කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ විස්තර පියා හෙළි කරයි

පසුගිය මස 21 වන දින පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළා යැයි සැලකෙන අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ වැඩි දුර විස්තර ඔහුගේ පියා විසින් ඊයේ (14) පැවත් මරණ පරීක්ෂණයේ දී හෙළිකරන ලදී.

 

කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ පුතකුවන මුවාත් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ හතර වැනියා බවත් ඔහු නීති විද්‍යාලයට සමත් වී නීතිය පිළිබඳ හැදැරීමට සූදානම්ව සිටි අයෙකු බවත් මෙහි දී හෙළිවිය. මුවාත්ගේ බිරිය බෝම්බ පුපුරන අවස්ථාව වන විට ගැබිනියකව සිටි අතර ඇය මීට දින දහයකට පෙර දරුවා ප්‍රසූත කර ඇත.

 

මීට ඉහත අලව්දීන් අහමඩ් මුවාත් ගේ ගුවන් නියමු පුහුණුවක යෙදෙන සහෝදරයෙක් සහ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන සහෝදරියක් අග්අඩංගුවට පත් වූ බව මට්ටක්කුලිය පොලීසිය විසින් දන්වා තිබුණ මුත් ඔවුන් ප්‍රකාශ වලින් කියැවුණේ ඔවුන් මුවාත්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන තොරතුරු නොදන්නා බවය. මරණ පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ විභාග වූ අවස්ථාවේ සාක්ෂිදුන් 59 හැවිරිදි අහමඩ් ලෙබ්බේ අලව්දීන් යන බෝම්බකරුගේ පියා මෙසේ ද පැවසීය.

 

මගෙ පුතා ඉගෙනුම ලැබුවේ විදේශගතවයි. නීති උපාධිය ලබාගත්තේ මීට මාස හයකට ඉස්සරවෙලා. එයා මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගන්නා විට කොළඹ නීති විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියා. ඒ වෙනකොට එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියේ. දවස් දහයකට පෙර ඒ දරුවා ලැබුණා.

 

මම ව්‍යාපාරිකයෙක්. අංක 121/3, මධ්‍යම පාර, මට්ටක්කුලිය ලිපිනයේ ජීවත් වෙන්නේ. මම විවාහකයි. මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා.  මෙම සිද්ධියෙන් මියගියේ මගේ හතරවැනි පුතා. ඔහු විවාහවෙලා හිටියේ කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ සිටිය සෙයිදුන් අඳුල් කියන කෙනා එක්ක. පුතා විවාහ වෙලා අවුරුද්දයි මාස දෙකක් වෙනවා. පුතාගේ වයස අවුරුදු 22යි. එයාගෙ බිරිදට දරුවෙක් ලැබෙන්න ආසන්නව හිටියා. පසුගිය 5 වැනිදා දරුවා ලැබුණා. දැන් දරුවට දවස් 10යි. පුතා රැකියාවක් කළේ නැහැ. මගෙ ෂෙඩ් එකක වැඩ බැලුවා. මාසෙකට වියදමට මම රුපියල් 30.000/-ක් විතර දුන්නා. එයාගේ නීති උපාධි ප්‍රධානෝත්සවය තිබුණේ 2018 ඔක්තෝම්බර් මාසේ. එයා ලෝ කොලේජ් එකට පාස් වෙලා මේ අවුරුද්දේ ඉඳන් ලෝ කොලේජ් යන්න තමයි ලෑස්තිවෙලා හිටියේ.

 

පුතා කසාද බැන්දට පස්සෙ තමයි සයින්ද මරුදු ගියේ. හිටපු ගමන් එයා කොළඹ එනවා. ඒ අවාම දවස් කෙ තුනක් ගෙදර ඉඳලා යනවා. අන්තිමට එයා අපිව බලන්න ආවේ අප්‍රේල් මස 14 වැනිදා. මගෙ ලොකු දුවට ඒ කියන්නේ, මුවාත් පුතාගේ අක්කට 13 වැනිදා බබෙක් ලැබුණා. එයා ආවේ අක්කාගේ ළමයා බලන්නයි. එදා දවසම අපිත් එක්ක ඉඳලා රෑ 9 ට විතර කල්මුණේ යන්න බස් එක ගන්න කොළඹ ගියා. එයා එයාගේ බිරිඳට ලැබෙන්න හිටිය දරුවට ඇඳුම් පවා හදලා තිබුණේ. ඊට පස්සේ පුතා අපිට කතා කළේ නැහැ. නමුත් සිද්ධිය වූ දවසේ උදේ 11.30ට විතර පුතාගේ බිරිඳ මගෙ ලොකු පුතාට කතා කරලා අහලා තිබුණා එයා ආවද කියලා. එතකොට පුතා කිව්වා මහේ ආවේ නැහැ කියලා. ‘මම මඩකලපුවේ ඉන්නේ මම ආපු වාහනේ කැඩුණා, කියලා  වට්ස්ඇපි කෝල් එකක් අරගෙන එයාගේ බිරිඳට කිව්වා කියලා එයා ලොකු පුතාට කියලා තියෙනවා.

 

ඊට පස්සේ අපි හොයලා බැලුවා. අපිට තොරතුරක් ලැබුණේ නැහැ. ඊට පසුවදා සී.අයි.ඩී. එකෙන් මට කතා කළා. පසුව මම සී.අයි.ඩී. එකට ගිහින් ප්‍රකාශයක් දුන්නා මගෙ පුතාගේ පින්තූරයකුයි, රියැදුරු බලපත්‍රයයි මට පෙන්නුවා. මම ඒක අඳුන ගත්තා. මගේ පුතාගේ හිස කොටස අද මම අඳුනගත්තා.

 

මුවාත්ගේ ඥති සහෝදරයා වූ බොහොමද් ස්ව අහමඩ් (28) සාක්ෂි දෙමින් මෙසේ කීවේය. ‘මම එයාව අන්තිමට දැක්කේ අප්‍රේල් මාසේ 14 වැනිදා. මගේ බිරිඳට දරුවා ලැබුණා. දරුවා බලන්න තමයි එයා ආවේ. මල්ලී දෙවැනි මස්සිනාට ලියුමක් එවලා තිබුණා අපි ඒක දැක්කේ 22 වැනිදා. සිද්ධියෙන් පස්සෙ දවසේ. ඒ ලියුමේ තිබුණේ. ‘මාව හොයන්න එපා. මම මීට පස්සේ එන්නේ නැහැ. අම්මයි තාත්තයි හොඳට බලාගන්න. කියලයි.

 

මනෝජ් රූපසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *