පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන්න – ජාතික විද්වත් සංවිධානය මාධ්‍ය නිවේදනයක් මගින් ඉල්ලා සිටියි

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ඉරු දින සිදුකරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුකොට ගෙන අන්ත ජාතිවාදී කණ්ඩායම් විසින් පොදු මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකෙරන සියලු එදිරිවාදිකම් සහ ඔවුන්ගේ දේපලවලට හානි සිදු කරීම වැනි සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නොපමාව ක්‍රියාකාරීව මැදිහත් වන ලෙස ජාතික විද්වත් සංවිධානය රජයෙන් සහ සියලු ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පුරා සති තුනක් පවත්වාගෙන ආ සාමකාමී වාතාවරණය බිඳ දමන සිදුවීම් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් වන අතර, අන්තවාදී අතළොස්සකගේ මෙම මිලේච්ඡ ක්‍රියා ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වීම වැළැක්වීම මේ මොහොතේ රජය ඇතුළු සියලු පාර්ශවයන්ගේ වගකීම වන්නේය. 1983 ජූලි මාසයේ ඇති වූ ජාතිවාදී කෝලාහල වසර 30ක සිවිල් යුද්ධයකට රට ඇද දැමූ බව සිහිපත් කරන අතර එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සැමගේ වගකීම බව ජාතික විද්වත් සංවිධානය අවධාරණය කරයි.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඒ පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගීමට රජය මුළුවනින්ම අසමත් වී ඇත. ජනතාව තුළ බිය හා සැකය වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් සමත් වී ඇති අතර ඔවුන් අභිමුවේ රජයේ අසාර්ථකත්වය වඩාත් කැපී පෙනේ.

ඒ අනුව පාසැල්, කාර්යාල, කම්හල් වසා නගරය මං මාවත් පාලුවට ගොස් සති තුනක් පුරා රටම එකතැන නතර වී අරාජික තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළු කැබිනට් මණ්ඩලය සහ මෙම ආණ්ඩුව මෙම අර්බූදය හමුවේ මුළුමනින්ම අසර්ථක වී ඇති අතර  රට අරාජිකත්වයකට ගෙනනයාමට මෙම අසාර්ථකත්වය හේතු වී ඇත. සති තුනක් පුරා පැවතී සාමකාමීත්වය බිඳීගොස් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනයහේතු වී ඇත්තේ මෙම අරාජිකත්වයයි.

එබැවින් රට තවදුරටත් ආරාජිකත්වයට ගෙන යන මෙම ක්‍රියා අවසන් කිරීමට පටු දේශපාලන අවස්ථාවාදය ඉවත දමා එක්ව කටයුතු කරන ලෙස ජාතික විද්වත් සංවිධානය ජනාධිපතිවරාට සහ අගමැතිවරයාට බලකර සිටින අකර ජාතිවාදි බෙදීම් වර්ධනය කරන පටු දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු නොකරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් සහ නායකයින්ගෙන් ඉල්ලා සිටී.

වසර 30ක් රට ආපස්සට ඇද දැමූ කුරිරු යුද්ධයේ අමිහිරි මතකය යළි යළිත් සිහිපත් කරන මෙම අමානුෂික සිදුවීම වහාම නතර කර එකමුතුව සමගි සම්පන්නව ශ්‍රී ලංකිකයන් ලෙස මෙම දේශපාලන අවස්ථාවාදයත් සියලු ආකාරයේ ජාතිවාදයත් තිරසාර ලෙස පරාජය කර යුක්තිගරුක සාධාරණ දේශයක් බිහිකිරීමට වඩා ඉවසිලිවන්තවත් බුද්ධිමත්වත් කටයුතු කිරීමට අප හා එක්වන ලෙස ජාතික විද්වත් සංවිධානය සියලු ජනතාවට ආයාචනය කර සිටී.

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ප්‍රධාන ලේකම්

ජාතික විද්වත් සංවිධානය

14.05.2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *