අහිංසකයන් තලන ආරක්ෂාව – සම්පත් අමරසිංහ

පසුගිය සතියේ පුවත්පතක ශීර්ෂ පාඨයක  සඳහන් වූයේ බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයකින් පොලිස් නිළ කබා වලට සමාන කබා තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.  ප්‍රවෘත්තිය අවසානයේ අදාළ රාජ්‍ය  නොවන සංවිධානයේ  ප්‍රකාශකයෙකු සඳහන්  කර තිබුණේ එම කබා  රාජ්‍ය නොවන සංවිධානය විසින් කලකට පෙර පොලිසියට පරිත්‍යාගය කිරීම සඳහා සූදානම් කළ ඒවා බවත් ඒ කබා වල අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් නම සඳහන්ව තිබූ බැවින් ඒවා බාර ගැනීමට පොලීසිය විසින් ප්‍රතික්ෂේප  කළ බැවින් ගබඩා කර තිබූ බවත්ය.   ඒ අනුව එම කබා අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම එම අත්අඩංගුවට ගැනීම මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී ද පොලිසිය අතින් වරදක් සිදු ව ඇති බව පෙනේ.

අදාළ වරද මෙසේ පැහැදිලි කර ගත හැකිය. රාජ්‍ය නොවන සංවිධානය සඳහන් කරන්නේ එම කබා  ඔවුන් විසින් පොලීසියට ලබා දීම සඳහා සූදානම් කළ ඒවා බව නම් ඒ පිළිබඳ පොලිසිය විමසා බැලිය යුතුව තිබුණි. පොලිසියට එම කබා ලබා දීමේ සැළසුමක් තිබුණේ නම් ඒ සම්බන්දව ලිපි ලේඛන වැනි යමක් පැවතිය යුතු බැවින් පොලිසිය කළ යුතුව තිබුණේ එසේ ලබාදීමට සැලසුමක් ඇත්ත වශයෙන්ම තිබුණේ ද යන්න විමසා බැලීම ය.  ඇත්ත වශයෙන්ම එවැනි සැලැස්මක් පැවැති ඇත්නම් අදාළ රාජ්‍ය නොවන සංවිධානය අතින් වරදක් සිදු වී නැත. එසේනම් අදාල කබා අත්අඩංගුවට ගැනීම පොලිසිය බලය ඉක්මවා කටයුතු කිරීමකි.

දෙවනුව වාර්තාකරණයේදී ජනමාධ්‍ය විසින් ඊටත් වඩා බරපතළ වරදක් සිදු කර තිබේ.  එනම්  එම කබා  පොලිසියට පරිත්‍යාග කිරීමේ අරමුණ ඇතිව සූදානම් කළ ඒවා බව රාජ්‍ය නොවන සංවිධානය පවසා තිබියදී එම ප්‍රකාශයේ  සත්‍ය අසත්‍යතාව සොයා බැලීමකින්  තොරව වාර්තා පළ කිරීමය.  එම ප්‍රකාශය සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට  වාර්තාකරුවෙකුට අවශ්‍ය පසුබිම තිබේ.  තොරතුරු පනත යටතේ වුවද එසේ නැතිනම් එවැනි පරිත්‍යාග භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට  අදාළ රාජකාරි කරන නිලධාරීන් විමසීම ආදී ක්‍රම මගින් වුවද ප්‍රකාශයේ වැරදි , නිවැරදි බව තහවුරු කර ගැනීම අසීරු නැත.  එහෙත් මාධ්‍ය කරුවා ඒ කිසිවකට  යොමු නොවී හුදු  අත්අඩංගුවට ගැනීම වාර්තා කරයි.

ඊළඟ වරදකරු වන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා සහ ප්‍රවෘත්ති කර්තෘ වරයාය.  එම දෙපළ වගකිව යුතු මාධ්‍ය කරණයක යෙදුනේ නම් තම කාර්යය මණ්ඩලය යොදවා හෝ අදාල වාර්තාකරුවා ලවා හෝ රාජ්‍ය නොවන සංවිධානය කබා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය නිවැරදි ද වැරදි ද යන්න තහවුරු කරගත යුතුව තිබුනි.  නමුත් කිසිවෙකු අතින් ඒ වගකීම ඉටු වී නැත.

එම කබා තොගය ඇත්තා තොගය ඇත්ත වශයෙන්ම පොලිසියට පරිත්‍යාග කිරීම සඳහා සූදානම් කර තිබී පොලිසිය බාර නොගත් බැවින් ගබඩා කර තිබුණේ නම් ඒවා අත්අඩංගුවට ගැනීම වාර්තා කිරීම විසින් අදාළ සංවිධානයේ කීර්ති නාමයට පොලිසිය සහ ජනමාධ්‍ය විසින් කර ඇත්තේ බරපතළ හානියකි.

මේ සිදුවීම් එවැනි ආකාරයේ සිදුවීම් අතරින් පළමුවැන්න හෝ අවසාන එකද නොවේ.  වයඹ සරසවියේ දී සිදු වූ එවැනි සිද්ධියක් ද දෙදහස් 2019 මැයි 9 දා  පුවත්පතක  වාර්තා කර තිබුණි.  ඉන් කියැවුණේ වයඹ සරසවියේ අධි තාක්ෂණික උපකරණයක් දුරකථන සිම් , බුර්කාවක් ඇඳි කතක්  ගිනිදැල් සහිත කඩුවක් රැගෙන සිටින ස්ටිකර් 90 ක්  පරීක්ෂණ පැවැත්වීම සඳහා කුලියාපිටිය පොලිසියට රැගෙන විත් ඇති බවය.

සිද්ධිය  සම්බන්ධව වයඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර මහතා පවසා ඇත්තේ අදාළ තාක්ෂණික උපකරණය තාක්ෂණික ප්‍රදර්ශනයකදී අලි වැටකට  සවිකළ හැකි පරිදි සකසා තිබුණු ප්‍රදර්ශන භාණ්ඩයක් බවය . බුර්කාවක්  ඇදී  කත ගේ රුව සහිත ස්ටිකර් ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය අරමුදල් රැස් කිරීමක් වෙනුවෙන් සැකසූ ඒවා බවද ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.

සිම් කාඩ්  අභ්‍යන්තර සිසුන්ට විකිණීම සඳහා ගෙන ආ ඒවා බවද සිසුන් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ඒවා අලෙවි කරන බවද ලේඛකාධිකාරීවරයා පැහැදිලි කර තිබුනි.   බැලූ බැල්මට පවා ඉහත ප්‍රකාශය අනුමත කළ හැකි බව කාට වුව වැටහේ.

ඉහත කටයුතු වලින් පෙනෙන්නේ අත්අඩංගුවට ගැනීම් වලදී ආරක්ෂක අංශ  කොයිතරම්  අත්තනෝමතිකව සහ නොසැලකිලිමත්ව කටයුතු කරනවාද යන්නය. යාපනයේදී මුස්ලිම් පල්ලියක තිබූ තේ කුඩු තොගයක් සැකකටයුතු කුඩු විශේෂයක් යැයි සදහන්කර  අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල දේවස්ථානයේ භාරකරු ද සමගය. තේ කුඩුත් වෙන කුඩුත්  වෙන්කර ගැනීමට තරමට සාමාන්‍ය දැනීමවත් පොලිසියට නැතැයි සිතන විට කෝප විය යුතුද සිනාසිය යුතු ද යන්න පවා සිතා ගැනීම  අසීරුය.

මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා සිදුවන්නේ  ත්‍රස්තවාදී කටයුතු වලට කිසිදු සම්බන්ධතාවක් නැති අහිංසක පිරිසක්  අපහසුතාවයට පත් වීමයි.  රූපවාහිනී කැමරා වලින් අදාල අවස්ථාවල  පුද්ගලයන්ගේ මුහුණු පවා ප්‍රදර්ශනය කරනු අනන්තවත්පෙනේ.  එමගින් සිදුවන්නේ අහිංසකයන් ත්‍රස්තවාදීන්  වශයෙන් හංවඩු ගැසීමය.

