බලය අහිමි වූ කණ්ඩායම් තම බලය අත්පත් කර ගන්න මෙම 21 වනදා සිදු වූ ප්‍රහාරය උපයෝගි කරගනිමින් ඉන්නවා – මහාචාර්ය චන්දන අබේරත්න

21 වනදා ප්‍රහාරයෙන් සති තුනකට පසුව උදාවෙලා තිබෙන තත්ත්වය පිටුපස විවිධ බලවේග ඉන්නවා. ඇතැම් කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලන වාසි ඉටුකර ගන්න 21 වැනිදා සිදුවූ අන්තවාදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය උපයෝගි කරගනිමින් ඉන්නවා. ඒ නිසා ඉස්ලාම් අන්තවාදී ක්‍රියාමෙන්ම එම මතවාද පරාජය කරනවා වගේම ජාතිවාදි දේශපාලන අවස්ථාවාදයන් පරාජයට  පත්කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතු බව අපගේ විශ්වාසයයි.ජාතික විද්වත් සංවිධානය මගින් බත්තරමුල්ල සුභූතිපුර ‘අවකාශ‘ මධ්‍යස්ථානයේ දී ඊයේ (15) පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවේ දී මහාචාර්ය චන්දන අබේරත්න මහතා එ සේ ප්‍රකාශ කළේය.

රටතුළ ඇති වන ප්‍රචණ්ඩත්වය තුළ අද අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වෙනවා. මහසොහොන් බලකාය කියන්නේ මනුෂ්‍යයන් නියෝජනය කරන සංවිධානයක් නොවේ. මහසෝනා කියන්නේ මනුෂ්‍යයෙක් නොවේ අමනුෂයෙක්. ඒ වගේම තවත් සංවිධාන තිබෙනවා ඒවායේ අදහස මෘත ශරීර අනුභව කරන සංවිධාන කියන එකයි. ඒ නිසා මේ ගැටුම් පිටුපස සිටින සියළු බලවේග පරාජය කළ යුතු අවස්ථාවක අප ඉන්නවා. බලය අහිමි වූ කණ්ඩායම් තම බලය අත්පත් කර ගන්න මෙම 21 වනදා සිදු වූ ප්‍රහාරය උපයෝගි කරගනිමින් ඉන්නවා. ඒ නිසා මේ අන්තවාදය පරාජය කරනවා සේම ජාතිවාදී අවස්ථාවාදයත් පරාජය කළ යුතුයි.

මෙම ගැටුම් වළින් නැවත 83 දී සිදුවූවා සේ කළු ජූලියක් නිර්මාණය වීමට ඉඩ නොතැබීම ආණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීමක් වෙනවා. ඒ නිසා  මේ අන්තවාදීන්ට අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

පසුගිය දා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් පිරිස් වගේම අත්අඩංගුවට නොගත් අපරාධ කරුවන් සිටිනවා. එම සිදුවීමට වගකිවයුතු ඇතැම් නිලධාරීන්ගේ, දේශපාලඥයින්ගේ නම් ජනතාව කියනවා. ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙයි කියා එම නිසා ආණ්ඩුව තම වගකීම බාරගෙන එම වගකීම නිසිලෙස ඉටු කළයුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට සාමාන්‍ය පරිදි තම ජන ජීවිතය ගත කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දියයුතුයි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *