රටට ගිනි නොතබනු – සිරිසේන රාජපක්ෂ

අප්‍රේල් 21 ප්‍රහාරයට සති තුනක් පමණ ගත වන විට රට නැවතත් කාලකණ්ණි තත්ත්වයකට පත් කරන්නට සුළු පිරිසක් විසින් කටයුතු කරමින් සිටින බව පැහැදිලි වී තිබේ.

ඒ අනුව මේ ලියන මොහොත වන විට අලුතින්ම පොලිස් ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශය බවට ගම්පහ පොලිස් බල ප්‍රදේශය පත් වී තිබේ. ඊට පෙර මැයි 12 දින හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවන තත්ත්වයට කටයුතු සිදු වී තිබුණි. හලාවත සිද්ධියට සම්බන්ධව ජන මාධ්‍ය වාර්තා කර තිබුණේ හලාවත පහර දුන් තැනැත්තැන් පලවා හැර මාධ්‍යවේදීන් ඉවත්කර විදෙස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හලාවත පොලීසියට භාරදී ඇති බව ය.

පහරදීමට සම්බන්ධ තැනැත්තන් අත්අඩංගුවට නොගෙන පලවා හැරීමත් එය වාර්තා කරන්නට පැමිණි විදෙස් මාධ්‍යවේදීන් සහ ඔවුන් පැමිණි වාහන අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දීමත් තේරුම්ග ගත යුත්තේ කෙසේදැයි වැටහෙන්නේ නැත. සාමාන්‍යයෙන් සිදු විය යුතුව තිබුණේ පහරදීමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන මාධ්‍යවේදීන් නිදහස් කිරීම වුව සිදුවී ඇත්තේ වෙනත් දෙයකි. එසේ වීමට හේතුව අදාල අංශ විසින් මෙතෙක් පැහැදිලි කර නැත. කෙසේ වෙතත් විදෙස් මාධ්‍යවේදීන් සහ ඔවුන් පැමිණි වාහන අත්අඩංගුවට ගැනීම මෙරට කීර්තිනාමයට යහපත් නොවන බව දැනට අනුමාන කළ හැකිය.

හලාවත ගැටුමට මූලික වී තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ සංකූලතා පැන නගින ආකාරයෙන් කළ අදහස් දැක්වීමකි. එසේ අදහස් දැක්වීමෙන් වැලකී සිටින්න අදාළ අංශ විසින් මේ වන විටත් ජනතාව දැනුවත් කර තිබේ. එපමණක් නොව විටින් විට සමාජ මාධ්‍ය ජාල කීප වතාවක් තාවකාලිකව අවහිර කරන්නටත් රජය කටයුතු කළේය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ ජාතීන් අතර ආරවුල් ඇතිවීම පාලනය කිරීමටත් එවැනි පියවර ගැනීම සම්බන්ධව විරුද්ධ වීමට හැකියාවක් නැත. එවැනි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි. එය අනුමත කළ යුතු සේම අගය කළ යුතු පියවරකි.

හලාවත සිදු වීමට මුල් වූ සමාජ ජාල ප්‍රකාශය කළ තැනැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ වුව ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය අතට ගෙන ක්‍රියා කරන්නට උත්සාහ කළ තැනැත්තන් අත්අඩංගුවට පත්වී නැත. එය අනුමත කළ නො නොහැකිය. සමාජ ජාල ඔස්සේ ගැටුම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ, මත පලකිරීම වරදකි. එහෙත් එම වරදේ දී ක්‍රියාත්මක විය යුත්තේ පොලීසිය සහ ආරක්ෂක අංශ විසිනි.

හලාවත දී සිදුවී ඇත්තේ සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් දඬුවම් දීමට පුද්ගලයන් ඉදිරිපත් වීමයි. එසේ කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත . සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය මත ප්‍රකාශ කිරීමේදී මෙන්ම ඊට ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර දැක්වීමට යාම ද නීති කඩ කිරීමකි. නමුත් සිදුවී ඇත්තේ එකම ආකාරයේ වරදකට සම්බන්ධ දෙපිරිසකට නීතිය දෙයාකාරයෙකින් කටයුතු කිරීමය. සමාජ ජාල ප්‍රකාශයට ප්‍රචණ්ඩව ප්‍රතිචාර දැක්වූ විසුරුවා හැරීමෙන්, පලවා හැරීමෙන් සෑහීමකට පත්වීමට පොලිසිය සූදානම් වීම එසේ හැසිරීමට තවත් පිරිසකට අනුබල දීමක් ලෙස කටයුතු සිදු විය හැකිය.

මැයි 13 රාත්‍රී 7 සිරස ප්‍රවෘත්ති විකාශයෙන් කියැවුණේ මැයි 12 දින කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශ වල පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවන ආකාරයට හැසිරුණු පිරිස හෙට්ටිපොල පොලිස් ස්ථානයේ රඳවා සිටිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හෙට්ටිපොළ පොලීසියෙන් ඔවුන් රැගෙන ගොස් බිංගිරිය පොලිසියට ඔවුන් භාරදුන් බවත් බිංගිරිය පොලිසියේ දී ඔවුන් පොලිස් ඇප මත නිදහස් කෙරුණු බවත් ය. නිදහස් කිරීම නිසා විරෝධතාකරුවන් ප්‍රීති ඝෝෂා නගන ආකාරය එම නාලිකාවේ ප්‍රදර්ශනය කෙරිණි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගේ එම මැදිහත්වීම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට අනුබල දීමක්ද යන සැකයක් ඇතිවේ. හේතුව ඔහුගේ මැදිහත් වීමෙන් පසුව සිදු වී ඇත්තේ තත්ත්වය සමනය වීම නොව තත්ත්වය මුහුකුරා යාම වන බැවිනි. මැයි 12 පොලිස් ඇඳිරි නීතිය පනවන්නට මුලින් සිදුවූයේ කුලියාපිටිය, බිංගිරිය , දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශ වලටය. පසුව එදින කුලියාපිටිය, බිංගිරිය, දුම්මල සූරිය, හෙට්ටිපොල දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාවට නංවන්නට සිදුවිය. මැයි 13 තත්ත්වය මුළු වයඹ පළාතටම ඇඳිරි නීතිය පනවන්නට සිදු වන තත්ත්වය දක්වා වර්ධනය වුණි.

ඉස්ලාම් අන්තවාදයට සහාය දුන් මුස්ලිම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගත යුතු යැයි ප්‍රබල මතයක් රටේ පවතී. එය බැහැර කළ නොහැකිය. දේවස්ථාන වලට පහරදීම, ඉස්ලාම් ප්‍රචණ්ඩත්වය වන්නා සේම මුස්ලිම්වරුන්ට පහර දීම හෝ හිරිහැර කිරීම ද ප්‍රචණ්ඩත්වයත්වය මුදා හැරීමකි. එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියා ක්‍රියාත්මක විය යුතුය. බිංගිරිය ආදී ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී දේශපාලන මැදිහත්වීම මත නිදහස් කර ගැනීමට කටයුතු කිරීමෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වරදක් සිදුකර තිබේ. එසේ මැදිහත්වීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කටයුතු කර ඇත්තේ ඔවුන් ඔහුගේ හිතවතුන් හෝ පාක්ෂිකයන් වන නිසා යැයි අනුමාන කරන්නට ද පුළුවන. කවර හේතුවක් නිසා වුවද ප්‍රචණ්ඩකාරින්ට නිතිය ක්‍රියා ක්‍රියාත්මක වන්නට ඉඩ නොදීමෙන් දයාසිරි මන්ත්‍රීවරයා කර ඇත්තේ වරදකි.

අප්‍රේල් 21 සිද්ධියෙන් උපරිම ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය විරෝධී දේශපාලන කණ්ඩායම් එකාවන්ව කටයුතු කරමින් සිටින බව රහසක් නොවේ.

පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් තිබිය දී මැයි 13 ප්‍රාථමික අංශයේ පන්ති නැවත පටන් ගැනීමට කටයුතු යෙදීම වරදක් බවයි. නමුත් මැයි 13 එල්ලවූ ප්‍රහාරයක් නැත. අවම වශයෙන් රටේ එදින යම් සිදුවීමක් වූයේ නම් එය ඉස්ලාම් අන්තවාදීන්ගේ කටයුතු නිසා නොව සිංහල අන්තවාදීන්ගේ ක්‍රියා නිසාය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ද පියල් නිශාන්ත මහතාගේ ප්‍රකාශය තරම්ටම බරපතලය.

මහින්දවාදීන් ඇතුළු පිරිසකට රටේ භීෂණකාරී තත්ත්වයක් තවමත් පවතින්නේ යන මතයක් දිගින් දිගටම පවත්වා ගැනීමේ වුවමනාවක් තිබේ. ඒ රටේ ආරක්ෂාවක් නැතැයි පවසයි ඊළඟ ඡන්දය දිනීම සඳහා ය.

මේ වන විට සිදුවන සිද්ධි අනුව ඉතා පැහැදිලිව තහවුරු වී ඇත්තේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් තීරණාත්මක ලෙස මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමත් වී ඇති බවයි. අප්‍රේල් 21 කින් පසුව කිසිම ක්‍රියාකාරකමකට යාමට ඉස්ලාම් අන්තවාදීන්ට හැකිවී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ සන්සුන් වෙමින් පැවති රට නැවත ගිනි තැබීමට සිංහල පිරිසක් විසින් කටයුතු කිරීමය. එයට මූලික වන්නන් කවුරුන්ද යන ජනතාව නොදන්නවා නොවෙයි. එසේම පොදු ජනතාව කිසිවෙක් එවැනි කටයුතු අනුමත කරන්නේ නැත. ප්‍රචණ්ඩත්වයෙන් පොදු ජනතාවට සිදුවන යහපතක් ද නැත. ඉන් සිදුවන්නේ ජනතාවගේ එදිනෙදා කටයුතු අඩපණ වීම ය.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ය. රටේ දේපළ විනාශ වීමය. රටේ ආර්ථිකය කඩා වැටීම ය. මේ සියල්ලෙහි අවසානය රටේත් රටේ දරුවන්ගේත් අනාගතය විනාශ වීමය. ජනතාව ඒ බව තේරුම්ගත යුතුය. පමණක් නොවේ රට ඒ තත්ත්වයට පත් කරන්නට උත්සාහ කරන අවස්ථාවාදීන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරවන්නට ජනතාව බල කළ යුතුය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්නන්ට විරුද්ධව සාමකාමී ජනතාව පෙරමුණ ගත යුතුය. ඔවුන්ගේ නිහැඩියාව අන්තවාදයට වක්‍රාකාරයෙන් අනුබලදීමක් බව සාමකාමී ජනතාව තේරුම් ගතයුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *