සමාජවාදී විප්ලවය කියන්නේ දිගු කාලීන ගමනක ප්‍රතිඵලයක් එය තුවක්කු කඳ භාවිතා කොට බලහත්කාරයෙන් ඇති කළ හැකි සමාජ පරිණාමනයක් නොවේ – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියෙක් වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව. මෙම ලිපියේ මුල් කොටස හා දෙවන කොටස මීට පෙර (10 – 12) පළ විය.

3 වන කොටස (අවසන් කොටස)

පසුකාලීන අත්දැකීම්වලින් පෙනී යන්නේ ලෝකයේ මෙතෙක් බිහි කරන ලද සමාජවාදී යනුවෙන් අප හැඳින්වූ රාජ්‍යයන් හෝ ව්‍යාපාර ප්‍රායෝගිකව කටයුතු කොට ඇත්තේත්, බොහෝ දුරට තවමත් කටයුතු කරන්නේත් ලෙනින් ඉදිරිපත් කරන ලද අදහස්වලට වඩා පටහැනි ලෙස බවයි. එයින් මා අදහස් කරන්නේ ඒ ඒරාජ්‍යයන් සහ ව්‍යාපාරයන් ධනේශ්වරයට එරෙහිව පමණක් නොව කම්කරු පන්තියට හා පොදුවේ දේපළ අහිමි අයටත් එරෙහිව රාජ්‍ය මර්දනය ආඥාදායක අන්දමින් යොදා ගත් බවයි. පුද්ගල නිදහස, සමාජයේ දේශපාලන විවිධත්වය සහ බහු සංස්කෘතික ස්වරූපය මුළුමණින්ම ප්‍රතික්ෂේප කළ බවයි. දේශපාලන ස්වරූපයන්ගේ අති විශාල බහුලත්වයක් සහ විවිධත්වයක් පැවැත්මට ඒම වළක්වා ලන්නට හා මර්දනය කර ලන්නට කටයුතු කළ බවයි.

මෙම රාජ්‍යයන්ගෙන් බොහොමයක් පසු කාලීනව ආර්ථික මෙන්ම සමාජ සාධාරණත්වය අතින් බොහෝ ජයග්‍රහණ අත් කර ගත්තද, දේශපාලන ක්ෂේත්‍රයෙහි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී  ලෙස කටයුතු කරන්නට ඉඩකඩ ලබා නොදීමෙන් දැඩි පරිහානියකට ලක් වූ බව පෙනේ.

අවසානයේදී ඒ රටවල පැවැත්මට ආවේ රාජ්‍ය ධනවාදී ස්වරූපයේ අත්තනෝමතික රාජ්‍යයන් නොවේද? ස්ටාලින් යටතේ සෝවියට් දේශයේත්, පොල් පොට් යටතේ කාම්පූචියාවේත් පැවති ඒකාධිකාරී පාලනයන් මෙයට හොඳම උදාහරණ වශයෙන් දැක්විය හැකි යි. මෙම රාජ්‍යයන් තුල ඇති වූ පසු බෑම පිළිබඳව සමාජවාදී ව්‍යාපාරය තුල නිසි ආකාරයෙන් සාකච්ඡාවට ලක් ව ඇත්තේ කලාතුරකිනි.

කෙටියෙන් කිවහොත් සමාජයේ බහු සංස්කෘතික ස්වභාවය තේරුම් ගන්නා සමාජවාදයක් විසින් ආර්ථික ප්‍රජාතන්ත‍්‍රවාදයත්, සමාජ සාධාරණත්වයත්, සමාජ සමානත්මතාවයත් පදනම් කර ගත යුතු බව අපට මෙයින් ගන්නට ඇති අත් දැකීම යි.

අපට පැහැදිලි ලෙස නිගමනය කළ හැක්කේ ජනතාවට එරෙහිව බලහත්කාරය යෙදීමත් සමාජවාදය ගොඩ නැඟීමත් එකිනෙක හා අත්වැල් බැඳ ගන්නා කරුණු දෙකක් නොවන බවයි. නමුත් මෙයට ඇති විකල්පය කුමක්ද? සමාජය වඩා යහපත් එකක් බවට පත් කරන්නට ගන්නා ආයාසයන් පරාජය කිරීම සඳහා ඊට එරෙහි බලවේග විසින් බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය යොදන විට අපේ ආයාසයන් රැක ගැනීමට බලහත්කාරී දේශපාලනය වෙත නැඹුරු නොවන අන්දමින් කටයුතු කළ හැක්කේ කෙසේද? මා කල්පනා කරන අන්දමට එය කළ හැක්කේ අප අපේ ජනතාව මතම පදනම් වීමෙන් පමණක් බවයි. ජනතාව සක්‍රීය බවට පත් කිරීමෙන් පමණක් බවයි.

අපේ කටයුතු සමාජ යහපත සඳහාම පමණක් කරන ඒවා බවට සමාජයට ඒත්තු ගැන්වීමට හැකි වූ විට, ඒ කටයුත්ත සඳහා මුළුමහත් සමාජයම පාහේ ස්වේච්ඡාවෙන්ම මැදහත් වන විට අපේ ආරක්ෂාව ඇත්තේ එතැනයි. ආයුධ පාවිච්චි කිරීම මතම, බලහත්කාරය යෙදීම මතම රැඳී සිටීමෙන් එසේ කළ නොහැකි බව මගේ කල්පනාවයි.

නිලධරවාදී පාලනයන්ට, අත්තනෝමතික පාලනයන්ට, ආඥාදායක පාලනයන්ට එරෙහිව කරන අරගල බොහෝ විට ජයග්‍රහණය කොට ඇත්තේ සමාජයේ අති බහුතරය ඒ අරගල අනුමත කරමින් ඒ සමාජ වෙනසට මැදිහත් වන විට බව ලෝකය පුරා දකින්නට ලැබෙන අත් දැකීමයි.

කම්කරුවන් ස්වේච්ඡාවෙන් දියත් කරන වැඩ වර්ජන, ජන කොටස් යටිබිම්ගතව ප්‍රකාශණ පළ කිරීම, යටිබිම්ගත සංස්කෘතික ධාරාවන් දියත් කිරීම, පවතින රජයේ මර්දනකාරී පියවරවලට සහයෝගය පළ නොකිරීම සහ එරෙහි වීමවැනි දේ එවැනි අරගලවල කැපී පෙනෙන අංග බවට පත් වී තිබේ.

මෙම විධි ක්‍රමය නිසැකයෙන්ම ඉහළ සිට පහළට විධානය කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සහභාගිත්ව ස්වරූපයක්ද අත්කර ගන්නවා.

ඒ ආකාරයෙන් තීරණ ගන්නා සමාජයක් තුළින් මර්දනයට එරෙහිව වඩා ඵලදායී ආකාරයේ විරෝධය පෑමකට, අරගල කිරීමකට මග පාදන බව මගේ කල්පනාවයි.

ජනගහනයෙන් සෑහෙන කොටසක් මෙම ආකාරයෙන් විරෝධය පෑමට අරගල කිරීමට එක් නොවන්නේ නම් අරගලයේ ජයග්‍රහණය ඉතා දුරස්තර බවට පත් වෙයි.  මෙය ජනතාව මත අත්තනෝමතික හමුදාමය විධික්‍රම සහ බලහත්කාරය යොදා ගනිමින් සමාජවාදය ගොඩ නැඟීමට ගන්නා උත්සාහයන්ට වඩා සපුරා වෙනස් පන්නයේ විධි ක්‍රමයකි.

ප්‍රභූන් කිහිප දෙනෙකු හෝ ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙක් මත පමණක් පදනම් වන ව්‍යාපාරයක් පවතින විට ඒවැනි පුද්ගලයන් ඝාතනය කර දැමීමෙන් හෝ ඒ පුද්ගලයන් වෙත තර්ජන එල්ල කිරීමෙන් හෝ ඔවුන්ට වරදානයන් ප්‍රදානය කිරීමෙන් හෝ ඒ ව්‍යාපාරය මෙල්ල කිරීමට ලක් කළ හැකිය. මර්දනකාරී බලවේග පළමුවෙන්ම කරනු ඇත්තේ මෙයයි. එවැනි ප්‍රහාරයකට එරෙහිව ආරක්ෂාව ඇත්තේ සමාජය මත පදනම් වීමෙන්ම පමණක් බව මගේ කල්පනාවයි.

එහෙත් මෙවැනි ආරක්ෂණ ක්‍රියාදාමයක් වඩා ඵලදායී බවට පත් වනවා ඇත්තේ කම්කරුවන් සහ ගොවීන් අත නිෂ්පාදනය පාලනය කිරීමේ හැකියාව පවතින විට, වඩා විමධ්‍යගතවූ ආකාරයේ මෙන්ම ස්ව ශක්තිය මත පිහිටා කටයුතු කළ හැකි විට දීයි.

1971 අප්‍රේල් නැඟිටීම සමයේත් ඉන් පසු කාලයක් මහ රැජිනගේ බෝඩිමේ නේවාසික ව සිටියදීත් විප්ලවය යන්න පිළිබඳව අපේ අර්ථකතනය වූයේ බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ ජනතාව වෙනුවෙන් පක්ෂය විසින් දියත් කරන නැගිටීමක් තුළින් බලය අල්ලා ගැනීම යි.

මේ අනුව, අන් සියළුම වමේ කණ්ඩායම් දෙස අප බලන්නට හුරුව සිටියේ සුළුධනේශ්වර,මෙන්ෂෙවික්,අවස්ථාවාදී කණ්ඩායම් වශයෙනි.

අප්‍රේල් නැඟිටීමේ අත්දැකීම් සමඟ මේ අදහස්වල එක්තරා වෙනසක් පසුකාලීනව දකින්නට හැකි වූවත් 1977 න් පසු තිබෙන අත්දැකීම් අනුව පෙනී යන්නේ අප්‍රේල් නැඟිටීමට පෙර තිබූ අදහස්වල එක්තරා තුනී වී යෑමක් හැරෙන්නට එ අදහස්වල පූර්ණ ආකාරයේ නිවැරැදි වීමක් සිදු වී නොමැති බවයි.

සමාජවාදී විප්ලවය කියන්නේ දිගු කාලීන ගමනක ප්‍රතිඵලයක්.

එය තනි පක්ෂයක් ගොඩ නඟා ඒ පක්ෂය රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ආදේශ වී ප්‍රචණ්ඩත්වය යොදා බලය අල්ලා ගෙන ජනතාවගේ උගුරට බලහත්කාරයෙන් පොවන තිත්ත කසායක් තුළින් ගොඩ නඟන සමාජ තත්වයක් නොවේ.

එය විවිධ සමාජ කොටස්වල වුවමනා එපා කම් අනුව, පැන නඟින විවිධාකාරයේ අරගල තුලින් ගොඩ නැඟෙන, පෑගෙන ජන කොටස්වල සමාජ දේශපාලන සංධානයක් විසින් මඟ පෙන්වනු ලැබ ජනතාවගේ ම මැදිහත් වීමෙන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තුලින් ම සිදු කෙරෙන සංකීර්ණ සමාජ පරිවර්තනයක්. ඒ ක‍්‍රියාවලිය තනි පක්ෂයක නොව පුළුල් සමාජ ව්‍යාපාරයක මැදහත් වීමෙන් සිදු වන කටයුත්තක්.

එය තුවක්කු කඳ භාවිතා කොට බලහත්කාරයෙන් ඇති කල හැකි සමාජ පරිණාමනයක් නොවේ.

1971 අප්‍රේල් නැඟිටීමේ දී සිදු වූ වැරදි හා අඩුපාඩුවලින් සුදුසු පාඩම් උකහා ගත්තේ නම් 1988-89 අරගලයේ සිදු වූ බොහෝ වැරදි සිදු නොවන්නට වග බලා ගත හැකිව තිබුනු බව මගේ මතයයි.

මේ අරගල දෙකෙන් ම සිදු කරන ලද වැරදි හා අඩුපාඩු පිළිබඳව ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලා ඒ වැරදි හා අඩුපාඩුකම් නැවත සිදු නොවන්නට වග බලා ගැනීම වඩා යහපත් සමාජයක් ගොඩ නැඟීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන හැම සංවිධානයකම, පුද්ගලයෙකුගේම යුතුකම හා වගකීම වෙනවා.

මේ කරුණු පිළිබඳව සාකච්ඡාවකට ඉඩ කඩ ලබා දෙමින් මම මෙතැනින් නතර වෙනවා.

ඔබට බොහොම ස්තුතියි.

ලයනල් බෝපගේ

සකස් කළේ – මනෝජ් රූපසිංහ  – සාකච්ඡාවකට විවෘතයි

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *