|

පාප්තුමාගේ දණ්ඩ නමස්කාරය – නිශාන්ත කමලදාස

මේ ලිපිය ලියුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ය. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග වෙනත් සංවාදයට ලක් කළ යුතු කාරණා තිබුනු නිසා මෙය පුවත්පතට එවීමට පමා විය. එසේ වුව ද කිසිදු සංශෝධනයකින් තොරව ලිපිය එලෙසම යොමු කරන්නේ එහි අදාළත්වය ප්‍රහාරයට පසු ද අකුරක් නෑර එසේ ම පවතින නිසා ය. සැබෑ ලෙස සිදු ව ඇත්තේ එහි අදාළත්වය වෙනදාට ද වඩා ඉහළ ගොස් තිබීම ය.

පාප් තුමා සුඩාන නායකයන් ඉදිරියේ දණ නමා වැඳ දෙපා සිඹ ඉල්ලා සිටියේ යුද්ධය අවසන් කරන ලෙස ය. යුද්ධය, යුද්ධ කර අවසන් කරන ලෙස නොව එසේ නොකර අවසන් කරන ලෙස ය. නොපමාව සාමය ගෙනෙන ලෙස ය. යුද්ධයෙන් බැටකන ජනතාවට සරණක් වෙන ලෙස ය. ඔවුන්ගේ වේදනා අඳුනා ගන්නා ලෙස ය.

පාප්තුමා සිරිතක් ලෙස ශුද්ධ වූ බ්‍රහස්පතින්දා සිරකරුවන්ගේ පාද සිඹ ආචාර කරන බව සත්‍යය වුව ද දේශපාලන නායකයන් ඉදිරියේ සාමය ඉල්ලා වැඳ වැටුනු මුල් අවස්ථාව මෙය වෙයි.

කතෝලික ආගමේ ප්‍රධානියා ලෙස සැළකෙන එතුමා මෙසේ වැඳ නමස්කාර කිරිම හරහා කර ඇත්තේ යුද්ධයට ආවඩන අයට අතුල් පහරක් දීම ය. එය අපේ කණේ වදින්නේ කඳ හරහා එල්ල කළ පහරක් ලෙසින් ය. ඒ අපේ ආගමික නායකයන් බොහෝ දෙනෙකු යුද්ධයට ආවැඩූවන් නිසා පමණක් නොවේ. අපේ බොහෝ ආගමික නායකයන්ට කිසි දා මේ තරම් නිහතමානී වීමට නොහැකි ද නිසා ය.

පාප් තුමාගේ හම සුදු ය. වැඳ වැටෙන්නේ කල්ලන් ඉදිරියේ ය. එතැන ද ඇත්තේ පණිවුඩයකි. බරපතල පණිවුඩයකි. ඒ හමේ එහෙමට යමක් නැතැයි කියන්නට ය.

එපමණක් නොවේ. එතුමා ආගමික නායකයෙකි. වැඳ වැටෙන්නේ ගිහියන්ට ය. එතැන තව පණිවුඩයකි. තමන් අතිශය ලොකු මිනිසුන් යැයි පුම්බාගෙන ඉන්නා, ලොව පුරා වෙසෙන, විවිධ ආගම්වලට අයත් පූජකයන්ට, තමන් කළ යුත්තේ ප්‍රතිරූප පුම්බා ගැනීම නොව, අසරණ මිනිසුන් වෙනුවෙන් සිය ගෞරවය කැප කිරීම යැයි කියන්නට ය.

මේ සියල්ල තුළින් කියන්නේ වැඩය වැදගත් නම් කළ නොහැකි දෙයක් නැති බව ය. සාමය වෙනුවෙන් ඉතිරි සියල්ල කැප කළ හැකි බව ය. කැප කළ යුතු බව ය.

පණිවුඩය එතැනින් ද අවසන් නොවේ. යුද්ධය නැවත්විය හැක්කේ දෙවියන්ට නොව මනුෂ්‍යයින්ට බව බය නැතුව කීමට එතුමා එයින් අවස්ථාවක් ලබා ගන්නේ ය. දෙවියන් සර්වබලධාරී නොවන බව එතුමා ඒ මගින් නොකියා කියන්නේ ය. කියවෙන්නට හරින්නේ ය. තමන්ගේ ප්‍රශ්න විසඳන ලෙස දෙවියන් ඉදිරියේ කන්නලව් කරනවාට වඩා තමන්ම ඉදිරිපත් ව ඒවා විසඳා ගැනීමේ වැදගත් කම එතුමා පහදන්නේ ය. දෙවියන්ගේ සර්වබලධාරී ප්‍රතිරූපය රැකීමට වඩා යුද්ධයෙන් අසරණ වූවන්ට පිහිට වීම වැදගත් බව එතුමා පසක් කරන්නේ ය. ලොවට කියන්නේ ය.

මේ හරහා යුද්ධයට ප්‍රතිපක්ෂ බලවේගයන්ට එතුමා ආශිර්වාදයක් වන්නේ ය. තල්ලුවක් දෙන්නේ ය. ශක්තියක් සපයන්නේ ය. යුද්ධයෙන් පීඩා විඳින්නන්ට ජිවිතය ගැන බලාපොරොත්තු දල්වන්නේ ය. නව අපේක්ෂා ඇති කරන්නේ ය.

අත් හරින්නට බැරි දෙයක් නැත

එතුමාගේ මේ මැදිහත් වීම අප දැක පුරුදු ආගමික නායකයන්ගේ හැසිරීම නොවේ. බොහෝ ආගමික නායකයන් කරන්නේ තම බලය පෙන්වා නියෝග දීම ය. තර්ජනය කිරීම ය. නොකෙරුනොත් වග බලා ගන්නා බවට වහසි බස් කීම ය. ඒ වෙනුවට මෙතැන ඇත්තේ වැඳ වැටීම ය. වැඳ වැටී ඉල්ලන්නේ දුර්වල මිනිසුන් යැයි තිබෙන සමාජ මතය පාප්තුමාගේ මේ හැසිරීමෙන් සුන්නද්ධූලි වී යන්නේ ය. එතුමා කතෝලික ආගමේ ප්‍රධානියා ය. සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ජීවමාන ප්‍රධාන අනුගාමිකයා ය. එසේ වීත් වැඳ වැටෙන්නේ මේ පණිවුඩය නොසළකා හැරිය යුුතු නැතැයි කියන්නට ය. මග නොහරින්නැයි කියන්නට ය.

සාමාන්‍යයෙන් සිදුවන්නේ සෙසු ගැත්තන් ආගමික නායකයන් ඉදිරියේ වැඳ වැටීම ය. එසේ වැඳ වැටුනු මිනිසුන්ට උඩ සිට අවවාද අනුශාසනා කිරීමට ය. අප හොල්මන් කරවන්නේ මේ වෙනස ය.

ජේසුස් වහන්සේ සාමයේ දූතයා ය. මේ ඉන්නේ එතුමා ගිය මග ම ගමන් ගන්නා එතුමාගේ අග්‍රගණය අනුගාමිකයා ය.

පල්ලිය ඉතිහාසයේ එක් යුගයක නියෝජනය කළේ යුද්ධය ය. කුරුස යුද්ධ වල දී මියගිය ගණන අති මහත් ය. තුවාල ලැබූ පීඩාවට පත් ජනතාව අතිමහත් ය. පල්ලියේ ක්‍රෑර කම් එතැනින් අවසන් වූයේ නැත. විවිධ චෝදනා යටතේ අහිංසක මිනිසුන් ගැහැණුන් වධබන්ධනයටත් මරණයටත් පත් කරන ලද්දේ ය. ඒ කළු පැල්ලම් සහිත ඉතිහාසය ජේසුස් වහන්සේ නියෝජනය කළේ නැත. ක්‍රිස්තියානිය ව්‍යාප්ත කළේ ද එක් අතක බයිබලය ද අනෙක් අත තුවක්කුව ද දරා ගත් හමුදාවල අනුග්‍රහය යටතේ මිනිසුන් දණ්ඩනයන්ට යටත් කිරීමෙන් ය. බලාහත්කාරය යෙදවීමෙන් ය. තනතුරු ප්‍රදානයෙන් අල්ලස් දීමෙන් ය.

පාප්තුමා වැඳ වැටෙන්නේ සුඩාන නායකයන් ඉදිරියේ පමණක් නොව මුළු ලොව ම ඉදිරියේ යැයි මට හැගෙන්නේ ඒ නිසා ය. පල්ලියේ බොහෝ පව් මේ වත්මන් පාප් තුමා විසින් සමා කරමින් තිබෙන්නේ ය. එතුමා ලෝකයට යම් පණිවුඩයක් දීමට වෙනස් පණිවුඩයක් දීමට තැත් කරන්නේ ය.

ආගමෙන් ඈත් වීම

බොහෝ දියුණු රටවල මිනිසුන් පල්ලි වලින් ඈත් වෙමින් සිටින්නේ ද ජේසුස් වහන්සේගේ පණිවුඩය වෙනුවට වෙනත් අටමගලයක් ක්‍රියාත්මක වෙන නිසා ය. වත්මන් පාප් තුමා ඒ සම්බන්ධයෙන් සංවේදී බව එතුමාගේ බොහෝ ක්‍රියාවලින් පෙන්නුම් කර තිබෙන්නේ ය. මේ සිද්ධිය එම ක්‍රියාදාමය තුළ තවත් මැණිකක් වනු නොඅනුමාන ය.

ආගම අවශ්‍ය වන්නේ බෙදා වෙන් කිරීමට නොවේ. ඒ සඳහා ආගම නැතිව වුනත් හදා ගන්නට හේතු ඕනෑ තරම් තිබේ. අවශ්‍ය මිනිසුන් සහෝදරත්වයෙන් එකතු කිරීම ය. එහෙත් ආගමේ ඉගැන්වීම් වෙනුවට චාරිත්‍රවාරිත්‍රවල සරණ යෑමත් සංකේතවල සරණ යෑමත් නිසා සිදු ව ඇත්තේ මිනිසුන් එකිනෙකාට එරෙහිව ගහ මරා ගැනීම ය. මේ නිසා ම බුද්ධිමත් මිනිසුන් ආගමෙන් වේගයෙන් ඉවත් වෙමින් තිබේ. ඔය කියන සංකේත වලට ඇති වටිනාකම අඩුවූ තරමට මානුෂික සබඳතා ඉදිරියට එනු ඇත. ආගමට, එනම් ධර්ම කාරණාවලට, වැඩි වැදගත් කමක් ලැබෙනු ඇත. විචාරශීලී බුද්ධිමතුන් ආගම කෙරෙහි ඇද ගත හැක්කේ එවන් මැදිහත් විමකට පමණකි. පාප් තුමා මේ ගැන විශේෂයෙන් සබුද්ධික වී ඇති බව පෙනේ.

ආගම අවශ්‍ය වන්නේ නැති ප්‍රශ්න ඇති කිරීමට නොවේ. දැනටමත් ගිහියන්ට තිබෙන ප්‍රශ්න ඉහටත් උඩින් ය. අවශ්‍ය තිබෙන ප්‍රශ්නවලින් නිදහස් වීමට ය. උපත් පාලනයට තිබෙන සීමා ඉවත් කිරීමට ද ඒඩ්ස් නිවාරණය උදෙසා උපත් පාලන කොපු පැලඳවිම සම්බන්ධයෙන් තිබූ පල්ලියේ ඊනියා ආචාරධර්මික විරෝධයන් ඉවත ලීමට ද සුවිශේෂී තත්වයන් යටතේ ගබ්සාව නීත්‍යානුකූල කිරීමට ද වෙනස් ලිංගික නැඹුරුතාවයන් පිළිබඳ මැදිහත් සිතින් බැලීමට ද වැනි කටයුතු තවදුරටත් සිදු විය යුතු ය.

ආගම අවශ්‍ය වන්නේ ආදරය කරන්නන් වෙන් කිරීමට නොවේ. ආදරයට තහංචි පැනවිමට නොවේ. සියල්ලන් ආදරයෙන් බැඳ තැබීමට ය.

ආගම අවශ්‍ය වන්නේ සියල්ලන් එක කෝවක දා එකම ජාතියේ බඩු බවට පත් කිරීමට නොවේ. අප අතර තිබෙන වෙනස් කම් අගය කිරීමට අපට ශක්තියක් වීමට ය. විවිධත්වය ඉවසීමට අපට ධෛර්යයක් දීමට ය.

විචාරශීලීව බැලීම

පල්ලිය විසින් අතීතයේ කියන්නට කරන්නට යෙදුණු දේ සම්බන්ධයෙන් විචාරශීලී වීම මේ සඳහා අවශ්‍ය ය. එය පල්ලිය සම්බන්ධයෙන් පමණක් නොව පන්සල ඇතුළු වෙනත් ආගමික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද එක සේ ඇත්ත ය. මේ ලිපිය තුළ පල්ලිය ඉදිරියට ආවේ පාප්තුමාගේ ඉදිරිගාමි වැඩ කටයුතු නිසා ය. එතුමා ඇතැම් විට තම ක්‍රියාකාරිත්වය මගින් සෙසු ආගමික නායකයන්ට ද තල්ලුවක් ලැබිය හැකි නිසා ය.

අද මේ බොහෝ තැන් වල මතවාදයන් සකස්ව ඇත්තේ සිය ශාස්තෘන් වහන්සේලාගේ දර්ශනයන්ට අනුව ම නොවේ. ඒවා කාලයක් තිස්සේ විවිධ වෙනස්කම් වලට අසුව විකෘති වී තිබේ. නැවත හැඩ ගැසී තිබේ.

ශාස්තෘන් වහන්සේලා තමන්ගේ යුගයට අනුව ඉදිරිගාමී සුවිශේෂ මිනිසුන් වූ බව ඇත්ත ය. එහෙත් ඔවුන්ට අද අප ජිවත්වන ලෝක සන්දර්භය පිළිබඳ වැටහීමක් තිබුනා වන්නට බැරි ය. ඒ නිසා ම ශාස්තෘන් වහන්සේලා දේශනා කළ හැම දෙයක් ම දේව වාක්‍ය ලෙස ගන්නේ නැතිව අප නැවත විමසිය යුතු ය. ඔවුන්ගේ ධර්මයන් තුළ අප සෙවිය යුත්තේ අරටුව ය. පිට පොත්ත නොවේ. බොහෝ ආගම් අද අනාථ ව ඇත්තේ ඇතුළත හරය වෙනුවට පිට පොත්ත බදා ගැනීම නිසා ය.

පාප් තුමා සිය වැඳිමෙන් පහර දී ගලවා ඇත්තේ පිට පොත්ත ය. ඒ අපට, ඇස් ඇත්තන්ට, අරටුව බලා ගැනීම පිණිස ය.

ඒ අතින් බෞද්ධ අප අසරණ ය. අපට අපේ ආගම් තුළින් එවන් නව නායකත්වයක් අපේක්ෂා කරනු පිණිස තව බොහෝ කල් බලා සිටීමට සිදු වනු ඇත.

එයින් අදහස් කරන්නේ බලාපොරොත්තු අත්හැර ගත යුතු බව නොවේ. අපට ද මේ යථාව ගැන සංවේදි සංඝයා වහන්සේලා සමූහයක් සිටින්නෝ ය. ඒ අතර ඉදිරියෙන් සිටින හිමිනමක් වන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ය. පසුගිය දා දෙරණ රූපවාහිනියේ “චතුර සමග“ වැඩසටහනට සම්බන්ධ වූ ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණෝ ද වත්මන් පාප්තුමා ගැන සිය සංවාදයේ දී සටහන් කිරීමට වග බලා ගත්හ.

ධම්මානන්ද හිමියන්ගේ දැක්ම

එහිමියන් වැඩි දුරටත් කීවේ අප ආගම දෙස නැවත හැරී බැලිය යුතු බව ය. බුදු දහම විචාරශීලිත්වයට මග පාදන දහමක් බව එහිමියෝ අපට දක්වා සිටියා පමණක් නොව කාලයත් සමග ආගමට බොහෝ කුණු කන්දල් එකතුව ඇති බව ද මතක් කරමින් ඒ නිසා ම විචාරශීලී වීම වැදගත් බව ද කියා සිටිය හ. සංකේත වන්දනාව නිසා මානුෂික සම්බන්ධකම් යටපත් ව තිබීම ගැන සංවේගයන් කතා කළ එහිමියන් කීවේ චාරිත්‍ර වැදගත් වන්නේ ඒවායේ අර්ථය දැන කරන පමණින් බව ය.

රටතුළ තවමත් මිය නොයා පවතින වැඩවසම් සම්බන්ධතා ශාසනයට බලපා හැටි ගැන අදහස් පළ කළ එහිමියෝ නිකාය භේදයක් පැවතීමම ලජ්ජාවට කරුණක් බව ද කීහ. නව පරපුරේ භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳ වඩා සබුද්ධිකව සළකා බලා අවශ්‍ය වෙනස් කම් කරනු ඇතැයි ද හිමියෝ පැවසූහ.

කිසිවෙකු විවේචනය කිරීමට අකමැති වූ හිමිපාණන් කියා සිටියේ බොහෝ දෙනෙකු අසරණ බව ය. ඔවුන් ඒ තත්වයට පත්ව ඇත්තේ විවිධ සමාජ බලවේගයන් විසින් මෙහෙයවනු ලැබීමෙන් බව ය. ඒ අය ඉවත් කරනු වෙනුවට, එ් අය පරාජය කරනු වෙනුවට, ඔවුන් ව වෙනස් කර යන ගමනක් ගැන එතුමෝ බලාපොරොත්තු රැඳ වූහ. කෙනෙකු පරදවා ලබන ජය තාවකාලික බව පසක් කළ ධම්මානන්ද හිමියන් බලාපොරොත්තු තබන්නේ එක් වී ලබන ජය ගැන ය. ඒ නිසා ම යුද්ධය ජයක් ලෙස තමන් නොසළකන බව ද සඳහන් කළහ.

බුද්ධාගම අද විශාලම වෙළඳ ව්‍යාපාරවලින් එකක් වි තිබීම කණගාටුවට කරුණක් බව සඳහන් කළ එහිමියෝ රේට්න් වැඩි කර ගැනීම සඳහා තරඟයට විවිධ මාදිලියේ පිරිත් විකාෂණය කරනවාට වඩා වැඩි යමක් මාධ්‍යවලට කළ හැකි බව ද පෙන්වා දුන්හ.

අප හකුළුවා දැක්වූයේ එතුමන් සඳහන් කළ අදහස් වලින් ඉතා ස්වල්පයක් පමණකි. පැයකට අධික කාලයක් පුරා පැවැත්වෙන එම සාකච්ඡාව ආගම බේරා ගැනීමට කැමති සෑම කෙනෙකු විසින් ම බැලිය යුතු ය. එය යූටියුබ් හරහා මේ වනවාට හැට හතරදහසකට අධික පිරිසක් නරඹා තිබුනු අතර ඔබට ද ඔවුන් හා එක්වන ලෙස අපි ආරාධනා කරමු.

වෙන්කරනවා වෙනුවට එකතු කර ගැනීම

අප කැරලි කෝලාහල වලින් ද යුද්ධයෙන් ද අපමණ බැට කා ඇති රටකි. ඒවායින් තුවාල ලැබූ රටකි. ඒ තුවාල නිසා තවමත් ශාරීරිකව ද මානසිකව ද විඳවන රටකි. විනාශ වී ගිය රටකි. එහෙත් ඒ එකකින් වත් හරිහමන් ඉගෙනීමක් නොලද රටකි. ඒ නිසා ම සුඩානයට මෙන් ම සාමයේ පණිවුඩය අපට ද වැදගත් ය.

යුද්ධයේ පදනම බෙදීම ය. ඉරි ගසා වෙන් කිරිම ය. උන් හා අපි ලෙස දැකීම ය.

අපට වඩා වෙනස් නිසාවෙන් මිනිසුන් ඉවත් කර තැබීමට කටයුතු කිරීම පහසු ය. බොහෝ දෙනෙකු අනුයන්නේ ඒ පහසු මාර්ගය ය. අදහස අපට රජ කර ගෙන සිටිමට ය. අවාසනාවට එය ඇතැම් ආගමික නායකයන් විසින් ද හරි හරියට පතුරුවනු ලැබේ. දේශපාලන නායකයින් විසින් එය උඩ දමමින් චන්ද කොල්ලයෙහි ද යෙදෙනු අපට දක්නට ලැබේ.

අවශ්‍ය වන්නේ වෙනස් අය සමග එකට ජීවත් වීමට ඉගෙන ගැනීම ය. ඒ වෙනස් කම් වලට ගරු කරමින් ඒ අය ද අපේ අය ලෙස ගැනීම ය. අප මෙන් ම ලෙයින් මසින් සෑදුනු අප වැනි ම මිනිසුන් ලෙස ගැනීම ය. උන් සමග බලය බෙදා ගැනීම ය. අපට මෙන් ම උන්ට ද තමන්ට ආවේණික අපේක්ෂාවන් තිබෙන බව පිළිගැනීම ය. ඒවාට ද ඉඩ හසර මේ රට තුළ තිබිය යුතු බව පිළිගැනීම ය.

වෙනත් ආගමික නායකයන් ද ඉන්නා තැනක සුදු රෙදි ඇතිරූ පුටුවක වාඩි නොවීමට ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පරිස්සම් වන බව එදා සාකච්ඡාවේ දී අනාවරණය විය. සුවිශේෂ ගෞරවයක් ලැබීම, සෙසු ආගමික පූජකයන්ට එවැන්නක් අහිමි වෙද්දී ලැබීම, නොතරම් නිසා තමන් එසේ කරන බව උන්වහන්සේ එහි දී සඳහන් කළ හ. එයින් සංකේතවත් වන්නේ ඒ අය ඉවත් කර ලබන ගෞරවය සම්බන්දයෙන් උන්වහන්සේගේ ඇති අකමැත්ත ය. බෙදා වෙන්කර තැබීමට ඇති අකමැත්ත ය.

දකුණේ මිනිසුන් මේ තරමට සංවේදී වූයේ නම් ඇතැම් විට උතුරට වෙන ම පාලනයක් ඉල්ලා උන් හඩ තලන එකක් නැත. එයින් අදහස් වන්නේ ඒ පළාතේ කටයුතු තමන්ට රිසි පරිදි කර ගැනීමට ඉල්ලීම අයුක්ති සහගත බව නොවේ. එය දැඩි ඉල්ලීමක් බවට පත් වීමට දකුණේ අසංවේදිත්වය ද බල පෑ බව ය.

හැත්තෑව දශකයේ උතුරේ රාජකාරි කළ හමුදා භටයෙකු පැවසුවේ එකල යාපනය පොලීසිය ඉදිරියෙන් පාපැදියක නැගී තරුණයෙකුට ගමන් කළ නොහැකි වූ බව ය. ඒ කියන්නේ පාපැදියෙන් බැස එය ද තල්ලු කර ගෙන පයින් ගමන් කළ යුතු ව තිබූ බව ය. ඔහුට අනුව යුද්ධයක් ඇති වීම ඒ තත්වය යටතේ පුදුමයට කරුණක් නොවී ය. පුදුමය සේ ඔහු දැක්කේ එවැන්නක් නොවුනා නම් ය.

ලංකාවට වැරදුනේ ප්‍රධාන වශයෙන් ම ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් උත්තරයක් දීමට එය අපොහොසත් වීම නිසා ය. දෙවනුව, ආර්ථිකය මිනිසුන්ට රැකියා උත්පාදනය කරලීමට තරම් ප්‍රමාණවත් ලෙස ප්‍රසාරණය නොවිම ද නිසා ය. දෙවැනි කරුණ උග්‍ර කිරීමට පළමුවැන්න නැවත වතාවක් උල්පන්දම් සැපයූ බව තේරුම් ගන්නා කෙනෙකුට අංක එකේ ප්‍රශ්නය කුමක් දැයි තේරුම් යනු ඇත. පාප්තුමාගේ මැදිහත් වීම ලංකාවට ගෙනා අතිශය වැදගත් සාධනීය පණිවුඩයක් ලෙස දැකිය හැක්කේ ද දැකිය යුත්තේ ද ඒ නිසා ය. නැවත ගැටුම් ඇතිවිය හැකි සෑම ඉඩක්ම තුවක්කුවෙන් නොව, බලහත්කාරයෙන් නොව, සහෝදරත්වයේ දෑත් දිගු කිරීමෙන් අහුරා දැමිය යුත්තේ ඒ නිසා ය.

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *