රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහන මාතලෙන් ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි රාජ්‍ය හා ක්ෂේත්‍ර නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) බ්‍රහස්පතින්දා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට පෙර සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙහි දිගුවක් ලෙස මෙම දිස්ත්‍රික් සහන සේවය සංවිධානය කරන අතර මේ තුළින් ජනතාවට වඩාත් ප්‍රතිලාභ සහ රාජ්‍ය සේවයේ කටයුතු කඩිනමින් ලබාදීමට අපේක්ෂිතය.

රාජ්‍ය සේවය ගමට මාතලේ දිස්ත්‍රික් සහන සේවා වැඩසටහන ඉදිරි දිනවල මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර පැවැත්වීමට නියමිත අතර එය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම මෙම හමුවේදී සිදු වෙයි.

මෙම සහන සේවය මගින් ජනතාවට කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා වන ජිවී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් අලුවිහාරේ මහත්වරු ඇතුළු නගරාධිපතිවරු,, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගි වීමට නියමිතය.

සජීව විජේවීර

අධ්‍යක්ෂ (මාධ්‍ය)

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

0773587099 / 0718576488

Leave a Reply

Your email address will not be published. Required fields are marked *