ඉහත තත්ත්වය කොයි තරම් මුහුකුරා ගියේද යත් වැටලීම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය නොකරන ලෙසත් වැටලීම්වලට ජනමාධ්‍ය සහභාගීකර නොගන්නා ලෙසත් ඉල්ලා සිටින්නට පවා ආණ්ඩුවට සිදුවිය.  ආණ්ඩුවේ එම ඉල්ලීම  ජනමාධ්‍ය වාරණයක් ලෙස හුවා දක්වන්නට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සහ සමහර මාධ්‍ය ආයතන ද උත්සාහ දරන බව පෙනුණි.

ඉහත ආකාරයෙන් වාර්තාකරනයේ නොයෙදෙන ලෙස ජනමාධ්‍යවලින් ඉල්ලීම් සිදුවීමෙන් මෙන්ම  ඉහත ආකාර වාර්තා කිරීම් වලින් ද පෙනෙන්නේ ජනමාධ්‍ය තමන්ගේ වගකීම් නිසියාකාරව වටහා ගෙන නොමැති බවය.

එවැනි ආකාර වාර්තාකරණයක අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ  ත්‍රස්තවාදියාගේ සැබෑ ප්‍රමාණයය විශාල වී සමාජයට පෙනෙන්නට පටන් ගැනීම ය.  එනම්  ත්‍රස්තවාදීන්ට නැති බලයක් ඇති බවක් සමාජගත වීමය.  නිදසුනක් ආශ්‍රයෙන්  එය මෙසේ පැහැදිලි කර ගත හැකිය.  එනම් බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානය පොලිසියට පරිත්‍යාග කිරීම්ට සූදානම් කළ කබා තොගයක් දැන් ජනගත වී ඇත්තේ ත්‍රස්තවාදීන්ගේ කබා තොගයක් වශයෙනි.

පොලිසියට උපකාර කිරීමට  උත්සාහ කළ රාජ්‍ය  නොවන සංවිධානයක් ඉහත ප්‍රවෘත්තිය සහ පොලීසියේ ක්‍රියාකාරීත්වය නිසා  ත්‍රස්තවාදීන්ට උපකාර කරන සංවිධානයක් වී ඇත.  පොලිසියට උපකාර කරන ආයතනයක්  ත්‍රස්තවාදීන්ට උපකාර කරන ආයතනයක් ලෙස පෙන්වීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට කිසිසේත් උපකාර නොකරන පිරිසකගේ  උපකාරයක්  ත්‍රස්තවාදීන්ට ලැබෙනවා යන අදහස සමාජගත වේ.  ත්‍රස්තවාදීන්ට බොහෝ පිරිසක් උදවු කරන බව සමාජගත වීමේ ඊළඟ ඵලය සමාජය තව තවත් භීතියට පත් වීමය. මේ ප්‍රවෘත්ති නිසා ජනතාව හිතන්නේ අන්න බදුල්ලේ එන්ජීඕ වක් උදව් කරලා .  වයඹ සරසවියත්  ත්‍රස්තවාදියාට උදව් කරලා කියාය.  ඉන්  ජනතාව තවත් භීතියට පත් වේ. කිසිවකු විශ්වාස කළ නොහැකිය යන අදහසක්  ජනතාව තුළ ඇති වේ.

සමාජයේ එවැනි භීතියක්, තැතිගැන්මක් ඇති වීම අපේක්ෂා කරන පිරිසක් සිටිති . ඔවුන් අන් කිසිවකු නොව ප්‍රහාරය  හරහා තම ගොඩ ලොකු කර ගැනීමට උත්සාහ කරන දේශපාලනඥයෝය. ඊළඟ ඡන්දය අරමුණු කරගෙන කටයුතු කරන ඔවුන්ට ජාතියේ භේදවීම, ජනතාව අකර්මණ්‍ය වීම ආදී කිසිවක  ගැටළුවක් නැත.  ජනතාව බියකර අවස්ථාවාදී දේශපාලකයන් ගේ මඩිය තර කරන්නට කැප වී සිටින බඩගෝස්තරවාදී මාධ්‍ය ව්‍යාපාරයක් ද මේ රටේ පවතී. ඒ බව ජනතාවට තේරුම් කර දීමත්, ජනතාව ඒ බව වටහා ගෙන කටයුතු කිරීමත්  දවසේ අවශ්‍යතාවයකි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *