එෆ් බී අයි

විශේෂඥ දැනුමක් ගන්න හමුදාවක්ම ගෙන එන්න ඕනෙද ඉස්කෝලේ මහත්තයෝ කියා මුදලාලි ඇසුවේ,  ඒ වන විට ඔහු සිටියේ ඔලුව තක්කු මුක්කු කරන නාලිකාවක ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව කිසිවක් අදහාගත නො නොහැකිව බැවිනි.

විශේෂඥ දැනුමයි ,  හමුදා ගෙන්වීමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.  මුදලාලි මොකද එහෙම ප්‍රශ්නයක් ඇහුවේ ? කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ මුදලාලිගේ ප්‍රශ්නය නිරවුල් නැති නිසාය.

ඉස්කෝලේ මහත්තයෝ මම ප්‍රවෘත්ති බැලුවා. සැල්ෆෝන් විමලෙ , පිවිතුරු  නැති උදය , වේලිච්ච වට්ටක්කා හැමෝම කියන්නේ රනිල් මහත්තයා විදෙස් හමුදාවක්  ගෙන්නන්න යනවා කියලයි. මුදලාලි කීවේය.

ඒ අය කියන දේවල් මුදලාලි ගණන් ගන්න එපා. විමලෙලාට වැසිකිලියට ගියත් පෙන්නේ  විදෙස් බලවේග විතරයි.  ඉස්කෝලේ මහත්තයා කීවේය.

එහෙම කියන්න එපා ඉස්කෝලේ මහත්තයෝ ෆීල්ඩ් මාර්ෂල් මහත්තයත් මොකක්ද අවකැපෙන කතාවක් කියනවා පෙන්නුවා.  ඇමරිකාව හමුදාව එවල ඉරාකෙ  වගේ අපේ රටත් අල්ල ගනී කියල මට බයක් දැනෙනවා.  කියා මුදලාලි කීවේය.

මුදලාලි මහත්තයෝ බයවෙන්න එපා.  විදේශ හමුදාවක් ගෙන්නන්න ඕනි කියලා රනිල් මහත්තයා කොහෙවත් කියලා නැහැ . ඉස්කෝලෙ මහත්තයා කීවේය.

එහෙනම් මොනවද අර විමලා, උදයලා , මයික්  ගොන්නක් ඉස්සරහ තියාගෙන කියන කතා යැයි මුදලාලි ඇසුවේය.

ඒගොල්ලන්ගේ දේශපාලනය කරන්නේ මයික්  වලින් කතා කරනවායි ,උප්පැන්න හදනවයි , පාස්පෝට් හදනවා, ඥාතීන්ට ගෙවල් දෙනවායි  ඇර විමලෙ කරපු  එක වැඩක් කියන්න.

වට්ටක්කා  මහත්තයා රැවුල් පැහෙන කම්  සමාජවාදය ගැන කතා කළාට කරපු දෙයක් තියෙනවද?  අන්තිමට එයාගෙ සමාජවාදය නතර වුණේ මහින්ද රාජපක්ෂ ගේ ඔඩොක්කුවෙන්. පිවිතුරුත්  ඇටෝනි බලපත්‍රයක් දෙකක් එහෙ මෙහෙ  කරලා  ඒකෙ වැරැද්ද වහගන්න බෙරිහන් දෙනවා.  ඉස්කෝලේ මහත්තයා කීවේය.

දැන්  මොකද්ද ඔය රනිල් මහත්තයා කිවයි කියන්නේ මුදලාලි ඇසුවේ කිසිවක් නොතේරුණු නිසාය .

පසුගිය දවස්වල වෙච්ච ප්‍රහාරය වගේ දේවල් වලට මූණ දෙන්න විදෙස් රටවල විශේෂඥ දැනුම ලබා ගන්න ඕන කියලයි රනිල් මහත්තයා කියන්නේ. විශේෂඥ දැනුම ගන්න හමුදාව ගෙන්නන්න අවශ්‍ය නැහැ. අදාළ අංශ ගැන දැනුම තියෙන අයගේ උදව් ගත්තම ඇති ඉස්කෝල මහත්තයා කීවේය.

අනේ මන්දා මහත්තයෝ අපේ හමුදාව කොටි සංවිධානය පැරැද්දුවේ විදෙස් වල සහාය අරන් ද ?  මුදලාලි කීවේය.

මුදලාලි නොදන්නවට කොටි සංවිධානය පරද්දන්න අපේ හමුදාවලට විදෙස් රටවලින් කොච්චර උපකාර කළා ද. ඉස්කෝලෙ මහත්තයා කීවේය.

ඉන්දීය හමුදාව එව්ව එක ගැනද මහත්තයා කියන්නේ?  මුදලාලි ඇසුවේය.

ඉන්දියාව හමුදාව එවුවෙත්  සහයෝගයට තමයි. හැබැයි අපේ රටේ බාල දේශපාලනය කරන අය ඒකටත් නොයෙක් කතා කියලා රට ගිනි තිබ්බා. බොරුවට කලබල කරල ඉන්දීය හමුදාව යවා ගත්තේ නැත්තං ඊලාම් යුද්ධේ ඉවර වෙන්න තිබුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිගෙ නැත්නම්  ජේ. ආර් ජයවර්ධන ජනාධිපති ගේ කාලේ ඉස්කෝලේ මහත්තයා කීවේය.

එහෙමනම්  ඇමරිකන් හමුදාව එනවා කියලා විමලෙ කියන්නේ ඇත්ත

මුදලාලිට මතකද අපේ නාවික හමුදාව කොටි සංවිධානෙ පාවෙන ආයුධ ගබඩා නැව් දෙකක් විනාශ කළා. ඉස්කෝලේ මහත්තයා  ඇසුවේය.

මට මොකද අමතක ඒ ආයුධ ගබඩා විනාශ කළේ නැත්නම් යුද්දේ ලේසියෙන් දිනන්න වෙන්නේ නැහැ. මුදලාලි කීවේය.

ඒ නැව් විනාශ කරන්නත් විදේශ ඔත්තු සේවාවල උදව් ලැබුණා. එතකොට කොටි යුද්දෙ කාලෙ ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් අපේ හමුදාවට පුහුණුව දුන්නා. අවි ආයුධ දුන්නා. චීනෙන් අවි ආයුධ දුන්නා.  බටහිර රටවල් එල්ටීටීඊය තහනම් කරලා ආධාර අරමුදල් රැස් කිරීම තහනම් කළා. අපේ හමුදාවට යුද්දේ දිනන්න ඒ වැඩ නිසා පහසුවක් වුණා. ඉස්කෝලේ  මහත්තයා කීවේය.

එතකොට දැන් මොකද්ද රනිල් මහත්තයා කරන්න හදන්නෙ? මුදලාලි ඇසුවේය.

ISIS කියන්නේ ජාත්‍යන්තර සංවිධානයක් කියලා මුදලාලි දන්නවද? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

දන්නවා මුදලාලි කීවේය.

ISISලා ප්‍රංශය, එංගලන්තය වගේ රටවලත්  අපේ රටේදී  වගේ ප්‍රහාර එල්ල කළා නේද ? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

කලා නේන්නම්  මරාගෙන මැරෙනවා, වෙඩි තියෙනවා විතරක් නෙමෙයි ලන්ඩන් පාලම උඩදී කොහෙද වාහනයක් හප්පලා මිනිස්සු මැරුවා මට මතකයි. මුදලාලි කීවේය.

අන්න එතන තමයි මුදලාලි ප්‍රශ්නේ තියෙන්නේ. ISIS  එකයි කොටි සංවිධානෙයි  අතරේ සමාන කමුත් තියෙනවා . වෙනස්කමුත්  තියෙනවා.  සමානකම තමයි දෙගොල්ලොම මිනීමැරීම.  හැබැයි එල්ටීටීඊ එක වාහන හපනවා වගේ වැඩ කළේ නෑ.  ඉස්කෝලේ  මහත්තයා කීවේය.

ඉතින් ? මුදලාලි ඇසුවේය

ඇමරිකාව එංගලන්තය වගේ රටවල් වලට  ISIS , තලේබාන් වගේ  ත්‍රස්තවාදී සංවිධාන එක්ක හැප්පිලා අපට වැඩිය හොඳට අත්දැකීම් තියෙනවා.  ඒ අත්දැකීම් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕන කියන එකයි රනිල් මහත්තයා කියන්නේ. ඉස්කෝල මහත්තයා කීවේය.

ඒත් එතකොට ඒ රටවල් අපේ රටට ඇඟිලි ගහන්න එනවා කියලයි විමලෙලා කියන්නේ මුදලාලි කීවේය.

එල්ටීටීඊ යුද්ධය අවසන් වෙච්ච කාලෙ වෙනත්රටවල් අපේ ත්‍රස්තවාදී මර්දන අත්දැකීම් බෙදා ගත්තා.  අපේ හමුදා නිලධාරීන්ගේ අත්දැකීම් ගන්න ඒ රටවලින් ආරාධනා කළා. ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඒත් ඉතින් ඇමෙරිකාව?  මුදලාලි කීවේ දෙගිඩියාවෙනි .

ඇමරිකාවට අපේ රටේ යටත්කරගන්න ඕන නම් යුද නැව් දෙකක් එවල ඒක කරන්න  පුළුවනි.  නමුත්  ඇමරිකාවට එහෙම අවශ්‍යතාවක් නැහැ. ඉස්කෝලේ මහත්තයා කීවේය .

එතකොට එෆ් බි අයි එක  ආවාය  කියන්නේ ? මුදලාලි ඇසුවේය.

ලෝකෙ කොයි රටක  ත්‍රස්තවාදී කලබල ජාතිවාදී ආගම්වාදී කලබල තිබුණත් ඇමරිකාවට බටහිර රටවල් වලට කරදරයි . සරණාගතයෝ යන්නේ  ඒ රටවල් වලට ත්‍රස්තවාදීනුත් ඒ රටවල්වලට පනින්න උත්සාහ කරනවා. ඒ නිසා ලෝක ත්‍රස්තවාදය නවත්තන්න ඒ අය  අනිත් රටවල්ට උදව් කරනවා. එෆ් බි අයි  ආවෙත් අපට ඒ වගේ උදව් කරන්න ඉස්කෝලේ මහත්තයා කීවේය.

එතකොට විමලෙලා කියන්නේ බොරුද ? මුදලාලි ඇසුවේය.

බොරු නැතුව ඇත්ත කියල ඒ අයට ඡන්ද දිනන්න පුළුවන්ද මුදලාලි විමලෙලා  ඔච්චරම  ඇමරිකන් විරෝධී නම් ගෝඨාගේ යි බැසිල්ගෙයි  ඇමරිකන් පුරවැසිකම අත් හරින්න කියල මුලින්ම  උද්ඝෝෂණය කරන්න එපා ද?  ඒ ගැන කතා නොකර රටේ මිනිස්සු නොමඟ යවන්න බොරුවට කෑ  ගහනවා. මුදලාලි ඕවට රැවටෙන්න එපා. ඉස්කෝලේ මහත්තයා කි විට  ඒකත් ඇත්ත කියා මුදලාලි කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *