේ ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්. ඒ නිසා මුළු ආණ්ඩුව ම මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ. ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලන්නෙ නැතිව ඔළුවෙන් අල්ලගන්න ඕන. ආණ්ඩුව බේරලා තනි පුද්ගලයෙක් විතරක් මේ ප්‍රශ්නයට අල්ලා ගැනීම හරියන්නේ නැහැ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාත් වගකියන්න ඕනෑ තමයි, ඒත් මුළු ආණ්ඩුවම මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කියන එකයි අපේ ස්ථාවරය.

* ඔබතුමා ආණ්ඩුවට වගකීම බාර ගන්න කිව්වත්, අගමැතිවරයා කිව්වා ආරක්ෂක මණ්ඩලයට තමා කැඳෙව්වෙ නැහැ කියලා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ධුරවලින් ඉවත් කෙරෙනවා?

මේ කාරණය ජනතාවට අදාළ නැහැ. රජයක් විදිහට ජනතාවට වගකියන්න ඕනෑ. ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා යි මේ ප්‍රශ්න ය මේ තරම් බැරෑරුම් වුණේ. අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට ගියේ නැත්තම් ඒක අගමැතිවරයාගේ වැරැද්දක්. අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වෙ නැත්නම් ඒක ආරක්ෂක ඇමැතිවරයාගේ වරදක්. අගමැතිවරයා සහ ජනපතිවරයා දෙපැත්තට අදිනවා කියලා පේනවා. තොරතුරු දන්නෙ නෑ කියලා ජනපතිවරයාත් අගමැතිවරයාත් දෙන්නාම කියනවා. ආරක්ෂක ඇමැති මං දන්නෙ නැහැ කියනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නෙ නිලධාරින් දෙන්නෙකුගේ කර උඩ යවනවා. මෙතැන පැහැදිලිව කරඇරීමක් තියෙනවා වගේ ම ආණ්ඩුව ඇතුළේ බල අරගලයක් තියෙනවා කියලත් පේනවා.

* පාර්ලිමේන්තුව ඇතුළෙත් තවුහිත් ජමාත් ක්‍රියාකාරකම් සිදු වෙලා තියෙනවා. එවැනි ව්‍යාප්තියක් ඇති වුණේ මේ රටේ බුද්ධි අංශවල සහ ආරක්ෂක අංශවල දුර්වලතාවයක් නිසා නොවෙයි ද?

මේක ආගමික අන්තවාදී සංවිධානයක්. එය සමාජයේ විවිධ තරාතිරම්වල සහ විවිධ ආයතනවලට විහිදිලා තියෙනවා. වෘත්තීය මට්ටමින්, ව්‍යාපාර මට්ටමින්, සාමාන්‍ය පුද්ගලයනුත් මේ සංවිධානය එක්ක බැඳිලා ඉන්නවා. මේ සංවිධානයට මේ තරම් දුරට විහිදිලා යන්න ඉඩදීම කියන්නේ ආණ්ඩුව තම වගකීම පැහැර හැරීමක්. බුද්ධි අංශවලට මීට කලින් මේ ගැන තොරතුරු දීලා තියෙනවා. මුස්ලිම් ජනතාව ම ඒ තොරතුරු දීලා තිබුණත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නියෝග ලැබිලා නැහැ. සහරාන් කාත්තන්කුඩිවල දේශන පවත්වනකොට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරලා තියෙනවා. ඒත් ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ. ආරක්ෂක අංශ මේ ගැන තොරතුරු ගොනු කරලා වාර්තා කරලා තියෙනවා. ඒත් ආරක්ෂක මණ්ඩලය මේ ගැන තීරණයක් අරගෙන දේශපාලන අධිකාරියේ නියෝගය ලබාදීලා නැහැ. ඒ නිසා ආරක්ෂක අංශවලට චෝදනා කරලා වැඩක් නැහැ. වරද තියෙන්නේ දේශපාලන අධිකාරියේ.

*රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ලවෙන චෝදනා අතර විල්පත්තු වන සංහාරය සහ අන්තවාදී ආගමික කණ්ඩායම් පෝෂණය කිරීමත් තියෙනවා. ඊට පෙර අධිකරණයට ගල් ගැසීමේ චෝදනාවකුත් එල්ල වුණා. එවැනි ඇමැතිවරයකුට යි මේ විශ්වාසභංගය එල්ල වෙන්නේ. මහජන නියෝජිතයින් විදිහට ඒ සම්බන්ධව ඔබලා දක්වන ආකල්පය කොයි වගේ ද?

රිෂාඩ් බදුර්දීන්ට විතරක් නෙවෙයි නැඟෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාටත් චෝදනා තියෙනවා. නැඟෙනහිර විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ 2013. ඊට අනුමැතිය ලබා දෙන්නේ ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා. මේ අන්තවාදී සංවිධාන මූලික වශයෙන් ආරම්භ වන්නේ 2012 – 2013 වර්ෂවලදී. ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම්වරයා දෙපැත්තෙම අන්තවාදවලට උදව් කරලා තියෙනවා. එකම ගිණුමෙන් මුදල් ලබාදී තියෙනවා විතරක් නෙවෙයි ඒ කාරණය අද පිළිගෙනත් තියෙනවා. මඩකළපුවේ ඔය කියන විශ්වවිද්‍යාලය ඉදිකරන්නේ මහවැලි ඉඩමක. ආන්දෝලනයට ලක්වුණ තඹ කම්හලට තඹ ලබාදෙන්නේ ජනපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා. ඒ නිසා මේ සිද්ධිවලට සම්බන්ධ එක්කෙනෙක් නෙවෙයි ආණ්ඩුවේ විශාල පිරිසක් ඉන්නවා. ඒ සියල්ලන්ටම චෝදනා තියෙනවා.

* ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව නැඟී නොසිටියහොත් රට සිරියාවක් වෙයි. ඒ නිසා රිෂාඩ් ඇමැතිවරයාට එරෙහි වෙන්න කියලා විපක්ෂය කියනවා. ඒ අතර අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ විශ්වාසභංගයක් ගෙනාවා නේද?

අපි මේ ආණ්ඩුවේ කිසිදු අපරාධකාරයෙක් ආරක්ෂා කරන්නේ නැහැ. රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අපි බාර දුන්නා. අගමැතිවරයාට එරෙහිව මහ බැංකු බැඳුම්කර චෝදනා එල්ලවෙනකොට එතැනදීත් අපි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. කොයිම වෙලාවකවත් අපි ආණ්ඩුවේ ඉන්න වැරැදිකාරයන්ව, අපරාධකාරයන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලත් නැහැ, ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට ම එරෙහි වෙන අපි ඒ ඇතුළේ ඉන්න එක ඇමැතිවරයකුට විතරක් නෙවෙයි මුළු ඇමැති මණ්ඩලයට ම එරෙහි වෙලා තියෙනවා. එක ඇමැතිවරයකුට එරෙහි වෙලා අනෙකුත් ඇමැතිවරු බේරන්න අපිට වුවමනාවක් නැහැ.

* කතානායකවරයා විශ්වාසභංගය යටගහන්න උත්සාහයක නිරත වෙන අතර ම ජවිපෙ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නියැලිලා ඉන්නවා ය කියල යි විපක්ෂය කියන්නේ?

අපි නෙවෙයි චෝදනා කරන ඒ අයයි ආණ්ඩුව බේරන්නේ. ඒ අය කරන්නේ ආණ්ඩුව පැත්තකින් තියලා එක පුද්ගලයෙක් අල්ලගෙන ඉන්නවා. අපි මුළු ආණ්ඩුවට ම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒකෙන් කියන්නේ අපි ආණ්ඩුවට විරුද්ධයි කියන එක. ජවිපෙ රිෂාඩ් බදියුදීන්ට විතරක් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා නම්, ඔය කණ්ඩායම අපිට කියනවා ආණ්ඩුව බේරලා රිෂාඩ් ව අල්ල ගත්තා කියලා. ඒ අයම වැරැද්ද කරලා අපිට චෝදනා කරනවා. ඇත්ත කතාව තමයි ඒ අය ආණ්ඩුව රකිනවා, අපි ආණ්ඩුවට විරුද්ධව ඉන්නවා.

* කොහොම නමුත් තියෙන චෝදනාව තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සිදුකර ගැනීමටත්, මැතිවරණ කල් දා ගැනීමටත් අනියමින් ජවිපෙ රජයට සහය දක්වනවා කියන එක?

කිසිසේත්ම නැහැ. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගන්නඕන සෑම ක්‍රියාමාර්ගයක් ම අරන් තියෙනවා. ඔක්තෝබර් 26 වැනිදා හොර ආණ්ඩුවට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩියෙන් ම සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. අදත් අන්තවාදය පරද්දලා ජාතික සමඟිය හදන්න ඉස්සරහට දාලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න යි. ඒ නිසා අපි තමයි ඒ වෙනුවෙන් වැඩියෙන්ම කැප කිරීම් කරන පක්ෂය.

* දින 56න් පස්සේ අගමැතිවරයාට එරෙහිව එල්ල වුණ විශ්වාසභංගයට ජවිපෙ කණ්ඩායම විරුද්ධ වුණේ නැහැ කියලා ඇතැමුන් කියනවා?

අපි අගමැතිවරයාට පක්ෂව හිටියේ නැහැ. අගමැතිවරයාට එල්ල වූ චෝදනා බොහොම විවෘතව අපි හෙළිදරව් කළා. ඔහුට විරුද්ධව අපි ඡන්දය භාවිතා කළා. මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් කළෙත් අපි. කිසිම වෙලාවක අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරලා නැහැ. විශ්වාසභංග යෝජනාව මඟ හැරිය කණ්ඩායම ඉන්නෙ අනෙක් පැත්තේ. අපි පැහැදිලිව ම අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අය.

* ප්‍රහාරයත් සමඟ ජ.වි.පෙ. ජාතික ලැයිස්තු අපේක්ෂයකුගේ නමකුත් සඳහන් වුණා. ඒ පදනම මත ත්‍රස්තවාදයට ජවිපෙ සහය දක්වනවා කියලත් බොහෝ තැන්වල කියැවුණා?

මේක සම්පූර්ණ වැරැදි කතාවක්. කොයිම වෙලාවකවත් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ජවිපෙ ඉදිරිපත් වෙලා නැහැ. ඔහු වරදක් කරලා තියෙනවා නම් මේ රටේ නීතියට අනුව දඬුවම් කළ යුතුයි. ජවිපෙ විතරක් නෙවෙයි එජාපයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්, මීගමුවේ ශ්‍රීලනිප උප නගරාධිපතිවරයා, වත්තල මාබෝල හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ ගෝලයා රිස්වාන් කියන පුද්ගලයා. මේ හැම කෙනෙක් ම හැම පක්ෂයක ම ඉඳගෙන අන්තවාදී කල්ලි එක්ක සබඳතා පවත්වලා තියෙනවා. ඒ නිසා මෙතැනදී එක පක්ෂයකට විතරක් චෝදනා කරන එක කොහෙත්ම සාධාරණ නැහැ.

* ජ.වි.පෙ.ට මේ රටේ දේශපාලනය කරන්න භීෂණය, මර්දනය අවශ්‍ය වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය තුළත් විපක්ෂ මතධාරිනුත් පෙන්නලා දීලා තිබුණා ?

සම්පූර්ණ පදනම් විරහිත චෝදනාවක්. ජවිපෙ ට තමයි මේ රටේ වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ඕන වෙලා තියෙන්නේ. අපිට දේශපාලනය කරන්න නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෑ. 17 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවේ අපි. ස්වාධීන කොමිෂන් සභා ගේන්න කැප වුණේ අපි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නත් පුරෝගාමී වුණේ අපි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ නිසා මේ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි ඉන්නෙ මහජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙ.

* විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියන ඔබ පක්ෂය එහෙම වුණොත් මේ රටේ ජාතික ආරක්ෂාව ගැන සිතුව ද?

දැන් මේ විධායක ජනාධිපති ක්‍රමය තිබිලා නේද ජාතික ආක්ෂාව නැති වුණේ. මහජනතාව ආරක්ෂා කළා ද? විධායක ජනාධිපති ධුරය තිබිලත් ප්‍රහාරයන් වළක්වා ගන්න බැරි වුණා. ජනාධිපතිවරයා කියනවා මම දන්නෑ කියලා. විධායක ජනාධිපති ධුරය තිබියදී තමයි රටේ යුද්ධයක් නිර්මාණය වුණේ. ඒ නිසා මේකෙන් ජනතාවගේ ආරක්ෂාව සැපයෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව කියන්නේ රට බෙදෙන, රට කැඩෙන එක වළක්වා ගන්න එක. මහජන ආරක්ෂාව කියන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව. මේ ප්‍රහාරය ජාතික ආරක්ෂාවටත් මහජන ආරක්ෂාවටත් තර්ජනයක්. ඒක විධායක ජනාධිපති ක්‍රමය තිබිලත් නතර කරන්න බැරි වුණා.

* පහුගිය කාලේ මේ සියල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ගිය ජවිපෙ ඒ සියල්ල අතැර දමා තිබෙන බවක් පේන්න තියෙනවා, ඒ ඇයි?

මේ ප්‍රහාරයත් එක්ක රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණා. ප්‍රහාරයට කලින් අපි යොමු වෙලා තිබුණේ ආර්ථිකය බිඳ වැටුණ රට ගොඩනඟන වැඩපිළිවෙළක ට. සෑම ආණ්ඩුවක ම ආර්ථික ප්‍රතිපත්ති නිසා රට ආපස්සට ගිහින් තිබුණ නිසා එය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සාකච්ඡා කරමින් සිටියා. මේ රටේ බුද්ධිමතුන්, විද්වතුන් ඒ සඳහා සංවිධානය වෙලා සිටියා. නැවත අපි ඒ සාකච්ඡාව සහ වැඩසටහන පටන් ගන්නේ රට රැකීම සම්බන්ධයෙන්. ආර්ථිකය හදන්න කලින් අපට රටක් තියෙන්න ඕන. ඒ නිසා ඉදිරියේ දී ඒ සමාජ කතිකාවට අපි යනවා.

ඇත්තට ම ස්වාමීන් වහන්සේලා සහ සියලු ආගමික පූජකවරුන්, හා සියලු වෘත්තීයවේදීන් එකතු කරලා පුළුල් ජාතික පෙරමුණක් නිර්මාණය කිරීමට අපි අවතීර්ණ වෙලා ඉන්නවා. රට වෙනත් මඟකට ගන්න පෙරමුණ ගත්ත ජවිපෙ සහ ප්‍රගතිශීලී කණ්ඩායම් ඒකරාශී කරගෙන අපි ඉදිරියට යනවා.

* දැනට මේ රටේ තියෙන දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන්ට ප්‍රබල මහජන විරෝධයක් සහ ප්‍රතික්ෂේප කිරීමක් දක්නට ලැබෙනවා. ඉදිරි මැතිවරණය මේ රටේ තරුණ ප්‍රජාවට තීරණාත්මක මැතිවරණයක් වෙන්න පුළුවන්. ඒ අතරින් ජවිපෙට මහජන ප්‍රසාදයක් හිමිකර ගැනීමේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා ද?

කොළ පාට, නිල් පාට පක්ෂ දෙකම ජනතාවට එපා වෙලා තියෙනවා. ජනතාව ඒ පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ජනතා විරෝධය දැන් උපරිමයට ඇවිත් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන තැනකට ජනතාව ඇවිත් අලුත් බලයක්, විකල්පයක් ඉල්ලමින් ඉන්නවා. ඒ නිසා ජවිපෙ අපි ඊට සූදානම්. ඒක අපේ වගකීමක්.

* රට තුළ කෝලාහල ඇති කරලා විදෙස් හමුදාව ගෙන්වීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සඳහන් වුණා?

විදෙස් හමුදා ගෙන්වීම කෙසේ වෙතත් බංකොලොත් දේශපාලන කණ්ඩායම් භීතිය ඇති කරනවා, කට කතා පතුරුවනවා. ජාතිවාදී ප්‍රහාර දියත් කරනවා. මිනුවන්ගොඩ, කුලියාපිටිය සිද්ධි ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයන්ගේ වැඩ. බදුරලිය පාසලේ හමුවුණෙත් ඒ වගේ දේවල්. මේ හදන්නේ ජනතාව තුළ භීතිය ඇති කරලා දේශපාලන වාසි ගන්න. ඒකත් අපි පරාජය කළ යුතුයි.

* 83දී දේශපාලනිකව තහනම් වූ ඔබ පක්ෂය 88 – 89 මර්දනයට ලක්වුණ පක්ෂයට එවැනි අතීත අත්දැකීම් රැසක් තියෙනවා. අද මේ රට තුළ සිදුවෙන සිදුවීම් ගැන ජනතාවට කියන්නේ කුමක් ද?

83දී ජ.වි.පෙ. තහනම් කළේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරද්දී, ඔවුන්ගේ බල වුවමනා වෙනුවෙන්. ඒවට නොසැලී අපි නැවත නැඟිටලා ආවා. මේ රට හදන්න නම් නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන. සංචාරක කර්මාන්තය මත පමණක් යැපෙන්න ගියාම දැන් වෙලා තියෙන දේ බොහෝම පැහැදිලි යි. ඒ නිසා අනිවාර්යයෙන් නවීන තාක්ෂණය හා දැනුම පදනම් වුණ නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනෑ. ජනතාවාදී පාලනයකුත් මේ රටට අවශ්‍ය යි. ඉක්මනින් සමාජය යථා තත්ත්වයට පත් කරලා මේ රට හදන වැඩපිළිවෙළකට යා යුතුයි. 71 අවුරුද්දක් අපි කාපු පරිප්පුව ඇති. ඊළඟ සියවස වෙනස් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ජවිපෙ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහජනතාවට කාරුණික ආරාධනයක් කරනවා.

දුමින්ද අලුත්ගෙදර

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *