ඇමති මංගල සමරවීරට ජයවේවා! – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

මංගල සමරවීර ඇමතිවරයාට විරුද්ධව මේ වන විට දැවැන්ත ප්‍රහාරයක් ජනමාධ්‍ය ඔස්සේ දියත් වෙමින් තියෙනවා.  ඒ මාතර සාම කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කළ කතාවක් මුල්කරගෙනයි.  මඩ ප්‍රහාරය එල්ල කරන්නන් කියන්නේ මංගල සමරවීර ඇමතිවරයා එහිදී මේ රට  නැතිනම් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කීවා ය කියයි. ඇත්ත වශයෙන්ම ඔවුන් එහිදී  කරන්නේ මංගල ඇමතිවරයා කළ කතාවෙන් කොටසක් පමණක් අල්ලා ගෙන එය ඔහුට පහර දීමට යොදා ගැනීමයි.  එම ක්‍රියාව අනිවාර්යෙන්ම මේ රටේ ජඩ දේශපාලනයත්ජඩ  මාධ්‍ය කලාවක් තේරුම් ගැනීම්ට කදිම සාක්ෂියක්.  පසුගිය කාලයේ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් කලු පටි බැඳගෙන මාධ්‍ය ආයතන ඉදිරියේ විරෝධය පැවේත්මෙවැනි ආකාරයේ මාධ්‍ය හැසිරීම් වලට විරුද්ධවයි . ඒ විරෝධයත්  මාධ්‍ය  උපයෝගී කර ගත්තේ තමන්ගේ අඩුපාඩු සකස් කර ගන්නට නොවෙයි.  එහිදීත් මාධ්‍ය  තම වැරදි වහගෙන සිවිල් ක්‍රියාකාරික පිරිසට ප්‍රහාර එල්ල කළා පමණයි.  ජනමාධ්‍යයට නිවැරදිවනු කියා සිවිල් සංවිධාන කළ විරෝධය ජනමාධ්‍ය විසින් මවා පෙන්වූයේ මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමක් ලෙසයි.

මංගල සමරවීර  ඇමතිවරයා මාතර සාම කමිටුව ආරම්භ කරමින් කී කතාව ලංකාදීප පුවත්පත් වාර්තා කර තිබුණේ පාඨකයා නොමඟ යවන ආකාරයෙන් බව කණගාටුවෙන් වුවත් කියන්නට වෙනවා.  උදාහරණයක් වශයෙන් එම පුවත්පත එම කතාව වාර්තා කිරීමේදී ” ඇත්තම කියනවා නම් දැන් මේ ආණ්ඩුවත් හොඳටම ඇති ” කියා උප ශීර්ෂයක්  යොදා තිබීම දක්වන්න  පුළුවනි

එය කියවූ විට එකවරම සිතෙන්නේ මංගල  ඇමතිවරයා ආණ්ඩුවට විරුද්ධව කතා කර ඇතැයි කියායි.  කාටුන් ශිල්පීන් පවා එම ප්‍රකාශය  උපයෝගී කරගෙන තිබුනා . එසේ  උපයෝගී කර ගැනීමේදී ඔවුන් මංගල ඇමතිවරයාගේ ප්‍රකාශයේ  සමස්ත අර්ථය  පිළිබඳ  අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් වගේම අතිශය බරපතළ වරදක්, දුර්වල කමක්, ජනතාව  නොමග යැවීමක්.

ආණ්ඩුව සම්බන්ධයෙන්යෙන් මංගල ඇමතිවරයා කි කතාව  එම උප ශීර්ෂය යෙදූ ලංකාදීප පුවත්පත් වාර්තා කර තිබුනේ මෙහෙමයි. ”  ඇත්තෙන්ම කියනවා නම් දැන් මේ ආණ්ඩුවත් හොඳටම ඇති.  අපි අලුත් ආණ්ඩුවක් එක්ක   ඉස්සරහට යන්න ඕන . අලුත් යූඑන්පී ආණ්ඩුවක් එක්ක ඉස්සරහට යන්න ඕන.  එහෙන් අදින  මෙහෙන් අදින ආණ්ඩුවක් නෙමෙයි” අලුත් මුහුණුවරක් සහිත අලුත් ආණ්ඩුවක් මේ රටට අවශ්‍ය‍යයි. ”

එතනදී  මංගල ඇමතිවරයා කියන්නේ දැනට පවතින බල අරගලය නැති තනි එජාප බලයක් සහිත ආණ්ඩුවක් රටට අවශ්‍ය බවයි. අදාළ පුවත්පත් උපදේශය පමණක් කියවන අයකුට ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වන්නේ වැරදි අදහසකි. එනම් පවතින ආණ්ඩුව පෙරළා දැමිය යුතුය යැයි ඇමැතිවරයා කීවා වැනි හැඟීමක්

ඇමතිවරයාට පහරදීම ජනමාධ්‍යත්  දේශපාලකයෝත්  උපයෝගී කරගන්නා රට පිළිබඳ ප්‍රකාශය අපි දැන් සලකා  බලමු. ඒ ප්‍රකාශයත් උපුටාගන්නේ ලංකාදීප පුවත්පතේ  අදාළ වාර්තාවෙන්. එය මෙසේයි. “මටත් ඕන නම් පුළුවන් අපේ සමහර සගයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න, මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නිසා තමුසෙට ඕන විදියට ජීවත් වෙන්න බැහැ කියල කියන්නෙ  නැහැ. මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් විතරක් නෙමෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ  බහුතරයක් සිංහල බෞද්ධයන් ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික හින්දු  ඉස්ලාම් සහ වෙනත් ආගම්වල අයත් ඒ රටේ ඉන්නවා.ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපට තියෙන  අයිතිවාසිකම් හැම එක්ක්ම තියෙනවා. අපි බෞද්ධ උන පලියට අපේ මතය  කාගෙවත් පිට පටවන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න ඕන”.

ඇත්ත  වශයෙන්ම  ඒ ප්‍රකාශය අතිශයින් නිවැරදියි. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියා මංගල ඇමතිවරයා කියන්නේ නැහැ. ඔහු කියන්නේ “මෙය සිංහල බෞද්ධ රටක් විතරක් නෙමෙයි” කියායි. නමුත් ජනමාධ්‍ය හෝ කුහක අවස්ථාවාදී බලලෝභී  දේශපාලකයන් සිංහල බෞද්ධ රටක් විතරක් නෙමෙයි යන්න සිංහල බෞද්ධ රටක් නෙමේ නෙමෙයි කියා “විතරක්” යන වචනය හලා සමාජගත කරනවා.

පසුගියදා  ත්‍රෛනිකායික මහනාහිමිවරු තමන්ගේ  නිවේදනයකදිත් කියා තිබුණේ සමහරු ඡන්ද  ප්‍රමාණය වැඩි කර ගන්න මෙය සිංහල බෞද්ධ රටක් නෙමේය කියා කියන බවයි. ඇත්තෙන්ම මහනායක හිමිවරුන් ජනමාධ්‍යත්  දේශපාලකයොත් මංගල ඇමතිවරයාගේ ප්‍රකාශයට  කළ විකෘති කිරීමෙන් නොමඟ ගොස් ඇති බව පේනවා .ජනමාධ්‍ය කී පළියට යමක් පිළි පිළිගන්නේ නැතිව ඒ පිළිබඳව වැඩිදුර සොයා බලා කටයුතු කරන්ට  මහනාහිමිවරුන් මෙන් ඉදිරියේදීවත් කටයුතු කරනවා නම් උන් වහන්සේලාටත් රටටත් වැදගත් බව මතක්කළ යුතුයි

ලංකාව සිංහල බෞද්ධ රටක් ඒ විදිහට ජීවත් වෙන්න බැරි නම් යන්න පුළුවන් කියා දින කිහිපයකට එපිට විමල්  වීරවංශ මන්ත්‍රීවරයා කියා තිබුණා විමල්ගේ එම  ප්‍රකාශය  ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශයක් බව කිසිවකු නො කීම රටේ අවාසනාවක්.  පසුගිය දිනවල තැන් තැන්වල දී මුස්ලිම්  ජනතාවට ප්‍රහාර එල්ල කළේ ජීවිතයක් බිලි ගත්තේ දේපල විනාශ කළේත් විමල්  වීරවංශගේ දර්ශනය අනුව කටයුතු කරන පිරිස් බව හිතන්න පුලුවනි. ගැටලුව වන්නේ  විමල්ගේ වර්ගවාදී ප්‍රකාශයට කිසිම විරෝධයක් නොදක්වන ජනමාධ්‍ය දේශපාලකයන් මහනාහිමිවරුන් මංගලගේ සාධාරණ ප්‍රකාශයට විරුද්ධව අවි ඔසවන්නේ කුමක් නිසාද යන්නයි. මෙරට ජනමාධ්‍ය බොහෝමයක් පෝෂණය වන්නේ මහින්දවාදී වර්ගවාදී අදහස් වලින් බව රටම දන්නවා. ඒත්  මහනාහිමි මහනාහිමිවරු?

මේ රටේ මෙතෙක් ඇතිවූ දෙමළ – සිංහල කෝලහල සිංහල – මුස්ලිම් කෝලාහල කළු ජූලිය, දිගන ,අලුත්ගම ගැටුම පසුගියදා මිනුවන්ගොඩ, අලුත්ගම කුලියාපිටිය වැනි ප්‍රදේශවල ඇති වූ විනාශයන් මේ සියල්ලටම හේතුව මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ගේත් බෞද්ධ, හින්දු ,කතෝලික ,ක්‍රිස්තියානි, ඉස්ලාම් සියලු ආගමිකයන්ගේ රට ලෙස සිතා ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් කටයුතු කරන්නට නොහැකි වීම ය. රටේ ජීවත්වන සියළු ජාතීන්ට සියලු ආගම්වලට සමාන අයිතියක් ඇති බව පිළිගන්නට සූදානම් නැතිවීයි . මංගල ඇමැතිවරයා පළ කරන අදහස පිළිගැනීමට සූදානම් නොවන තුරු මේ රටේ යළි යළිත් ජාතික ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇතිවීම වළක්වන්න බැහැ.

මංගල ඇමතිවරයා ගේ මූලිකත්වයෙන් මාතර දී ඇරඹුණු සාම කමිටු වැඩසටහන ජාතික සමගිය, ආගමික සමගිය රටේ ඇති කරන්නට හොඳ ප්‍රවේශයක් බව කියන්නට පුළුවනි. ජාතීන් සහ ආගම් අතර සමගියත් අන්‍යෝන්‍ය විශ්වාසයත් ගොඩ නගන්නට එවැනි වැඩසටහන් රටට අවශ්‍යයි. ඇත්තෙන්ම ජනමාධ්‍ය දේශපාලනයත් කළ යුතුව තිබුණේ මංගල ඇමතිවරයාගේ ප්‍රකාශයයක් විකෘති කරමින් ඔහුට පහරදී ම නොවෙයි. ඔහුගේ වැඩසටහනේ වැදගත්කම රටට පැහැදිලි කර දී ඊට අනුබල දීමයි. අවම වශයෙන් මහ නායක හිමිවරුන්ට වත් එම වැඩසටහනේ වැදගත්කම වටිනාකම අවබෝධ නො වීම අවාසනාවක්.

කෙසේ වෙතත් මාධ්‍ය, අවස්ථාවාදී දේශපාලකයන් මොනවා කීවත් මංගල ඇමැතිවරයාගේ ප්‍රකාශයේ නිවැරදි බවත් ඔහුගේ වැඩසටහනේ වටිනාකමත් එම උත්සවයට සහභාගි වූ පිරිසත් රටේ ප්‍රගතිශීලී මධ්‍යස්ථ මතධාරී ජනතාව වටහා ගන්න බවට සැකයක් නැහැ. මංගල ඇමතිවරයා කවදත් වාසි ඇති පැත්ත ගැන හිතනවා වෙනුවට සාධාරාධාරණය ඇති පැත්ත ගැන හිතා කටයුතු කළ තැනැත්තෙක් බව ප්‍රසිද්ධයි. මේ අවස්ථාවේත් අපි ඔහුට ආශීර්වාද කළ යුත්තේ ඔහුට ශක්තිය ලබා දිය යුත්තේ ඒ නිසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *