ඉකුත් වසරේ දී රාජ්‍ය ආදායම කෝටි 9300කින් වැඩි වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

වසර 2017ට වඩා වසර 2018 දී රාජ්‍ය ආදායම රුපියල් කෝටි 9300කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව වසර 2018 දී රජයේ මුළු ආදායම ලෙස රුපියල් බිලියන 1932.5ක් ලැබී ඇත. වසර 2017 දී එය වාර්තා වූයේ රුපියල් බිලියන 1839.6ක් ලෙස බවද මහ බැංකුව කියයි.

වසර 2017 රජයේ ආදායම් ලැබුණු ප්‍රධාන මාර්ග වන බදු ආදායම, බදු නොවන ආදායම හා රජයට ලැබුණු ආපසු නොගෙවන ප්‍රදාන යන සියල්ලගේම වැඩිවීමක් වසර 2018 දී දක්නට ලැබෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

රජයට බදු ආදායම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු ලබයි.

ඒ අනුව වසර 2018දී රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 1920ක් වී තිබේ. වසර 2017දී රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 1831.5කි.

වසර 2018දී රජයට ලැබුණු මේ ආදායමින් රුපියල් බිලියන 1712.3 බදු ආදායම් වන අතර රුපියල් බිලියන 207.7 බදු නොවන ආදායම් ලෙස ලැබී තිබුණි. වසර 2017දී රජයට ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 1670.2කි. බදු නොවන ආදායම රුපියල් බිලියන 161.4කි.

වසර 2018දී රජයට ලැබුණු ප්‍රදාන වල වටිනාකම රුපියල් බිලියන 12.5කි. වසර 2017දී එසේ ලැබුණු මුදල රුපියල් බිලියන 8.0ක් විය.

මේ අන්දමට රජයට ලැබුණු ප්‍රදාන වැඩිවීම හා බදු හා බදු නොවන ආදායම් වැඩිවීම වසර 2018දී ඉහළ යෑම නිසා රජයට වැඩි මුදලක් ජනතා සුබ සාධන හා සංවර්ධන වැඩසටහන්වලට යෙදවීමට ද හැකියාව ලැබී තිබේ.

රජය ලබා ගත් ණය සඳහා වාරික හා පොලී ගෙවීම් ඇතුළු රජයේ වියදම් ලෙස රුපියල් බිලියන 2693.2ක් වසර 2018 වැය කොට තිබේ. වසර 2017 ඒ සඳහා වැය කොට ඇත්තේ රුපියල් බිලියන 2573.1ක් වන බව මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

ජයසිරි මුණසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *