|

අන්තවාදී කුමන්ත්‍රණ ගැන අගමැති , මැති ඇමති කතාබහ

පසුගිය රජය සමයේ පෝෂණය කළ බවට විවිධ සාධක සහිත මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් ලෙස පෙරට පැමිණ පසුගිය අප්‍රේල් 21 වැනිදා මහා භීෂණයක් ඇති කළේය. එම අවස්ථාවේදී එය ඉතා ආයාසයෙන් දරා ගත් මෙරට ජනතාවට අස්වැසිල්ලක් වූයේ ආරක්ෂාව බාර ජනපතිවරයා රටේ හෝ නොසිටියදී  පැය කිහිපයක් යන්නට පෙර පොලීසිය ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක අංශ බිහිසුනු ත්‍රස්තවාදීන් රැසක් හා ඔවුන්ට අනුබද්ධ විශාල පිරිසක් අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය හා කඩු කිනිසි සමග අත්අඩංගුවට ගැනීමත් සමගය.

රට තුල දිනෙන් දින සාමකාමී පසුබිමක් ඇතිවෙමින් තිබියදී දේශපාලන අවස්ථාවාදය හා ජාතීන් අතර ගැටුම් ඇති කිරීම තම ජීවන වෘත්තිය කරගත් සිංහල අන්තවාදී සංවිධාන වලට මෙය දරාගත හැකි තත්වයක් නොවීය. එකී දේශපාලකයන් සහ අන්තවාදීන්ගේ මෙහෙයවීම මත කුරුණෑගල පුත්තලම ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජාතීන් අතර ගැටුම් ඇති කිරීම පසුගිය සතියේ සංවිධානාත්මකව ආරම්භ වූ බව බුද්ධි අංශ මෙන්ම් ආරක්ෂක අංශද අවබෝධ කරගෙන තිබිණ.

සඳුදා අරලියගහ මැදුරේදී කැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ ජාතීන් අතර අසමගිය ඇතිකරන කලකෝලාහල ඇතිවෙන මේ අවස්ථාවේදීද ජනපතිවරයා විදෙස්ගතව සිටියදීය. එහෙත් ජනපතිවරයා මෙවර විදේශ ගතවන විට ආරක්ෂක හා පොලීසියට අදාල ඇමතිවරයා ලෙස රුවන් විජයවර්ධන පත්කොට යාම මහත් අස්වැසිල්ලක් විය.

“රටේ ආරක්ෂාව ගැන වගේම ජාතිවාදී කලබල ඇතිකරන්න උත්සාහ කරන සියලු දෙනා ගැන දැඩිලෙස ක්‍රියා කිරීමේ වගකීම අපි ආණ්ඩුවක් හැටියට පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට පවරනවා. අපේ උපදෙස් අනුව ඇමති රුවන් අදාල වගකීම් ඉටුකරාවි” අගමැතිවරයා සඳුදා පැවැති රැස්වීමේදී ඇමතිවරුන්ට පැහැදිලි කළේය.

“83 වගේ කලු ජූලියක් ඇතිකරලා දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදීන්ගේ ඔඩොක්කුවට තල්ලු කරා වගේ මුස්ලිම් මිනිස්සුත් මුස්ලිම් ත්‍රස්තවාදයට තල්ලු කරන්නයි විපක්ෂයේ සමහරු හා අන්තවාදී සිංහල සංවිධාන වගේම වගකීමක් නැතිව ක්‍රියා කරන ඇතැම් ජනමාධ්‍ය උත්සාහ කරන්නෙ” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීය.

“මේ ප්‍රහාරයට අදාලව අපි එක එක්කෙනාට ඇඟිල්ල දික්කර ගැනීමෙන් ප්‍රශ්නය තවත් අවුල් වෙනවා. ඒ නිසා සියලු දෙනා එකතුවෙලා මේ ප්‍රශ්නය මාස 3න් ඉවර කරනවද අවුරුදු 3ක් දක්වා යනවද එහෙමත් නැත්නම් වසර 30ක කුරිරු යුද්ධයක් දක්වා තල්ලු කරනවද කියලයි දැන් අපිට තීන්දු කරන්න තියෙන්නෙ. පාඨලී චම්පික රණවක කීවේ ආවේගාත්මකවය.

කෙසේ වෙතත් එම අවස්ථාව වන විට ප්‍රදේශ කිහිපයක මුස්ලිම්වරුන්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබිණ. අදාල ප්‍රදේශ වලට පමණක් එම වෙලාවන් වලට ඇදිරිනීතිය පැනවීමටත් දිවයිනේ ඇනෙකුත් ප්‍රදේශ වලට රාත්‍රී කාලයේ පමණක් අත්‍යවශ්‍යනම් පමණක් ඇදිරිනීතිය පනවන ලෙස අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදුන්නේය. ඊට පසුදා අගමැතිවරයා සියලු රාජකාරි නවතා ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ වෙත ගියේ අවශ්‍ය ආරක්ෂක කටයුතු තවත් තර කිරීම සඳහා තීන්දු තීරණ ලබා දීමටය. එම චාරිකාව සඳහා රවී කරුණානායක, රාවුෆ් හකීම්, අකිල විරාජ්, ජේ.සී. අලවතුවල, ඉදුනිල් අමරසේන ඇතුළු මැති ඇමතිවරුන් එක් වූහ.

වෙනදා බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවන එජාප මැති ඇමතිවරුන්  මේ සතියේ බදදා උදයේම අරලියගහ මැදුරට පැමිණියේ අගමැතිවරයාද ආරක්ෂක කටයුතු සංවිධානය පහසුව සඳහා මේ දිනවල වැඩිපුරම එහි රැඳී සිටීම නිසාය.

“සති තුනකට පස්සෙ ජාතිවාදී කෝලහල ආරම්භ වීම නිසාම මෙතන දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි. ඊයෙ කුරුණෑගල, ගම්පහ චාරිකාව කොහොමද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.

“කෝලහල අවුලුවන සියලු දෙනාත් කෝලහල  අවුලන්න උත්සාහ කරනවා කියල ආරංචි වූ සියලු දෙනාත් අත්අඩංගුවට ගන්නයි මම නියෝග කළා. රට ගිනි තියන්න අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න බෑ” අගමැතිවරයා කීය.

“මිනිස්සු කලබල කරන තැන්වලට ආරක්ෂක අංශ වලට මිසක් දේශපාලකයන් ගිහින් වැඩේ තව ඔද්දල් කරන්න එපා කියල ආණ්ඩුවේ අයට උපදෙස් දීම වටිනවා. ඒත් දයාසිරි එතන්ට ඔලුව දැම්මෙ ඇයි? ඒක ප්‍රශ්නයක්.” චමින්ද විජේසිරි කීවේය.

“එයා එතෙන්ට ගිහිල්ලා කෝලහල වලට අත්අඩංගුව ගත් 6 දෙනෙක් නිදහස් කරගත්තෙ කොහොමද? හදිසි නීතිය තියන වෙලාවෙ පොලීසියට ඇප දෙන්න බෑනෙ. කාගෙ හරි ඉහළ ඕඩරේකුත් ඇවිල්ලා ඇති. ඒක ආවෙ පිටරට ඉදලද දන්නෙ නෑ” හේෂා විතානගේ කීවේ සිනාමැදය.

“දයාසිරි සැකකරුවො 6 දෙනා නිදහස් කරගත්ත මොරාල් එකටයි එතෙන්ට රැස්වෙලා හිටපු සෙනග ඊටපස්සෙ මුස්ලිම් අයට පහරදීගෙන ගිහිල්ල තියෙන්නෙ කියලයි පොලීසිය කියන්නෙ” මුජිබර් රහුමාන් කීවේය.

“කළු පාට ඩෙෆෙන්ඩර් එකකින් අර නාමල් කුමාර කියන පිස්සු මිනිහ එතෙන්ට ගිහින්. සහරාන්ගෙ බිරිඳගෙ ගම හෙට්ටිපොල නිසා එතනින් ජාතිවාදී කෝලහල පටන්ගන්නයි මොවුන්ගෙ ප්ලෑන් එක තියෙන්න ඇත්තෙ කියලයි බුද්ධි අංශ හිතන්නෙ” නවීන් දිසානායක කී දෙය සියලුදෙනාම අනුමත කළහ.

“දැන් හෙට්ටිපොළ හිටපු නාමල් කියන මිනිහට අමතරව සිංහල ජාතිවාදී සංවිධාන රැකියාව කරගත්ත තවත් දෙන්නෙක් පොලීසිය කොටුකරපු එක රටේ සාමයට ලොකු රුකුලක්. මෙයාල නිදහස් කරගන්නත් සමහරු උත්සාහ කරල තියනවා” වජිර අබේවර්ධන කීය.

“අද ඉංග්‍රීසි පත්තරේක මුස්ලිම් ත්‍රස්තවාදයේ විකාශනය ගැන චාට් එකක් තිබුණා. ඒකෙ නායකයෙක් කියල එක්කෙනෙකුගෙ නමකුත් තිබුණා. ඒ කතාව මොකක්ද?” නවීන් දිසානායක ඇසුවේ අගමැතිගෙනි.

“නෑ ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් වැරදියි. මම CID එකෙනුත් ඇහුවා. එයාල නිකුත් කරපු ප්‍රවෘත්තියක් නෙවෙයි. මේක හදපු ප්‍රවෘත්තියක් කියලයි දැන් පේන්නෙ.” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“මේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවන බවට බුද්ධි අංශ වාර්ථා කරල තියනකොටත් ජනාධිපතිතුමා පිටරට. දැන් මේ ජාතිවාදී කලකෝලහල සති 3කට පස්සෙ පටන්ගන්නකොටත් එතුමා පිටරට. මේකෙ සැකයක් නැද්දැයි හුහ දෙනෙක් අහනවා.” එජාප නීති නිලධාරියෙක් කතාව වෙන පැත්තකට යොමු කළේය.

“ජනාධිපතිතුමා 27 දෙනෙකුත් එක්ක මේ සමුළුවට ගිහින් තියෙන්නෙ. ඒක එච්චර වැදගත් සමුළුවක් නෙවෙයි කියලයි කියන්නෙ. වැදගත් සමුළුව තියෙන්නෙ බීජිං වල කියලත් ආරංචියි” රංජිත් අලුවිහාරේ කීවේ එවැන්නකි.

“මෙච්චර ආරක්ෂාව දීලත් දරුවො පාසල් එන්නෙ නෑ. ඒත් කිසිම ආරක්ෂාවක් නැති ටියුෂන් පන්ති වලට දහස් ගණන් එනවා. දෙමව්පියන් පුදුම විදියට හිතන්නෙ” නවීන් දිසාආයකගෙ විග්‍රහයට අගමැතිවරයාගේද දැඩි අවධානයට යොමුවිය.

“නවීන් කිව්වෙ වැදගත් කතාවක්. අද ලමයි අධ්‍යාපනය ලබන්න සූදානමක් නෑ. විභාග පාස්වෙන්න විතරයි ඔවුන් උත්සාහ කරන්නෙ. ටියුෂන් පිරෙන්නෙ ඒ නිසයි. ලමයි පාසැල් නොපැමිණීමෙ ගැටළුවට සමහර මාධ්‍යත් වගකියන්න ඕනෑ” අගමැතිවරයා කීවේය.

“දරුවන්ට පාසැල් එන්නයි ජන ජීවිතය ප්‍රකෘතිමත් වෙන්නයි ආරක්ෂාව ගැන මීට වඩා විශ්වාසයක් අවශ්‍යයි. ෆොන්සේකට වගකීම දුන්න නම් මිනිස්සු අතර ඒ විශ්වාසය ඇතිවෙනවා. ඒත් ඒක නොකෙරෙන එක අවාසනාවක්” නවීන් දිසානායක කී දේ සියලුදෙනා අනුමත කළහ.

“අර ඔබතුමාගෙ ලියුමෙ ප්‍රශ්නෙන් ඔබතුමා දිනුවා. ඒත් ඒ ලමයි තුන්දෙනා තාම ඇතුලෙ නේද?” චමින්ද විජේසිරි විමසීය.

“ඒක කැලෑ පත්තරයක් නම් රතුපාට ලියුම් පෙට්ටිවලට දාගෙන යනව මිසක් මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙනියන්න අපි ගොන්නුද?” ලක්ෂමන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

“ඒ ලමයි 3 දෙනා බලන්න පොලීසියට ගියපු ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර රටට ඉතා වැදගත් දැනුවත් කිරීමක් කළා. අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අගමැති ඇමතිවරු හෝ ඉහළ නිලධාරින් ඕනකෙනෙක් ලිඛිතව හා වාචිකව විවේචනය කරන්න  පුරවැසියෙකුට අයිතියක් තියනවා කියල රටට පැහැදිලි කිරීම මීටපෙර කිසිම නීතිඥයෙක් ජනතාවට පැහැදිලි කරල නෑ. ඒ නිසා නිශ්ශංක නානායක්කාර ජනතාවගේ අයිතීන් ගැන ඉතා වැදගත් දැනුවත් කිරීමක් කළේ.” හේෂා විතානගේ කී දේ සියලුදෙනා අනුමත කළහ.

“කාදිනල්තුමයි ටිල්වින් සිල්වායි මේ සතියෙ හොඳ කතා 2ක් කිව්වා. කාදිනල්තුමා කිව්වෙ මේ ප්‍රහාරයට වගකිවයුතු නිලධාරින් පමණක් නෙවෙයි ඉහළම දේශපාලන නායකයන්ද ඉවත්වෙන්න ඕන කියලයි. නැත්නම් ජනතාව විසින් ඉවත් කළයුතු බවත් උන්වහන්සෙ කිව්වා. ටිල්වින් කිව්වෙ මහින්ද-ඝෝටා එදා මුස්ලිම් අන්තවාදය මර්දනය නොකර පෝෂණය කරමින් තම පටු දේශපාලන අරමුණු වලට යොදාගත්තා කියලයි” මුජිබර් රහුමාන් කීවේය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *